ආණ්ඩුවේ විවෘත සංවාදශීලී ප්‍රතිපත්තිය ගැන සතුටට පත් වෙනවා | දිනමිණ

ආණ්ඩුවේ විවෘත සංවාදශීලී ප්‍රතිපත්තිය ගැන සතුටට පත් වෙනවා

බුද්ධි කරුණාරත්න

ආණ්ඩුව තමන්ගේ කාර්යාලය සමඟ තිරසාර සහයෝගයෙන් කටයුතු කිරීම ගැනත් ආණ්ඩුවේ විවෘත සංවාදශීලී ප්‍රතිපත්තිය ගැනත් ඉමහත් සතුටට පත් වූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචෙල් මහත්මිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන වාර්තාව ඉදිරිපත් කරමින් කීවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන, වගවීම් සහ මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කරමිනි.

තවද ඔක්තෝබර් මාසයේ සිදු වූ ව්‍යවස්ථා අර්බුදය සහ මාර්තු මාසයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට හේතු වූ කාරණා නිසා ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට බාධා ඇති වූ බව ද ඇය ප්‍රකාශ කළාය.

ගිය වසරේ මාර්තු මාසයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට තුඩු දුන් සිද්ධීන් හා ඔක්තෝබර් මාසයේ ව්‍යවස්ථා අර්බුදය නිසා, ප්‍රතිසංස්කරණ ස්ථාපිත කිරීමට සුදුසු දේශපාලන පරිසරයක් පැවැතියේ නැතැයි ඇය වැඩිදුරටත් කීවාය.

මේ අතර ශ්‍රී ලංකාවේ ස්වාධීන කොමිසන්වල තීරණාත්මක කාර්ය භාරය ඇයගේ අවධානයට ලක් විය. විශේෂයෙන්ම ජාතික මානව අයිතිවාසිකම් කොමිසම ගැන ඇය මෙසේ ප්‍රකාශ කළාය.

'ඒ කොමිසම් ස්ථාපිත කිරීම සහ ඔවුන්ගේ ස්වාධීනත්වයට අප ගරු කරනවා. ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය ශක්තිමත් කිරීමට තවත් පියවර රැසක් ගත යුතුයි'

මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව අනුව පසුගිය වසර හතර ඇතුළත ආයතනික ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ශ්‍රී ලංකාව ගෙන ගිය පුළුල් ක්‍රියාමාර්ග ගැන මහ කොමසාරිස්වරියගේ අවධානය යොමු විය. කෙසේ වෙතත් මේ කටයුතු තවදුරටත් ස්ථාවර, පරිපූර්ණ හා කඩිනම් කළ යුතුව ඇතැයි ඇය පෙන්වා දුන්නාය.

'පරිවර්තනීය ක්‍රියාවලියේ සංකීර්ණභාවය මම පිළිගන්නවා. නිශ්චිත කාල රාමුවකට අනුකූලව පරිවර්තනීය ක්‍රියාවලිය සඳහා සවිස්තර සහ පරිපූර්ණ ක්‍රමෝපායන් සිදු කරන ලෙස මගේ කාර්යාලය අද දවසේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මීළඟ අදියරේ දී වැදගත් වන්නේ ස්වාධීන සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ස්ථාපිත කිරීමයි' යැයි ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ගැන වාර්තාව ඉදිරිපත් කරමින් ඇය තවදුරටත් කීවාය.

නව අදහස දක්වන්න