මිරිජ්ජවිල ආ‍යෝජනය | දිනමිණ

මිරිජ්ජවිල ආ‍යෝජනය

ආයෝජනය රටේ සංවර්ධනයට අවශ්‍ය මූලික සාධකයකි. ශ්‍රී ලංකාව විදේශීය ආයෝජන ගැන කතා කරන්නේ දීර්ඝ කාලයක සිට ය. සෑම ආණ්ඩුවක් ම පාහේ විදේශීය ආයෝජන ගැන කතා කළේ ය. ඒවා අපේක්ෂාවෙන් සිටියේ ය. එහෙත් අපේක්ෂා කළ තරමට ම විදේශීය ආයෝජන ලැබුණේ නැත. විදේශීය ආ‍යෝජකයන්ගේ සම්ප්‍රාප්තියට බලපාන සාධක ගණනාවක් තිබේ. දේශපාලන ප්‍රතිපත්ති, රටේ නීති - රීති, පොදු පහසුකම්වල තත්ත්වය හා සාමයත් ඒ අතර ප්‍රධාන වෙයි. මේ වන විට විදේශීය ආ‍යෝජන සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් දකින්නට ලැබේ. ඉන් පැහැදිලිවන්නේ රටේ තත්ත්වය හොඳ අතට හැරී ඇති බවය.

හම්බන්තොට මිරිජ්ජවිල කේන්ද්‍රකොට දැවැන්ත ආයෝජන ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට සියලු කටයුතු සැලැසුම් කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 24 වනදා ඉහත ව්‍යාපෘති දෙක සඳහා මුල්ගල් තබන බව සඳහන් වී ඇත. එක ව්‍යාපෘතියක් සඳහා සිංගප්පූරු සමාගමක් ආයෝජනය කරයි. අනෙක් ව්‍යාපෘතිය සඳහා ඕමාන සමාගමක් ආයෝජනය කරයි. මේ සමාගම් දෙකම ලෝකය පිළිගත් බලවත් ව්‍යාපාර පවත්වාගෙන යයි. සිංගප්පූරු සමාගම ආ‍යෝජනය කරන්නේ තෙල් පිරිපහදුවකට ය. ඒ හැරෙන්නට ඉහත කලාපය තුළ සිමෙන්ති කම්හලක් ද ඉදිකිරීමට නියමිතය.

තෙල් පිරිපහදු කොට අලෙවි කිරීම ලෝකයේ ලාභදායී ව්‍යාපාරයකි. හම්බන්තොට කලාපය මේ සඳහා වඩාත් සුදුසු වන්නේ වරායක් හා ගුවන් තොටුපොළක් ඇති බැවින් ය. ඒ හැරත් තෙල් පිරිපහදුවකට අවශ්‍ය විශාල භූමි ප්‍රමාණය ද එහි ඇත. බොරතෙල් නැව් මඟින් ආනයනය කොට පිරිපහදුව සඳහා යොදාගනු ලැබේ. හම්බන්තොට වරාය ඉදිකරන සමයේ ආර්ථික විශේෂඥයන්ගේ උපදේශය වූයේ නැව්වලට තෙල් ලබාදෙන මධ්‍යස්ථානයක් එහි ඉදිකළ යුතු බව ය. එහෙත් එදා එය ඉටුවූයේ නැත. ඒ සඳහා විදේශ ආයෝජකයෙක් පැමිණියේ වසර ගණනාවකට පසුව ය. මේ ව්‍යාපෘති දෙක නිසා රටේ අපනයන ආදායම ඩොලර් බිලියනයකින් පමණ ඉහළ යන බව ද කියති.

1992 දී ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ව්‍යාපාරිකයෙක් කියා සිටියේ දකුණු ආසියාවේ ආයෝජනය කිරීමට හොඳම රාජ්‍යය ශ්‍රී ලංකාව බව ය. එකල විදේශීය ආයෝජකයන්ගේ අවධානය ඉතා හොඳින් ශ්‍රී ලංකාවට යොමු වී තිබිණි. ඇතැම් ව්‍යාපාරිකයෙක් පැමිණියේ ඇඟලුම් කර්මාන්තය සඳහා ය. තව ව්‍යාපාරිකයෙක් පැමිණියේ මැණික් කර්මාන්තය සඳහා ය. ධීවර කටයුතු ආශ්‍රිතව කර්මාන්ත ඇති කිරීම සඳහා විදේශීය ආයෝජකයන්ගේ කැමැත්ත පළ වී තිබුණ ද එම ව්‍යාපාර එකක්වත් සාර්ථක වූයේ නැත. ඉන් වසර දහයක් පමණ ගෙවී ගිය තැන විදේශීය ආ‍යෝජකයන්ගේ පැමිණීම හොඳට ම අඩුවිය.

