දැනගෙන බොන්න පිටිකිරි | දිනමිණ

දැනගෙන බොන්න පිටිකිරි

වෛද්‍ය ආනන්ද චන්ද්‍රෙස්කර පෝෂණ විද්‍යාඥ, ජ්‍යෙෂඨ කථිකාචාර්ය (පෝෂණවේදී), වයඹ විශ්වවිද්‍යාලය

මවු කුසින් බිහිවූ මොහොතේ සිටම දරුවාට කිරි දීම කළ යුතුය. නමුත් කිරි හොඳින් නිපදවීමට මව සූදානම් විය යුත්තේ දරුවා මවු කුස තුළ සිටින විටදීමය. කිරි හොඳින් නිපදවීමට මව හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටීම වැදගත් බැවිනි.

මවුකිරිවල ප්‍රමාණය ද එහි අඩංගු සංඝටක ද කුඩා දරුවාට ඉතා වැදගත්ය. නොයෙකුත් ආසාදන සහ රෝග පාලනය කළ හැකි ප්‍රතිදේහ එහි අඩංගු වනවා සේම දරුවාගේ මොළය වැඩීමට අවශ්‍ය DHA ද , අන්ත්‍ර බැක්ටීරියා පාලනය කරන වර්ධක හෝමෝනය ද මවු කිරිවල ඇත. මවු කිරි Lactoferous (ලැක්ටොෆෙරස්) බැක්ටීරියා වර්ධනය කර අන්ත්‍රයේ කෑම දිරවීම පහසු කරන අතර, ජීර්ණය ද ක්‍රමවත් කරයි. මවු කිරිවල අඩංගු වන්නේ මෘදු ප්‍රෝටීන් හෙවත් ' වේ ' ප්‍රෝටීන (Whey) වන අතර එළකිරිවල ඇත්තේ කේසීන් (Casein) ප්‍රෝටීන වන තද ප්‍රෝටීන්ය. ඒ අනුව සත්ත්ව විද්‍යාත්මකව බලන විට මනුෂ්‍යයාගේ මුල් ළමා අවධියේ වර්ධනයට හා පෝෂණයට අවශ්‍ය සියලු යහ ගුණ මවු කිරිවල තිබෙනවා සේම අන් සතුන්ගේද කිරිවල ද ඒ සතුන්ට සාපේක්‍ෂව බාල කාලයේ වර්ධනයට අවශ්‍ය සියල්ල තිබිය හැකිය.

ඇබ්බැහිවීම

වර්තමාන සමාජයේ කිරි පිටි ගැන විශාල කතිකාවතක් ඇති වී ඇත. මෙම කතිකාවතට හේතු වී ඇත්තේ ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය ආනයනික කිරිපිටිවල අඩංගු බවට සැක මතු වීමයි. ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය කිරිපිටිවලට එකතු කළහොත් කිරිපිටිවල ඇති රසය, පැහැය සහ තත්වය වෙනස් නොවන්නේ ද යන්න පරිභෝගිකයන්ට ඇති ගැටලුවකි.

කිරිපිටිවල ශරීරයට අහිතකර ද්‍රව්‍ය අඩංගුද යන වග සේම වැඩුණු සිරුරකට කිරි අත්‍යවශ්‍ය ද යන කාරණය ද අප විමසා බැලිය යුතුය. සත්‍ය වශයෙන්ම සිදු වී ඇත්තේ අප කිරිවලට ඇබ්බැහි වීමයි. ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන ප්‍රකාශ කරන ආකාරයට ක්ෂිරපායි හෙවත් කිරි බී වැඩෙන සත්ව කාණ්ඩයට අයත් මිනිසාට ස්වභාවයෙන් කිරි අවශ්‍ය වනුයේ ළදරු අවධියේ පමණි. කිරිවල ඇති සංඝටකවලින් වැඩිහිටියකුගේ ශරීරයට එතරම් වැදගත්කමක් නොමැති බව පරික්ෂණවලින් ද සනාථ වී තිබේ.

කිරිවල අඩංගු පෝෂණ සංඝටක වන්නේ, ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්‍රේට්, විටමින් සහ ඛනිජ ලවණයි. පෝෂණ විද්‍යාවේදී කිරිවලට විශේෂිත තැනක් තිබේ. පෝෂණ අවශ්‍යතා මත කිරි ගනු ලබයි. දරුවාගේ ශරීර වර්ධනයට සහ පැවැත්මට අවශ්‍ය සෑම පෝෂ්‍ය ද්‍රව්‍යයක්‌ම යම් යම් ප්‍රමාණවලින් කිරිවල තිබේ. පුද්ගලයින්ගේ සෞඛ්‍ය අවශ්‍යතා මත දිනකට ගන්නා ප්‍රධාන අහාර වේල්වලට අමතරව අතිරේක ආහාර ලබා ගැනීමට සිදුවන අවස්ථාද දක්නට ලැබේ. කිරිපිටි යනු එවැනි අතිරේක ආහාරයකි. නමුත් අතිරේක ආහාරයක් වශයෙන් කිරිපිටි තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් තිබේ.

