ව්‍යාපාරයට කෘත්‍රිම බුද්ධිය නොමිලේ දැන ගන්න | දිනමිණ

ව්‍යාපාරයට කෘත්‍රිම බුද්ධිය නොමිලේ දැන ගන්න

බුද්ධි කරුණාරත්න

ව්‍යාපාරික කටයුතු සඳහා කෘත්‍රීම බුද්ධිය සහ නවීන තාක්ෂණය යොදාගැනීමට කැමැති ව්‍යාපාරිකයන්ට ඒ ගැන අධ්‍යයනය කිරීමට මයික්‍රොසොෆ්ට් සමාගමේ AI Business School වෙතින් නොමිලේ පාඨමාලාවන් හඳුන්වා දී තිබේ. තරගකාරී ව්‍යාපාරික පරිසරයක දී තරගකරුවන් අභිබවා ඉදිරියට යාම සඳහා අවශ්‍ය තීරණ ගැනීම‍ට, කෘත්‍රීම බුද්ධිය සහ තාක්ෂණික ඥානය යොදා ගන්නේ කෙසේදැයි හඳුනාගැනීමට විධායක නිලධාරීන්ට සහ ව්‍යාපාර නායකයන්ට මෙයින් අවස්ථාව හිමි වේ.

ව්‍යාපාරයට නව තාක්ෂණය හඳුන්වා දීම ආරම්භ කරන්නේ කොතැනින්ද, කෙසේද? ඒ සඳහා ආයතනික සංස්කෘතියේ වෙනස්කම් ඇති කරන්නේ කෙසේද? වගකීමක් ඇතිව, පුද්ගලිකත්වය සහ ආරක්ෂාව සුරැකෙන පරිදි, පවත්නා නීතියට අනුකූලව, තමන්ගේ ආයතනයට ප්‍රයෝජනවත් සහ ගැලපෙන ආකාරයට කෘත්‍රීම බුද්ධිය එකතු කරන්නේ කෙසේද? යනාදි ව්‍යාපාරික ගැටලුවලට මෙයින් පිළිතුරු සොයාගත හැක. අන්තර්ජාලයෙන් අධ්‍යයනය කළ හැකි මේ පාඨමාලා විනාඩි 55 සිට පැය 3යි විනාඩි 40ක් දක්වා කාල සීමාවලින් යුක්තය. 'Introduction to AI technolog for Business Leaders', 'Difine an AI strategy to create business value', 'Discover ways to foster an AI-ready culture in your business' සහ 'Identify guiding principles for responsible AI in your business' යන විෂයන් මේ පාඨමාලාවන්ට අයත් වේ.

ආයතනයක් කෘත්‍රීම බුද්ධිය යොදාගෙන වැඩකටයුතු ආරම්භ කළ විට ඒවා වැඩි දියුණු කරගැනීමටත්, අවහිර කරන්නන් (Blockers) ඉස්මතු වීමට පෙර ඔවුන්ව හඳුනාගැනීමටත් මේ දැනුවත් කිරීම් වැදගත් වන බව මයික්‍රොසොෆ්ට් සමාගමේ කෘත්‍රීම බුද්ධි ව්‍යාපාරික පාසල පෙන්වා දී ඇත.

එම සමාගම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කෘත්‍රීම බුද්ධිය යොදාගන්නා ආකාරය ගැන තම සේවයන් පුහුණු කිරීමට ආයතනවලට පහසුකම් අඩු අවස්ථාවලදී තමන් හඳුන්වා දී තිබෙන මේ අධ්‍යයන වැඩසටහන් ඉතා ප්‍රයෝජනවත් වන බවයි. අන්තර්ජාල ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ LinkedIn, Google and Amazon වැනි ආයතනද මේ ආකාරයේ නොමිලේ අධ්‍යයන පාඨමාලා ලබාදී තිබේ.

නව අදහස දක්වන්න