දිවි උයනේ පියුම නෙළමු | දිනමිණ

දිවි උයනේ පියුම නෙළමු

වර්තමාන සමාජය දෙස නෙත් යොමන විට සියල්ල උඩුයටිකුරු වෙමින් පවතින බව පැහැදිලිව පෙනෙන සත්‍යයකි. විවෘත ආර්ථිකය විසින් අප දම්පාට ලෝකයකට ඇතුළු කර ඇත. ඒ තුළ ඇති විසිතුරු දේ ලබා ගැනීම සඳහා අප සතු සියලු සාරධර්ම අමතක කර මුදල් පසුපස හඹා යාම වර්ධනය වී ඇත. එහි ඇති රම්‍ය සුරම්‍ය දේ ලබා ගැනීම සඳහා නිරන්තර අරගලයකට මුළු මහත් සමාජයම කොටු වී සිටී. එහෙත් ඒ අරගලය කිසිදා ජයගත නොහැකි බව සක්සුදක් සේ පැහැදිලිය. අරගලයට සහභාගි වන සියලු දෙනාගේ අපේක්ෂාව වන්නේ දිනීමය. නමුත් කවුද දිනුවේ යන්න ප්‍රශ්නයකි. අපි දිනුවා යනුවෙන් කවුරුන් හෝ පවසනවා නම් මොනවද දිනුවේ යන්න පැහැදිලි කිරීමට ඒ අයට හැකිද? කියන්න. ඒ කිසිම කෙනකුට සතුට, සමාදානය, මිහිර හමුවී නැත. අප පතන සතුට සැනසුම ලබා ගැනීමට නොහැකි ඇයි? එතන කිසියම් ප්‍රශ්නයක් තිබේ. ඒ ප්‍රශ්නය විග්‍රහකර ගතහොත් උත්තරය හොයා ගැනීමට හැකි වේවි. සමහරු හිතන්නේ සංගීතය, ගීතය, නවකතාව, කෙටිකතාව, සිනමාව, නාට්‍ය කලාව, යනුවෙනි. එහෙත් ජීවත්වීමත් කලාවක් බව අප තේරුම් ගත යුතුයි. එය අප ගාව තියෙනවාද කියලා. එය ඔබට හොයා ගන්න පුළුවන් වේවිද, හොයා ෙගන රස විඳීමට හැකි වෙයිද කියා බලමු.

අපි මැදිවෙලා ඉන්න අරගලයටම මුල් වෙන කරුණු දෙකක් තිබේ. එකක් අධ්‍යාපනය තුළින් ලැබිය යුතු දැනුම් පරාසය පටුවීම. අනෙක අපේ මිනිසුන් මනසින් දුප්පත් සහ කම්මැලි වීම. ප්‍රශ්නවලට මුහුණදෙන්නේ මේ ප්‍රධාන කරුණු දෙක නිසාය. එමනිසා විධිමත්, අවිධිමත්, නොවිධිමත් යන සෑම ආකාරයකින්ම අපේ මිනිසුන්ට දැනුම ලබා දිය යුතුය. බොහෝ අයට ලෝකේ සිද්ධ වන දේවත් ග්‍රහලෝක තරණය ගැනත් අවබෝධය තිබේ. නමුත් අපේ නිවසේ බිත්ති හතර තුළ ජීවත්වීමේ කලාව ගැන දැනීමක් නැතිකම හෝ අතහැර දැමීම සිදුවේ.