එක් එක් සත්ව කිරිවල සංයුතිය එකිනෙකට වෙනස් මෙන්ම එම සංයුතිය තීරණය වන්නේ අදාළ සත්වයාගේ වර්ධනය සඳහා අවශ්‍ය වන පෝෂණය අනුවය. උදාහරණයක් ලෙස එළකිරිවල ප්‍රෝටීන් සහ ලිපිඩ බහුල වශයෙන් අඩංගු වන අතර කාබෝහයිඩ්‍රේට ප්‍රමාණය ඊට සාපේක්ෂව අඩුය. නමුත් මවු කිරි ගත් විට ප්‍රෝටීන සහ ලිපිඩ අඩු අතර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩිය. කිරිපිටිවල සංයුතියද මේ ආකාර වේ.

කැල්සියම් අවශ්‍යතාව

වෙළෙඳ පොළේ විවිධ නම්වලින් විවිධ වර්ගයේ කිරිපිටි වර්ග මිල දී ගත හැකි වුවද එම සියලු නිෂ්පාදන සඳහා භාවිත කරනු ලබන්නේ ගවයන්, එළුවන් වැනි සතුන්ගේ කිරිය. මෙම සතුන්ගේ ඉක්මන් වර්ධනය සඳහා අවශ්‍ය විවිධ පෝෂක කොටස් අඩු වැඩි වශයෙන් එම කිරිවල අඩංගු වේ.. එමෙන්ම සමහර කිරිපිටි වර්ග නිෂ්පාදනයේදී විවිධ සංයෝග බාහිරින් එකතු කිරීම ද සිදු කෙරේ. මේ නිසා එක් එක් කිරිපිටි නිෂ්පාදනවල සංයුතිය එකිනෙකට වෙනස් වේ.

නිරෝගී පුද්ගලයකුට එක දිනකට කැල්සියම් මිලි ග්‍රෑම් 250ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන අතර එක් කිරි වීදුරුවකින් එම අවශ්‍යතාවයෙන් 1/3 ක් පමණ සම්පුර්ණ කර ගැනීමට හැකියාව තිබේ. නිරෝගී පුද්ගලයකුට වඩා කැල්සියම් අවශ්‍යතාවයෙන් පෙළෙන රෝගී පුද්ගලයකුට කැල්සියම් වැඩියෙන් අවශ්‍යය. මේ සඳහා වෛද්‍යවරයකුගේ නිර්දේශය මත විටමින් C පෙති භාවිතා කිරීමේ හැකියාවක් ඇති අතර, නිර්දේශ කරන ලද කිරිපිටි වර්ගයක් අතිරේක ආහාරයක් වශයෙන් භාවිතා කළ හැකිය. කෙසේ වෙතත් කැල්සියම් අවශ්‍යතාවය සම්පුර්ණ කරගැනීම වෙනුවෙන් කෘත්‍රීමව නිෂ්පාදනය කරන ලද අතිරේක ආහාරවලට වඩා නිවෙසේදී සකස් කර ගන්නා සමබල ආහාර වේලක් වටිනාකම අතින් ඉහළය.

මේද අම්ල

කිරිවල ඇති ප්‍රෝටීන් කොටස්‌ දෙකකට බෙදේ. එනම්‌ කේසින් (Casein) සහ වේ වශයෙනි. කේසින් ප්‍රෝටීනය 80% ක්‌ කිරිවල අන්තර්ගතය. ඉතිරි 20% හි අඩංගු වන්නේ වේ (Wjeu)ප්‍රෝටීනයයි. මේ අතරින් කේසින්වල ඉතා ඉහළ ජීර්ණ හැකියාවක්‌ ඇති අතර ශරීර වර්ධනයට සහ පේශී වර්ධනයට අත්‍යවශ්‍ය වේ‌. වේ ප්‍රෝටීනය ද ඉතා වැදගත් ප්‍රෝටීනයකි.

