වසර 33කට පසු ගුවන් හමුදාව අවසන් මහා තරගයට | දිනමිණ

වසර 33කට පසු ගුවන් හමුදාව අවසන් මහා තරගයට

ෆවුස් මොහොමඩ්

සැලසුම් සහගත ක්‍රීඩා විලාශයක නිරතවූ ගුවන් හමුදා රග්බි කණ්ඩායම අවසන් පූර්ව තරගයෙන් පොලිස් ක්‍රීඩා සමාජය ලකුණු 32-23කින් පරදවා වසර 33කට පසුව ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ කුසලානය අත්පත් කරගැනීමේ බලාපොරොත්තු පොදි බඳිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.

කොළඹ තුරඟ තරග පිටියේ පෙරේදා පස්වරුවේ පැවැති මේ තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 16-14කින් පසුබැස සිටිය ද දෙවැනි භාගයේදී මනා සැලසුමක් සහිතව පිටියට පිවිස මේ විශිෂ්ට ජයග්‍රහණයට හිමිකම් කීමට සමත්විය.

ගුවන් හමුදා පිල තරගය පුරා ගෝල් 3ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් වාර්තා කළ අතර පොලිස් ක්‍රීඩකයන්ට රැස් කිරිමට හැකිවූයේ ගෝලයක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් පහර 2ක් පමණි.

ඉෂාර මධුසංඛ, සාරක වැරැල්ල, පරාක්‍රම රත්නායක සහ නුවන් පෙරේරා උත්සාහක දිනුම් තබමින් වසර 1986දී පළමු වරට ක්ලිෆර්ඩ් කුසලානය දිනාගත් ගුවන් හමුදා පිලට නැවත එම මතකය අවදි කරදෙමින් මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සිය කණ්ඩායම රැගෙන යාමට සමත්වූහ. එම උත්සාහක දිනුම් 3ක්ම ගෝල බවට පත් කළ චරිත් සෙනෙවිරත්න දඬුවම් පහර 2ම සාර්ථක කරමින් අනගි දායකත්වයක් ගුවන් හමුදා පිලට ලබා දුන්නේය.

ගුවන් හමුදා පිල අවසන් පූර්ව වටයට සේන්දු වූයේ මෙවර තරගාවලියෙන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය ඉවත්වීමෙන් පළමු අර්ධ අවසන් පූර්ව තරගයෙන් නිතරග ජයක් ලබාගනිමිනි. ‍

ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ලීග් අනුශූර හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර අද (21) පස්වරු කොළඹ තුරඟ තරග පිටියේදි පැවැත්වෙන අතර අවසන් මහා තරගය 24 වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත.

ඡායාරූපය - සුදම් ගුණසිංහ 

නව අදහස දක්වන්න