මාතර බෙලිඅත්ත දුම්රිය ධාවනය අප්‍රේල් සිට | දිනමිණ

මාතර බෙලිඅත්ත දුම්රිය ධාවනය අප්‍රේල් සිට

  • ව්‍යාපෘති වියදම ඩොලර් මිලියන 278 .2 ක්
  • වේගය පැයට කිලෝ මීටර් 120යි

මාතර සමුහ ඩබ්ලිව්.පි.ධර්මසේන

මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ලබන අප්‍රේල් මාසයේ සිට ආරම්හ කිරීමට තිරණය කර ඇත.

මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ වූ මහනුවර දුම්රිය හැර සියලුම දුම්රිය වාර බෙලිඅත්ත දුම්රිය ස්ථානයේන් ආරම්භ වීමටත් වෙරළ බඩ දුම්රිය මාර්ගයෙන් මාතර දුම්රිය ස්ථානයට පැමිණෙන සියලුම දුම්රියන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් ගමන් වාර අවසන් කිරීමටත් නියමිතව ඇත.

මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ සම සභාපති වාණිජ හා කර්මාන්ත කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මාතර මහ දිසාපති ප්‍රදීප් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් පැවැති රැස්වීමේ දී වැඩබලන ව්‍යාපෘති ඉංජිනේරු ඒ.ජී.සී. විමලසුරිය මහතා කරණු දක්වමින් මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීමට අයත් දුම්රිය මාර්ග සංඥා පද්ධති සහ දුම්රිය ස්ථාන ඉදිකිරීම් මාර්තු මස 31වන දිනට පෙර නිමවෙන බවත්, දුම්රිය ධාවනය ලබන අප්‍රේල් සිංහල අලුත්අවුරුද්දට පෙර ඇරැඹෙන බවත් සඳහන් කළේය.

වංගු අඩු සෘජු දුම්රිය මාර්ගයක් වශයෙන් මෙම දුම්රිය මාර්ගය අනිකුත් දුම්රිය මාර්ගවලට වඩා විශේෂත්වයක් උසුලන අතර කිලෝ මීටර් 27ක් දිගින් ඉදිවි ඇති මෙම දුම්රිය මාර්ගයේ ධාවන වේගය පැයට කිලෝ මීටර් 120කි. චීන ආධාර යටතේ ඇමෙරිකා ඩොලර් මිලියන 278 .2 ක වියදමින් ඉදිවූ මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් චයිනා මැෂිනරි ඉන්පෝට් එක්ස් පෝට් ආයතනය, සිදුකරන අතර, කැකනදුර, බඹරැන්ද, වැවැරුකන්නල, බෙලිඅත්ත යන ස්ථානවලට ප්‍රධාන දුම්රිය ස්ථාන 4ක් ද, පිලුදුව, වෙහෙරහේන, ප්‍රදේශයට උප දුම්රිය ස්ථාන 2ක් ද ඉදිකර ඇත.

මෙම දුම්රිය මාර්ගයේ හරස් මාර්ග 52ක් ඇති නිසා වාහනවලට සහ මාර්ගයේ ගමන් කරන ජනතාවට බාධාවක් නොවන පරිදි මෙම දුම්රිය මාර්ගය හරස් මාර්ගවලට ඉහළින් ඉදිකිරීමට පියවර ගැනීම නිසා මාතර සිට බෙලිඅත්තට කිලෝ මීටර් 27ක් දිගින් යුක්ත මෙම දුම්රිය මාර්ගය සඳහා හරස් ගේට්ටු 7ක් පමණක් සවිකිරීමට බලධාරීන් පියවරගෙන ඇත.

ඉදිකර ඇති මෙම දුම්රිය මාර්ගය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පසුගිය දින නිරීක්ෂණ දුම්රියක් බෙලිඅත්තේ සිට මාතරට ධාවනය වූ අතර, එම පරීක්ෂණ චාරිකාවෙන් ඉදිකිරීමේ තාක්ෂණ ක්‍රියාවලිය ඉතාමත්ම ඉහළ ප්‍රමිතියකින් යුක්ත බව හෙළිවී ඇත. මෙම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භවීමත් සමඟ සංචාරක ව්‍යපාරයට සහ කෘෂි කර්මාන්තයේ විශාල දියුණුවක් ඇතිවෙන අතර, දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොළඹට ගමන් කිරීමට අපේක්ෂා කරන බෙලිඅත්ත, තංගල්ල, හම්බන්තොට, වැනි ප්‍රදේශවල ජනතාවට සහ රාජ්‍ය සේවකයන්ට මෙමඟින් විශාල පහසුවක් උදාවනු ඇත.

නව අදහස දක්වන්න