ලංකාව ගැන වාර්තාව හෙට විවාදයට - UPDATE | දිනමිණ

ලංකාව ගැන වාර්තාව හෙට විවාදයට - UPDATE

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය කාර්යාලය සකස් කළ වාර්තාව ජගත් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් විසින් මීට ටික වේලාවකට පෙර ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළාය.

පසුව අදාළ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් කරුණු දැක්වීම සිදු විය.

ඉන් අනතුරුව තවත් රටවල් කිහිපයක නියෝජිතයන් ඒ සම්බන්ධයෙන් පැහැදිළි කිරීම් සිදු කෙරිණ.

මහ කොමසාරිස්වරිය ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් සදහන් කලේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රගතියක් පවතින බවය.

අනතුරුව ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දැක්වූ විදේශ කටයුතු අමත්‍ය තිලක් මාරපන සඳහන් කළේ විදෙස් විනිසුරුවරුන් මෙරටට ගෙන්වා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවය.

මේ අතර සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් මහ කොමසාරිස්වරියගේ වාර්තාවට ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබූ වාර්තාව හෙට (21) දිනයේ විවාදයට ගැනීමට නියමිතය.

ලංකාව ගැන වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට - UPDATE

ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ බ්‍රිතාන්‍ය හා ජර්මනිය ඇතුළු රටවල් 05 ක අනුග්‍රහය ඇතිව සකස් කළ යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයට අද නිල වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි.

සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග එහි ඇතුළත් වන අතර, එම යෝජනාව එක්සත් රාජධානිය ඉදිරිපත් කරන්නේ කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රාජ්‍යයන් සමඟ එක්වයි.

අදාළ වාර්තාව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ඇය ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු දැක්වීමට නියමිතයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇතුළු දූත පිරිස අදාළ වාර්තාව නිල වශයෙන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදහස් දැක්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍යවරයාට අමතරව ආචාර්ය සරත් අමුණුගම, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ, ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ.අශීස් ඇතුළු නියෝජිතයින් පිරිසක් ද මෙම සමුළුවට සහභාගී වීමට නියමිතයි.

2015 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගත් යෝජනාව ඉදිරිපත් කිරීමටද එම කණ්ඩායම එක්විය.

2015 ඔක්තෝම්බර් හා 2017 මාර්තු මාසයේ ඉදිරිපත් කළ යෝජනා මගින් ශ්‍රී ලංකාව එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමට දිරිගන්වන බව ද මෙම යෝජනාවේ සඳහන්.

ප්‍රධාන කරුණු 4 කින් සමන්විත යෝජනාවලිය මගින් 30/01 යෝජනාව යටතේ ශ්‍රී ලංකාව එකඟ වූ එහෙත් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති කරුණු ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින අතර, ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් ලබාදිය යුතු තාක්ෂණික සහය මෙන්ම, උපදෙස් ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා තිබේ.

එමගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අඛන්ඩ සමාලෝචනයක් සිදුකර ඒ සම්බන්ධයෙන් ලිඛිත යාවත්කාලීන වාර්තාවක් කවුන්සිලයේ 43 වන සැසිවාරයට හා සම්පූර්ණ වාර්තාවක් 46 වන සැසිවාරයට ඉදිරිපත් කරන ලෙසටයි.

 

නව අදහස දක්වන්න