එමනිසා සොඳුරු සුන්දර දේවල් රටට මාධ්‍ය හරහා දායාද කරන ආයතනයකින් ජනතාව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වුණෙමු. මේ රටේ ජනතාව සමඟ එක්වී පින්බර, නිවුණ, හැදුණු, පිරුණු සොඳුරු දේශයක් ගොඩනගන්න. ඒ අනුව අපි දෙදහස් දහහත වර්ෂයේ බිම් මට්ටමේ. ගම් මට්ටමේ නියම්ගම්වලට ගොස් වැඩසටහන් සියයක් කළෙමු. එහිදී අපට විශාල ජනතා ප්‍රතිචාරයක් ලැබිණි. ඔවුන් පැවසුවේ මෙය මාධ්‍ය හරහා ප්‍රචාරය කළොත් වඩාත් ප්‍රතිඵළ ලැබෙන බවය. අපි මේ වැඩසටහන ආරම්භ කළේ ඒ ඉල්ලීමට ගරු කිරීමක් වශයෙනි. අපට තියෙන්නේ සතුටින් ජීවත්වන්න හිත හදා ගැනීම පමණි. හිත හදාගත් පසුව එය හරිම සෞන්දර්යාත්මකය. ඒක ආතතියක් විෂාදියක් ජීවිතයට එකතුවෙන දෙයක් නොවේ. ග්‍රහලෝක නවයක් තියෙන බව අපි දනිමු. මේ නවයෙන් අප ජීවත්වන ලෝකය හැර අනෙක් ග්‍රහ‍ලෝක සියල්ලම හඳුන්වන්නේ ග්‍රීක දෙවිවරුන්ගේ නම්වලිනි. අප ජීවත්වන ලෝකය හඳුන්වන්නේ පෘථිවිය යනුවෙනි. එයට ඉංග්‍රීසි‍යෙන් “අර්ත්” (Earth) යනුවෙන් හැඳින්වේ. එහි පළමුවන අකුරයි අවසාන අකුරයි ඉවත්කළාම ඉතිරි වෙන්නේ ආර්ට් (Art) යන වචනයයි. එයින් අදහස් කරන්නේ කලාව යන්නයි. කලාවෙන් තොර මහපොළවක් හෝ ජීවිතයක් නොමැති බව අප එයින් අවබෝධ කරගත යුතුය. අපේ හදවත ගැහෙන ශබ්දය, ලේ ගමන්කරන රාවය මේ සියල්ල කලාවකි. මේ විකෘති තත්ත්වයන් බිහිවන්නේ ඒ කලාව අවතැන් වීම නිසාවෙනි. ස්වභාව ධර්මය විසින් ජනිත කළ කලාව අපේ පරිපථයෙන් ඈත්කර මිනිසා විසින් නිර්මාණය කළ කලාව විතරක් කලාව යනුවෙන් හිතනවා නම් අපට හිමි වන්නේ නිස්සාර ජීවිතයකි. නන්දාමාලිනී මහත්මිය ගයන ‘වහින්නට හැකිනම්’ නමැති ගීතය ඉතා සොඳුරු ගීතයකි. එතුළ ඇත්තේ මිනිස්සු වෙනුවෙන් කරන කැපවීමය. එම ගීතය රාජ්‍ය සේවකයන්ගේ ගීතය වෙනවා නම් ඉතා හොඳය. මිනිස්කම මානව