රුපියලේ අගය පිරිහීම ශ්‍රී ලංකා ආර්ථිකයට තදින් බලපා තිබේ. එය ආර්ථිකයේ ඉදිරි ගමනට විශාල බාධකයකි. ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය බංගලිදේශය වැනි රටවල් ද මේ ගැටලුවට මුහුණ දී සිටිති. ශ්‍රී ලංකාවට එය තදින් බලපාන්නට පටන්ගෙන ඇත්තේ අපේ අපනයන ආදායම දුර්වල තත්ත්වයක පැවැතීම නිසා ය. පසුගිය දසක දෙක තුළ අපනයන ආදායම් ශීඝ්‍රයෙන් පහළ බැස තිබේ. සාම්ප්‍රදායික අපනයන වන තේ, පොල්, රබර් හා කුළුබඩු නිෂ්පාදනය පහළ ගොස් ඇත. ඒ සම්බන්ධයෙන් පවතින වෙළෙඳ තරගයේදී ද ශ්‍රීලංකාව පසුබා සිටී. තේ නිෂ්පාදනය පහළවැටීම මීට බලපෑ ප්‍රධාන සාධකයකි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දර්ශනයට අනුව, නිෂ්පාදන ආර්ථිකය, සේවා ආර්ථිකය හා සාගර ආර්ථිකය යන තුනම වැඩිදියුණු කළ යුතුය. රටට අවශ්‍ය සංවර්ධන ඉලක්ක ජයගත හැක්කේ එවිට ය. නිෂ්පාදන ආර්ථිකය නැංවීම සඳහා කෘෂිකර්මය මෙන් ම කාර්මික අංශයද ඉදිරියට ගෙන යා යුතුය. කෘෂිකර්මයෙන් පමණක් රටක් දියුණු කිරීම අපහසු ය. නව කර්මාන්ත ඇතිකිරීම සඳහා යොදාගත හැකි හොඳම ආර්ථික උපාය මාර්ගය වන්නේ ආයෝජන කලාප ඇති කිරීම ය. ශ්‍රී ලංකාවට ආයෝජන කලාප හඳුන්වා දුන්නේ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ය. ඒ ආර්ථික දර්ශනය නිවැරැදි ය. රනිල් වික්‍රමසිංහ මහතා එය ඉදිරියට ගෙන යයි.

ආදායම් මාර්ග වැඩි කිරීමට, නව රැකියා බිහි කිරීමට, විදේශ විනිමය ඉපැයීමට මෙන්ම දුෂ්කර පළාත් දියුණු කිරීමට ද විශේෂ ආර්ථික බලයක් ආයෝජන කලාපවලට තිබේ. මිරිජ්ජවිල ඇති කරන තෙල් පිරිපහදුව හා සිමෙන්ති කම්හල ආශ්‍රිතව විශාල පිරිසකට රැකියා ලැබෙන බව ද කලාපයේ තවත් අයට ආදායම් මාර්ග විවෘත වන බව ද සඳහන් වී ඇත. පළමු ව්‍යාපෘතිය සඳහා ඩොලර් දසලක්ෂ හාරදහසකට ආසන්න මුදලක් වැයකරන බව ද දැනගන්නට ලැබේ. මේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් අක්කර එකසිය ගණනක් පුරාවට විහිදෙයි. සිමෙන්ති කම්හලේ ඉදිකිරීම් තවත් අක්කර හැට ගණනක් පුරාවට විහිදෙයි. මේ ව්‍යාපෘති නිසා හම්බන්තොට වේගයෙන් දියුණු වනු ඇත.

විදේශීය ආයෝජකයන් සම්බන්ධයෙන් හොඳ වැටහීමක් හෝ යහපත් ප්‍රතිචාරයක් හෝ අපේ ජනතාව තුළ නැත. එය කෘත්‍රීම ලෙස ඇතිකළ භීතියක් නිසා ඇති වූ දෙයක් සේ සැලැකිය හැකිය. විදේශිකයන් ශ්‍රී ලංකාවේ සම්පත් සූරාකෑමට එන බව සමහර දේශපාලකයෝ කියති. තව සමහර දේශපාලකයෝ විදේශීය ආයෝජකයන්ට බලපෑම් කරති. එක්තරා කාලයක රටේ ප්‍රධාන ඇමැතිකමක් දැරූ දේශපාලකයෙක් විදේශීය ආයෝජකයකුගෙන් විශාල කප්පම් මුදලක් ඉල්ලා සිටියේ ය. එම ආයෝජකයා සිද්ධිය සම්බන්ධයෙන් රජයට පැමිණිලි කොට බංගලිදේශයට ගොස් වෙනත් කර්මාන්තයක් ඇති කළේ ය. ඔහු ශ්‍රී ලංකාවට පැමිණ සිටියේ ධීවර කටයුතුවලට අදාළ නව කර්මාන්තයක් ඇති කිරීම සඳහා ය.

මිරිජ්ජවිල තෙල් පිරිපහදුවේ දෙවන අදියර ද වසර පහක් ගතවීමට පෙර ඉදිකොට අවසන් කරන බව සඳහන් වී ඇත. මෙබඳු දැවැන්ත ව්‍යාපෘතියක් වසර පහක් වැනි කෙටි කාලයක් තුළ ඉදිකොට අවසන් කිරීමට ලැබීම සැලකිය යුතු ජයග්‍රහණයකි. හම්බන‍්තොට ආයෝජන කලාපය තුළ ආයෝජනය කිරීමට රාජ්‍ය ආයතන මෙන් ම පෞද්ගලික ආයතන ද ඉදිරිපත් වී ඇත. මෙය ද සැලැකිය යුතු ජයග්‍රහණයකි. දකුණු කොරියාව, මැලේසියාව වැනි රටවල් දියුණුවූයේ කාර්මික නිෂ්පාදන නිසාය. සිංගප්පූරුව දියුණු වූයේ සේවා ආර්ථිකය නිසාය. ඉහත සඳහන් කළ ආර්ථික ක්ෂේත්‍ර තුන ම ශ්‍රී ලංකාවට දියුණු කළ හැකි ය.

විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීමට නම්; රට ආකර්ෂණීය ආස්ථානයක පැවැතිය යුතුය. එම තත්ත්වය ඇති කළ හැක්කේ රටේ පාලකයන්ට ය.

 


නව අදහස දක්වන්න