කිරිවල තිබෙන වැදගත්ම කොටස වන්නේ මේදයයි. සාමාන්‍යයෙන් කිරිවලින් ලැබෙන මේදය ගුණයෙන් ඉතාම ඉහළය. මිල්ක්‌ ෆැට්‌ (Milk Fat) යනු ලෝකයේ මිල අධිකම තෙල් වර්ගය වන අතර එය ලැබෙන්නේ කිරිවලිනි. ඉන් ශරීරයට අත්‍යවශ්‍ය මේද අම්ල වන ලිනොලෙයික්‌ (Linoliec) සහ ඇල්ෆා ලිනොලෙයික්‌ (Alfa Linoleic) වැනි අත්‍යවශ්‍ය මේද අම්ල ලබාගත හැකිය. එමෙන්ම කිරිවල මේදයේ දියවුණ විටමින් වර්ග ගණනාවක්‌ ඇත. එනම් විටමින් A, විටමින් D, විටමින් E සහ විටමින් K වශයෙනි.

මීට අමතරව කිරිවල කාබෝහයිඩ්‍රේට්‌ සහ ලැක්‌ටෝස්‌ ද අඩංගු වේ. ලැක්ටෝස් තුළ ගැලැක්‌ටෝස්‌ නම් සරල සීනි වර්ගය ඇති අතර ගැලැක්‌ටෝස්‌ සෑදී ඇත්තේ ග්ලැක්‌ටෝස්‌ හා ග්ලුකෝස්‌වල එකතුවකිනි. මෙය මොළයේ වර්ධනයට වැදගත් වන සීනි වර්ගයකි‌.

මීට අමතරව මෙම ලැක්‌ටෝස්‌ සීනි, කැල්සියම් ජීර්ණය පහසු කරවයි. කිරිවලද කැල්සියම් විශාල ප්‍රමාණයක්‌ තිබෙන අතර කැල්සියම් අවශෝෂණය සඳහා ලැක්‌ටෝස්‌ විශාල වශයෙන් උපකාරී වේ. කිරිවල ඇති ලැක්‌ටෝස්‌ මගින් කිරිවල කැලිසියම් 100% ක්‌ම අවශෝෂණය කර ගනී.

කිරිපිටිවල වෙනස

මේ සියල්ල සලකා බැලූවිට කිරි ඉතාම ගුණදායී ආහාරයක් බව පෙනේ‌. කිරිවල යහගුණ අන්තර්ගත වන අතර කිරි බීමෙන් එම යහගුණ අපේ ශරීරවලට ලැබේ. නමුත් ලංකාවේ ජීවත්වන අප විශාල වශයෙන් බීමට පුරුදු වී සිටින්නේ කිරි නොව කිරිපිටිය. ගැටලුව වන්නේ පිටිකිරිවලද දියර කිරිවල තිබෙන යහගුණයම තිබේ ද යන්නය.

පිටිකිරි නොහොත් කිරිපිටි යනු කිරි නොවන අතර එය කිරිවලින් හදන වෙනත් ආහාරයක්‌ පමණි. කිරිවලින් නිෂ්පාදනය කරනු ලබන ආහාර ගණනාවක්‌ ඇත. චීස්‌ සහ බටර් ප්‍රධාන වේ. කිරිවල තිබෙන ප්‍රෝටීන්, මේදය, විටමින් සහ ඛනිජ ආදී කොටස්‌ වෙන් වෙන් වශයෙන් රැගෙන වෙනත් ආහාර වර්ග නිෂ්පාදනය කොට ඉතිරි වන කොටස ජලය ඉවත් කොට ක්‍රීම් බවට පත් කර තවත් ක්‍රියාදාමයකට හසු කර ලබාගන්නා අවසන් ප්‍රතිඵලය වන්නේ කිරිපිටිය.

ලොව දියුණු කිරි නිෂ්පාදනයක්‌ ඇති රටවල අනිත් යහගුණ ඉවත් කොට වෙනත් ආහාර වර්ග නිෂ්පාදනය කර ඉතිරි වන කොටසින් කිරිපිටි නිපදවන්නේ, වෙනත් රසවත් ආහාර ද්‍රව්‍යවලට යොදා ගන්නා අමුද්‍රව්‍යයක්‌ ලෙසය. උදාහරණ ලෙස චොක්‌ලට්, බිස්‌කට්‌ වර්ග සහ කේක්‌ වර්ග සෑදීමේදී අමුද්‍රව්‍යයක්‌ ලෙස කිරිපිටි යොදා ගනී.

මේ නිසා දියුණු රටවල සුපිරි වෙළෙඳ සංකීරණයන්හි බීමට ගන්නා ආහාර පාන අසුරා ඇති තැන්වල කිරිපිටි තබන්නේ නැත. ඔවුන් කිරිපිටි අසුරනු ලබන්නේ කෑම සෑදීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය තබන ස්ථානවලය.

