ත්‍රිපිටක උරුමය ලොවට ගෙනයාම | දිනමිණ

ත්‍රිපිටක උරුමය ලොවට ගෙනයාම

දුමින්ද අලුත්ගෙදර

බදාදා සටහන

ත්‍රිපිටකය යනු මෙලොව උපන් මනුෂ්‍යයකු ලෝකයට දායාද කළ වටිනාම උරුමයක් ලෙසයි සැලකෙන්නේ. එකී ත්‍රිපිටකයට ඉහළින් ඔසවා තැබිය හැකි කිසිදු විද්‍යාවක් මේ වනතුරුත් බිහි වී නොතිබීම විශේෂත්වයක්. ලෝකයේ අනෙකුත් විද්‍යා, දර්ශන, පරික්ෂණාගාර තුළ මතු කරගත් දෑ බව සත්‍යයකි. ත්‍රිපිටක දර්ශනය සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් හැම තැනකම, සෑම ජීවිතයක ම ජීවි අජීවි සෑම වස්තුවක ම ක්‍රියාකාරීත්වය ගැන සිදු කළ මහා පර්යේෂණයක ප්‍රතිඵලයක්.

වසර හතළිස් පහක් පුරා බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය හෙවත් බුද්ධ භාෂිතය අන්තර්ගතකොට සකසන ලද සාහිත්‍ය වන ත්‍රිපිටකය පසුගියදා ජාතික උරුමයක් කරන්නට රජය කටයුතු කළා. එවැන්නක් සිදුකිරීමට ජනපතිවරයාගේ මැදිහත්වීම ඉතිහාසයේ සිදු වූ වැදගත්ම ක්‍රියාවක් බවයි මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් පෙන්වා දුන්නේ.

ආනන්ද තෙරණුවන් බුදුන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස කටයුතු කරමින් බුදුන් වහන්සේ දේශනා කළ සියලු දේශනාවල අරමුණ, දේශනා කළ තැන, දේශනා කළ සූත්‍රයේ කාර්යය ආදී සියල්ල කට පාඩමින් පවත්වාගෙන විත් තිබෙනවා. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ආනන්ද රහතන් වහන්සේ කටපාඩමින් පවත්වාගෙන ආ ධර්මය නොනසා තබා ගැනීමට රජගහ නුවරදී රහතන් වහන්සේලා විසින් ධර්මය සංගායනා කොට පවත්වාගෙන යන ලද්දේ අජාසත් රජතුමාගේ මූලිකත්වයෙන්. එවැනි උතුම් ධර්මයක් ජාතික උරුමයක් කිරීමත් ලෝක උරුමයක් කිරීමට වෙහෙසීමත් රාජ්‍යයක සහ රාජ්‍ය නායකයකුගේ උත්තුංග කැප කිරීමක්.

ත්‍රිපිටකය ජාතික උරුමයක් කරමින් ජනපතිවරයා පෙන්වා දුන්නේ, ශ්‍රේෂ්ඨ දර්ශනයක් නොනසා රැක ගැනීමේ කාර්යයට තම රාජ්‍ය පාලනය මෙහෙයවන බවයි.

භික්ෂූන් වහන්සේගේ ඉල්ලීම

‘අද මේ උතුම් පුණ්‍ය භූමියේදී මුළු මහත් ලෝකවාසී බෞද්ධ ජනතාව පමණක් නොව සමස්ත ලෝක ජනතාව ම ඓතිහාසික දාර්ශනික උරුමයක් සේ සලකන උතුම් ථේරවාදී දර්ශනය ඇතුළත් වූ ත්‍රිපිටක ය ජාතික උරුමයක් බවට පත් කරන අවස්ථාව. මේ උතුම් කාර්යය රජය මඟින් ඉටුකර ගැනීම සඳහා පසුගිය කාලය තුළ වන්දනීය මහා සංඝරත්නය අවස්ථා ගණනාවක දී ම අනුශාසනා කළා. උපදෙස් දුන්නා. ඉල්ලීම් කළා. අපිව දැනුවත් කළා. ඒ අනුව අපි රජය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා 2018 සැප්තැම්බර් 13 වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනු ලැබුවා. මේ අමාත්‍ය මණ්ඩල සංදේශය අත්සන් කළේ මමත්, බුද්ධශාසන ඇමතිවරයාත්, එවකට සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාත් විසින්.

ජනපතිවරයා පෙන්වා දෙන්නේ, බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම්වලට සවන් දෙමින් යුගයේ අවශ්‍යතාව හා නූපන් පරපුර වෙනුවෙන් මෙතෙක් සුරක්ෂිතව රැගෙන ආ ත්‍රිපිටකය ආරක්ෂා කර දිය යුතු බවයි. ඒ සඳහා රාජ්‍ය මැදිහත් වීම උපරිමයෙන් සිදුව ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඊට අනුව ම ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමේ කාර්යයට මේ වන විට ජනපතිවරයා ඇතුළු රාජ්‍ය කාරකාධීන් කටයුතු කරමින් තිබීම යහපත්.

“ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී. අපි සැමවිටම විශ්වාස කරන්නේ එය යි. ඒ වගේම අපි සැමවිටම විශ්වාස කරන්නට ඕන. අපි, රජය ජාතික උරුමයක් වශයෙන් මේ ත්‍රිපිටකය ප්‍රකාශයට පත් කළා වගේ ම යුනෙස්කෝ ආයතනය මඟින් මෙය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා අපි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරනවා“ යනුවෙන් ද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඊට අනුගත වෙමින් මේ මස 23 වැනිදා මහනුවර දී එම ඉල්ලීම සිදුකිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.

ත්‍රිපිටකාභිවන්දනා

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා යුනෙස්කෝ සංවිධානය වෙත යෝජනාවක් බාර දීම මාර්තු මස 23 දින ප.ව. 2.00ට ශ්‍රී දළඳා මාලිගා මහ මළුවේ දී ජනාධිපතිවරයා අතින් සිදුවනු ඇති. එකී පරමාර්ථය ඇතිව රජය විසින් මාර්තු 16 සිට 23 දක්වා කාලය තුළ ත්‍රිපිටකාභිවන්දනා සතිය නමින් දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කර තිබේ. එය බෞද්ධාගම පසු කරන සුවිශේෂී කඩඉමක්. එනිසා ත්‍රිපිටකාභිවන්දනා සතිය තුළ නිවාස, පෞද්ගලික හා රජයේ ගොඩනැඟිලි සේවා ස්ථානවල බෞද්ධ ධජවලින් සරසන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා තිබීම ද විශේෂත්වයක්. මුළු රටම බෞද්ධ ධජය යටතේ එකම ඉල්ලීමක් වෙනුවෙන් පෙළ ගැසෙන බවක් ද පෙනෙන්නට තිබේ. පාසල්, දහම් පාසල්, බෞද්ධ සමිති සමාගම් සම්බන්ධ කරගනිමින් දානමය පිංකම් රැසක් ද සංවිධානය කෙරෙන ත්‍රිපිටකාභිවන්දනා සතිය බොදු දහමින් ලක්දිව නැහැවෙන දිනයක් බවට ද පත්වෙමින් තිබෙන්නේ ධාර්මිෂ්ඨ පාලනයේ එක් මඟක් විවර වූවාක් සේ ය.

එපමණක් නොව ලාංකේ ය භික්ෂුන් වහන්සේලා රැකගෙන ආ නිර්මල බුදු දහම අන්තර්ගත වූ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා ගත් වෑයම විදේශයන්හි වැඩවෙසෙන ශ්‍රී ලාංකික මහා සංඝරත්නයේ පැසසුමට ද ලක් ව තිබේ. එම කාර්යය ඉෂ්ට කර ගැනීම වෙනුවෙන් තම පූර්ණ ආශිර්වාදය සහ සහාය පළ කරන බව කෙන්යාවේ නයිරෝබි බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති යටිරාවන විමල ස්වාමින් වහන්සේ ද ප්‍රකාශ කළේ එහෙයිනි.

ජගත් පරිසර සමුළුවට සහභාගී වූ ජනපතිවරයා කෙන්යාවේ නයිරෝබි ආසන්නයේ පිහිටි නයිරෝබි බෞද්ධ විහාරස්ථානය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව එහි විහාරාධිපති යටිරාවන හිමියන් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ බෞද්ධාගම ආරක්ෂා කිරීම වෙනුවෙන් රාජ්‍ය නායකයා ලෙස ගන්නා තීන්දු තීරණ ප්‍රශංසනාත්මක බවයි. හෙතෙම ශ්‍රී ලංකාවේ ශාසනික සහ ආගමික ප්‍රබෝධය වෙනුවෙන් ගෙන යන පුළුල් වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡාවට ද ලක් කළේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ රාජ්‍ය මැති ඇමැතිවරුන් සහිත මහා සංඝයා වහන්සේ ඉදිරිපිට ප්‍රකාශයක් කළේ ‘මා මෙතැනින් නවතින්නේ නැහැ. ත්‍රිපිටක ධර්මය ලෝක උරුමයක් කිරීමට එක්සත් ජාතීන් වෙත යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කොට ගැනීමයි අද මේ ආරම්භයේ අවසාන ප්‍රතිඵලය වන්නේ‘ යනුවෙනි.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන් වදාළේ ජනාධිපතිවරයා ත්‍රිපිටකය ජාතික උරුමයක් කරමින් එදින දුන් ප්‍රතිඥාව අනුව යමින් එපරිද්දෙන් ම තම කාර්යය සිදුකරන බවයි. ත්‍රිපිටකය මානව වර්ගයාගේ ම දායාදයක් බවත් එය සුරක්ෂිත කිරීමට ජනපතිවරයා ගත් පියවර බෞද්ධ ඉතිහාසයේ වැදගත් ම සංධිස්ථානයක් බව කැලණිය රජමහා විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ පැවසූහ. ලෝකයේ ජීවත්වන කිසිම කෙනකුට ත්‍රිපිටක ධර්මය වෙනස් කිරීමට නොහැකි ආකාරයට ලෝක උරුමයක් කිරීමට ගන්නා ජනපතිගේ ව්‍යායාමය සාර්ථක වේවායි බොහෝ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ එය බෞද්ධ ඉතිහාසයට වැදගත් සංධිස්ථානයක් නිසා ය.