විද්‍යාව අනුව වැරදි ගුලියක් කියලයි කියන්නේ. ආගමක් හා සංස්කෘතියක් ඇත්තේ එය නිවැරදි කිරීමටය. අපේ ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව විවාහය යයි කිවහොත් එය නිවැරදිය. සොඳුරු නිවසක සොඳුරු කැදැල්ලක ආරම්භය එතනයි. අපිට ඇත්තේ සුවපත් කරන සමාජයක් නොවේ. නිවාරණය කරන සමාජයකි. අපිට තිබුණේ ලෙඩේ හැදෙන්න කලින් නිවාරණය කරගන්න සමාජයකි. විවාහය යනු නොගැළපීම් ගොඩක් ගලපාගෙන ජීවත් වීමය. සංස්කෘති දෙකක දෙදෙනකු පොදු සංස්කෘතියකට ඒම විවාහයයි. දෙදෙනා විවාහයෙහි බැ‍ඳෙන්නේ අන්‍යෝන්‍ය කැපකිරීම, විශ්වාසය යන කරුණු මතය. අපේ සංස්කෘතිය තුළ අපට උගන්වා ඇත්තේ ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැනට එනවා. අන්න එතකොට තමයි ඉවසන්න ඕනෑ යනුවෙනි. අන්න එතන තමයි විවාහය තියෙන්නේ. “රියන් දිගට කටු තිබුණත් බැඳපු ගහේ කර උලනවා කියලා” පැරණි කතාවක් තිබේ. එයින් අදහස් කරන්නේ විවාහ ජීවිතය තුළ කොතරම් දුක් කම්කටොලු තිබුණ ද එහිම රැඳී ඉන්න බවය. නමුත් එම තත්ත්වය කෙමෙන් දියාරු වන බවත් පෙනේ. විවාහ වන දිනයේ ඡායාරූප ශිල්පියකු ගෙනවිත් විවාහ දිනයේ විවිධ ඡායාරූප රාශියක් ගනී. පසුව විශාල ඇල්බම් එකක් සාදයි. ඡායාරූපශාලා හිමියා මාස තුන හතරක් බලා සිටින නමුත් මනමාලි හෝ මනමාලයා යන දෙන්නාගෙන් එක් අයකුවත් ඇල්බමය රැගෙන යාමට පැමිණෙන්නේ නැත. මේ ගැන සෙවීමේදී හෙළිවන්නේ විවාහ වී මාස තුනහතරක් යාමට පෙර දෙන්නා විරසක වී ඇති බවය. ඒ නිසා දැන් ඡායාරූපශාලා හිමියන් විවාහ උත්සවය දවසේම ඇල්බමයේ සම්පූර්ණ වටිනාකම අයකරයි. ලංකාවේ වසරකට ලක්ෂ දෙකක් පමණ විවාහ වෙති. නමුත් එයින් දිනකට තුන්සියයක් පමණ දික්කසාද වෙති. මෙය මහා දැවැන්ත ඛේදවාචකයකි. නීතිඥයින් පවසන්නේ වැඩිහරියක්ම ඔවුනට ඇත්තේ දික්කසාද නඩු බවය.