කිරිවල යහගුණය එලෙසම අඩංගු පිටි වර්ග ද තිබේ. ඒවායේ මිල ගණන් ඉතාම ඉහළය. ළදරුවන්ට සහ විශේෂ තත්ත්වයේ රෝගීන්ට ලබාදෙන හයි ප්‍රෝටීන් පිටි වර්ග ලෙස මේවා හැඳින්වේ‌.

එළකිරි බීමට ගන්නැයි සෑම කෙනකුටම කිව නොහැක්කේ, දියර කිරි ලබා ගැනීමේ පහසුකම් සෑම පවුලකටම නැති බැවිනි. දියර කිරි කල් තබා ගැනීමේ ක්‍රමවේද මෙන්ම සෑම පවුලකටම දියර කිරි ලබාදීමට තරම් නිෂ්පාදනයක් ද ශ්‍රී ලංකාව තුළ නැත. මේ නිසා මිනිස්සු කිරිපිටි පානය කිරීමට පෙළඹී සිටිති. මිනිස් ආහාරවලට සංස්කෘතියක් තිබේ. නමුත් එහි වටිනාකම පිළිබඳව සොයාබැලීමේ අවශ්‍යතාවයක් මිනිසාට නැත. තේ සහ කෝපිවල වටිනාකමක් නැතත් ජනතාව ඒවා පරිභෝජනයට ගනිති. මත්පැන් ගැනීමද එවැන්නකට උදාහරණයකි.

නිවැරදි අවබෝධයක්

ලංකාවේ ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක් වැය වන්නේ කිරිපිටි ආනයනය කිරීම සඳහාය. එය ආර්ථික වශයෙන්ද එතරම් යහපත් දෙයක් නොවේ.

කිරිපිටිවලින් රෝග රැසක් බෝවෙන බව සඳහන් කොට ඇතැම් රෝහල්වල පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබුණද එය අදාළ වන්නේ වැඩිහිටියන්ට නොව ළදරුවන්ටය. ළදරුවන්ට දිය යුතු සුදුසුම ආහාරය වන්නේ මවුකිරි බැවිනි. මවුකිරි වෙනුවට කිරිපිටි දීමෙන් හුස්ම ගැනීමේ ආබාධ හට ගැනීමෙන් ළදරුවන් මරණයට පවා පත්වේ.

කිරිපිටි සමාගම් ද සාන්තුවරයන් නොවේ. තම නිශ්පාදන අලෙවි කර ගැනීම සඳහා ඔවුන් නොයෙකුත් උපක්‍රම අනුගමනය කරයි. වැඩි තේ ප්‍රමාණයක් සාදා ගැනීමට හැකිවන පරිදි සුදු කිරීම සඳහා කිරිපිටිවලට නොයෙක් දේ එකතු තරනු ලබයි. මේවා කිරි නොව වෙනත් දේවල්ය. එය සදාචාරාත්මක නැත. එමෙන්ම කිරිපිටි නොවන දේ විශ්ලේෂණය කොට ඒවායේ නොයෙක් දේ ඇතැයි පැවසීම ද සදාචාරාත්මක නැත. ශ්‍රී ලංකාවේ කිසිම කිරිපිටි වර්ගයක මෙලමයින් තිබේ යැයි පරීක්ෂණවලින් සනාථ වී නැතත් චීනයේ කිරිපිටිවලට මෙලමයින් එකතු වී ළදරු මරණ සිදුවුණ අවස්ථා පසුගිය කාලයේ අසන්නට ලැබුණි. ලංකාවේ කිරිපිටිවල DCG නොහොත් ඩයිසයිනොමයිට් අන්තර්ගත බවට කතාවක් පැතිරුණ ද එය ද සත්‍යතාවයෙන් තොරය. නවසීලන්තයේ සත්ව ගොවිපළවලදී හරකුන්ගේ මළමුත්‍ර තණකොළ වලට එකතු වීමෙන් කිරිවල නයිට්‍රජන් ප්‍රමාණය වැඩීවීම නිසා මෙම ගැටලුව පැන නැගුණද එය පර්යේෂණ මඟින් සනාථ වූයේ නැත. මීට වසර පහකට පමණ පෙර ද කිරිපිටි නියැදි (sample) තායිලන්තයට යවා පරීක්ෂා කළද ශරීරයට අහිතකර දේ සොයා ගැනුණේ නැත. මේ නිසා අපට නිගමනය කළ හැක්කේ ලංකාවේ කිරිපිටි සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් නොමැති බවයි. එසේ තිබියදී මිනිසුන් බයකිරීම සුදුසු නැත. මින්සුන්ට දිය යුත්තේ අවබෝධයයි.

සටහන - චතුමී පිටිපන

නව අදහස දක්වන්න