මැදින් පෝදා ධර්මානුශාසනාව | දිනමිණ

මැදින් පෝදා ධර්මානුශාසනාව

හම්බන්තොට සිංහගිරි විහාරාධිපති සූරියවැව ජාතික පාසලේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිර හිමි

තමන් ගැන මෙන්ම අනුන්

ගැන ද සිතන්න

නමෝ තස්ස, භගවතෝ,

අරහතෝ, සම්මා සම්බුද්ධස්ස

අත්ත දත්ථං පරත්ථේන

බහුනාපි න හාපයේ

අත්තදත්ථ මහිඤ්ඤාය

සදත්ථ පසුතෝ සියා

පින්වතුනි,

බුදුරජාණන් වහන්සේගේ ලෝකාර්ථ චරියාව අර්ථවත්වන උතුම් පුර පසළොස්වක පොහොයක් ලෙස මැදින් පුර පො‍හොය හැඳින්වෙයි. රජගහ නුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්පුර දක්වා වැඩම කිරීමට බුදුරදුන් ගමනාරම්භ කෙළේ අදවන් මැදින් පුර පොහෝදාය. ඒ උන් වහන්සේ තම ඤාතීන්ට දහම් දෙසීම සඳහාය. මෙම ගමනට රහතන් වහන්සේලා විසි දහසක් සහභාගි වූ බව සඳහන් වේ.

සිදුහත් කුමරු ගිහිගෙය හැරදා යෑමෙන් පසු හය වසරකට අධික කාලයක් සුද්ධෝදන රජුට තම පුතා දැක ගැනීමට නොහැකි විය. බුදුවූ තම පුතා වැඩම කරවා ගෙනවිත් තමන්ට දහම් ඇසීමට අවශ්‍ය බව රජු කිහිප වතාවක් ඇමැතිවරුන්ට ප්‍රකාශ කෙළේය. බුදුරදුන් කිඹුල්වත්නුවරට වැඩම කරවාගෙන ඒමට දහස බැගින් පිරිස් නව වතාවක්ම උන්වහන්සේ වෙත යැවීය. ඒ සියලු දෙනා සම්බුදුරදුන් ඉදිරියේ සසුන්ගත වූහ. දහවැනි වතාවට කාලුදායි ඇමැති සමග යැවූ දහසක් පිරිසද පැවිදි විය. එහෙත් කාලුදායි තෙරුන් පිය රජුගේ ඉල්ලීම බුදුරදුන්ට දැන්වීය. ඒ අනුව මෙම කිඹුල්වත්පුර ගමන සිදුවිය.

බුදුබණ අසා සුද්ධෝදන පියරජු ඇතුළු දහස් සංඛ්‍යාත පිරිස් මාර්ග ඵල ලබා සැනසීමට පත්වූහ. එවන් අසිරිමත් මැදින් පොහෝදා ඉහතින් මාතෘකා කැරගත් ගාථා ධර්මයෙන් පැහැදිලි වන්නේ “තම අභිවෘද්ධිය සලසා නොගෙන පරාර්ථකාමී ක්‍රියාවෙන් වළකින ලෙසත් පළමුව තමා උසස් ගුණධර්මවල පිහිටා දෙවනුව අනුන්ගේ යහපත සැලසිය යුතුය” යන්නයි.

බුදුරජාණන් වහන්සේ ලෝකවාසීන්ට ධර්මය දේශනා කරන ලද්දේ උතුම් බුදුපදවියට පත් වීමෙනි. තමනුත් සමාජයත් ලෝකයත් පිළිබඳ පරිපූර්ණ දැනුම ලබා ගැනීමට පුද්ගලයා වෙහෙස මහන්සි විය යුතුය. ලෞකික සැප සම්පත්වලට වඩා ආධ්‍යාත්මික ගුණධර්ම වර්ධනය කැරගෙන ඒ ඔස්සේ මනස දියුණු කැර ගැනීමට බුදුරදුන් උපදෙස් දී ඇත. තමන් සීල, සමාධි, ප්‍රඥා, ආදි ගුණයන්ගෙන් සමන්විත වූ කල්හි සෙසු ලෝකයේ පුද්ගලයන් පිළිබඳවත් සමාජ පැවැත්ම පිළිබඳවත් අවබෝධය ලබාගත හැකිය. ගුරුවරයා ළමයින්ට උගන්වන්නේ තමන් උපාධි හා පුහුණු පාඨමාලා හැදෑරීමෙන් පසුවයි. එමෙන්ම ආගමික නායකයින් තම දර්ශනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගෙන ඒවා ජනතාවගේ සිත් සතන් තුළට ඒත්තු ගැන්වීම සිදු කරයි.