නමුත් අතීතයේදී අපිට විවාහ සම්බන්ධව විශාල හර පද්ධතියක් තිබිණි. අපේ ආච්චිලා සීයලා එකට ජීවත් වූහ. කඩදාසියකට පමණක් ඔවුන්ගේ විවාහය සීමා නොවිණි. නමුත් වර්තමානයේ දික්කසාදය විලාසිතාවක් වී තිබේ. ජනප්‍රිය චරිත දික්කසාදයෙන් ජනප්‍රියත්වය ලබා ගැනීමට උත්සාහ කරති. මාධ්‍යයෙන්ද එයට සහයෝගයක් ලැබේ. නමුත් පිටරටවල මහා පුදුම මාධ්‍ය සංවරයක් තිබේ. මාධ්‍යවේදීන් මෙම ජනප්‍රිය චරිතවලින් ඇසිය යුත්තේ ඔවුන්ගේ කලා කෘති ගැන මිස ඔවුන්ගේ පුද්ගලික ජීවිතයේ ඕපාදූප නොවේ. පිටරටවල තහනම් කර ඇති පවුල් සංස්ථා බිඳවැටීම් පිළිබඳ ප්‍රවෘත්ති, ටෙලිනාට්‍ය ආදිය අපේ රටට ලේසියෙන්ම ඇතුළු වේ. මන්ද අපේ රටට ඕනෑම කුණුගොඩක් ගෙන ඒමට බාධාවක් නොවන බැවිනි. අපේ විවාහ පිළිබඳ චාරිත්‍රවාරිත්‍ර පිළිබඳවත් වැරදි අර්ථකථන දී ඇති බව පෙනේ. ඒ පිළිබඳ තරුණ පරපුරට දොස් නැගීමට ද නොහැකිය. අපි ඒ අයට අපේ උරුමය පවරා නැත. තවත් ජනශ්‍රැතියක් තියෙනවා ගෑනු ළමයෙක් කන්‍යාභාවය රැකගෙන නැත්නම් පෝරුව මත සිටිද්දී සිහිසුන්වන බව. මෙය මිථ්‍යාවකි. නමුත් එතුළ පාලනයක් තිබිණි. එහි ඇති විද්‍යාත්මක පදනම ඉදිරියට ගෙන යා යුතුයි. උදාහරණයක් ගතහොත් අපි විවාහවන දිනයේ මනමාලියි මනමාලයයි බුලත් අත් හතක් මාරුකිරීම සිරිතකි. එක බුලත් අතකට කොළ හතළිහක් අන්තර්ගතය. එතකොට අත් හතේ බුලත්කොළ දෙසිය අසූවකි. එයින් ගම්‍ය වන්නේ මව්කුස තුළ දරුවෙක් දින දෙසිය අසූවක් ගතකරන බවයි. අපේ මුතුන් මිත්තෝ මේවා කළේ විද්‍යාව ඉගෙන ගෙන නොවේ. අපේ බුදු දහමේ හේතුඵල වාදය උගන්වයි. හේතුඵලවාදයෙන් තොර කිසිවක් නොවේ. මනාල ජෝඩුව පෝරුවේ සිටවා අෂ්ඨක කියයි. එවිට මනමාලිගේ සියලු ගර්භාෂ බිත්ති කම්පනය වේ. එය අෂ්ටකවල ඇති රිද්මයට, උච්චාරණයට, ශබ්දයට ය. ඒ දේ සිදුවන්නේ. මේ දේ නිර්මාණය කළ පුද්ගලයා කෙතරම් දියුනු දැයි සිතිය යුතුය. විවාහයෙන් පස්සේ ඊළඟට එන අභියෝගය වන්නේ නිවෙසක් හදා ගැනීමය. ඒ සඳහා බොහෝවිට ණයක් ගැනීමට සිදුවේ. බො‍හෝ ප්‍රශ්න මැද කාමරයක් කුස්සියක් හදාගෙන ඒකේ පදිංචි වෙයි. දොරක් දාගන්න සල්ලි නෑ. ගත්තු ණය අවුරුදු දහයක් ගෙවන්න ඕනෑ. තමන්ගේ විවාහ දිවියේ සොඳුරුම කාලය අඩුපාඩු මැද ගෙවිලා යයි. එමනිසා අපි අපේ සංස්කෘතිය අනුව අපිට හුරුවූ චාම් සරළ ජීවිතයට අනුගත විය යුතුය. සෝභන ලෝකයෙන් ඈත් විය යුතුයි. ඈත තියෙන මොනර පිහාට්ට දැකලා ළඟ තියෙන කපුටු පිහාට්ට විසිකිරීම නොකළ යුතුයි.

මේ ජීවිතේ රස ආකරයකි. එය තේරම් ගතහොත් ජීවිතය කියන දේ හරිම සුන්දර දෙයක් බවට පත්කරගත හැකියි. අපේ උරුමය අපේ ජීවිතවලට වැද්දගත්තාම අපේ මුතුන් මිත්තන් ගතකළ සොඳුරු පවුල් ජීවිත අපිටත් උරුමකරගත හැකි බව ප්‍රායෝගිකවම තේරුම් ගත හැකියි.

රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලි නාලිකාවේ විකාශය වූ “සොඳුරු කැදැල්ල” වැඩසටහනේ දෙවැනි අදියර ආරම්භ කිරීම සඳහා පසුගියදා කොළඹ නිදහස් මන්දිරයේ පැවති උත්සවයේදී ප්‍රවීන නළු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ දෙසුම් ඇසුරින් සකස්කරන ලදී.

පී.ඒ. කපුරුබණ්ඩාර ආරච්චි තලාතුඔය විශේෂ


නව අදහස දක්වන්න