බාධක ජයගෙන

ලෝක උරුම බවට පත් කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අංශයක් වන අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්‌කෘතික සංවිධානය (UNESCO) විසින්. මේ වන විටත් යුනේස්කෝ සංවිධානය සංස්කෘතිකමය වශයෙන් ගෝලීය වැදගත්කමක් සහිත ශ්‍රී ලංකාවේ ස්ථාන 6ක් ලෝක උරුම ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඓතිහාසික පොළොන්නරුව නගරය (1982), ඓතිහාසික සීගිරිය නගරය (1982), දඹුල්ල විහාරය (1991), පැරණි ගාලු නගරය සහ බලකොටුව (1988), අනුරාධපුර පූජනීය නගරය (1982), මහනුවර පූජනීය නගරය (1988), මීට අමතරව ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය (2010) මෙන්ම සිංහරාජ වනාන්තරය (1988) ද ලෝක උරුමයන් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ ඇති ඓතිහාසිකත්වයෙන් අනූන විරල සම්පත් ලෝක උරුම බවට පත්ව තිබියදී යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම ලේඛනයට ත්‍රිපිටකය පත්වීම බෞද්ධ ජනයා ලැබූ භාග්‍යයකි.

බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236 කට පසු ලක්දිවට ගොඩබට අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේලා අපට දායාද කළේ, මුල් සංගායනා දෙකෙහි දී සම්මත වී, තෙවැනි සංගායනාවේදීත් අනුමත වූ අටුවා සහිත ත්‍රිපිටක ධර්මය යි. එකී ධර්මයේ පැවැත්මට කලින් කල යම් යම් තර්ජන එල්ල වූ බව ඉතිහාසය පිරික්සීමේදී පෙනේ. බැමිණිතියා සාය සමයේ අප්‍රමාණ දුක් අනුභව කරමින් ත්‍රිපිටක ධර්මය මතක ශක්තියෙන් පවත්වා ගැනීමට එවක භික්‍ෂූන් වහන්සේ දැරූ ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙසයි ලක්වැසි බෞද්ධ ජනයාට ත්‍රිපිටකය උරුම වන්නේ.

නොයෙක් බාධක ව්‍යසන මධ්‍යයේ රැකගෙන ආ ත්‍රිපිටකය අනාගත පරපුරට එපරිද්දෙන්ම උරුම කර දීමටත්, එහි කිසිදු වෙනසක් හෝ විකෘති කිරීමක් කළ නොහැකි ලෙස ආරක්ෂා කිරීමටත් වත්මන් රජය කටයුතු යොදමින් සිටී. ඊට ජනපතිවරයාගේ මැදිහත්වීම අගය කරන බවට සංඝ පීතෘෘ වහන්සේ පවසති. රටක රාජ්‍ය නායකයකුගේ වගකීම් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා ආගමික දර්ශනය රැක ගැනීමේ වෑයම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕනෑවටත් වඩා ඉටුකර ඇති බවක් පෙනේ. බෞද්ධ වෙහෙර විහාරස්ථාන රැක ගැනීමට ඇප කැප වෙන නායකයකු මේ රටට අවශ්‍ය බවට කාලයක් පුරා බෞද්ධ හිමිවරු වරින් වර හඬ නැඟූහ. බෞද්ධ සංස්කෘතිය නොනසා රට පාලනය කළ යුතු ය යන්න උන්වහන්සේලාගේ දැඩි ඉල්ලීම ද විය. එය ඒ අයුරින්ම ඉටු කිරීමට ජනපතිවරයා කැපවී ඇති බවට ඇති හොඳම නිදසුන ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමෙන් නො නැවතී ලෝක උරුමයක් කිරීමට ගන්නා උත්සාහය යි. බුදු දහම ලක් දෙරණේ විරාජමානව පැවතීමට රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව ද නොමදව ලැබිය යුතුය යන්න අතීතයේ සිට අනුදත් අදහසකි. ඒ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය බුදු දහම හා බද්ධ වූවක් බැවිනි.

 


නව අදහස දක්වන්න