සමාජයක් වැනසෙන්නේ එම සමාජයේ ජීවත්වන පුද්ගලයින්ගේ දුර්ගුණ නිසාය. එමෙන්ම යම් ආයතනයක් පිරිහෙනුයේ එහි ප්‍රධානියාගේ දුර්වල සැළසුම් හා ක්‍රියාමාර්ග නිසයි. සමාජයේ ජීවත්වන පුද්ගලයන්ට නොයෙක් හැකියා දක්ෂතා උගත්කම් තිබිය හැකිය. ඒ තුළින් යම් යම් අංශවල දක්ෂතා ද පෙන්වයි. එහෙත් ඔහු සත්ව හිංසාව, අනුන්ට හිංසා පීඩා කිරීම, සොරකම, වැරදි කාම සේවනය, බොරු කේළම් හිස් වචන පරුෂවචන කතා කිරීම, සුරාව සූදුව ආදී දුරාචාරී ක්‍රියාවන්ට ඇබ්බැහිවී සිටින්නේ නම් ඒ උගත් හැකියා දක්ෂතා ආදියෙන් ඵලක් නොවනු ඇත.

සෑම පුද්ගලයකුටම සමාජයේ වගකීම් යුතුකම් ඉටුකළ යුතුව ඇත. ඒවා ඉටු නොකරන පුද්ගලයන්ගෙන් සමාජයට පලක් නොවේ. ඇතැමුන් තමන් සුදුසු ගුණයන්හි නොපිහිටා අනුන් වෙනුවෙන් විවිධ සේවා උපකාර සැපයීමට ඉදිරිපත් වේ. ඒ තුළින් නිසි ප්‍රතිඵල තමාට නෙළාගත නොහැකිය. තමා කරන සෑම ක්‍රියාවකින්ම අනුන්ට යහපතක් සේම තම දිවි ගමනට කුසලයක් හෝ අර්ථසිද්ධියක් සලසා ගත යුතුය. අන් අයගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නට ගොස් තමාගේ නොහැකියා ප්‍රදර්ශනය වන්නේ නම් එම ක්‍රියාවෙන් අර්ථයක් ඇති නොවේ. අප සතුව යහපත් ගති පැවතුම් නොවුවහොත් සමාජය අපගේ අඩුපාඩු දකී. අපට දොස් නගයි. නින්දා කරයි. එම නිසා බුදුරදුන් දෙසූ ගුණධර්මයන් වන මෛත්‍රීය, කරුණාව, ඉවසීම, මුදිතාව, උපේක්ෂාව තම යුතුකම් ඉටු කිරීම පරිත්‍යාගය ආදී ගුණාංග අපි ගතසිත තුළ රෝපනය කැර ගනිමු. තමාගේ අවශ්‍යතා සපුරා ගන්නාසේම අන්‍යයන් ගේ අවශ්‍යතා ද සොයා බලා ඔවුන්ට උපකාර කරමින් ජීවත් වීමට සිතා ගනිමු.

වෛර කරන්නන්ට මෛත්‍රී කරමු. අපගේ දොස් දකින්නට ප්‍රශංසා කරමු. වැරදි පෙන්වාදෙන අයට ගරු කරමු. නින්දා අපහාස උපහාස ඉවසමු. අනුන්ගේ දොස්වලට වඩා අනුන්ගේ හොඳ දකින්නට පුරුදු වෙමු.

ඔබට තෙරුවන් සරණයි.

නව අදහස දක්වන්න