අතුරුදන්වන අසල්වැසියා | දිනමිණ

අතුරුදන්වන අසල්වැසියා

ආචාර්ය සුනිල් රණසිංහ
(මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)

වසන්තය දැන් පැමිණෙන්නේ එහි නිල දූතයා වූ සියොතුන් හා කුරුලු නාදයෙන් තොරව යැයි 1963 වසරේ ‘silent spring’ ග්‍රන්ථය රචනා කරමින් සමූද්‍ර ජීව විශේෂඥවරියක වූ රචල් කාෂන් අපට දන්වා සිටියාය. “අලුයම දරාගත නොහැකි තරම් නිහඬය. උදෑසන වර්ණවත්ව ගීතවත් කළ විහඟුන් කොතැනක සැඟවුනා ද? සැබවින්ම අපට නොදැනෙන ලෙස රසායනික කාල බෝම්බය ඔවුන්ව නිහඬ කර දැමුවා ද?”

“කුරුල්ලන් ඇල්ලීම හා මරා දැමීම පෙඩරල් නීතිය යටතේ තහනම් වග අපේ ළමයින් පාසලේ දී ඉගෙන ගන්නා විට කුරුල්ලන් ඝාතනය කළා යැයි ඔවුනට පහදා දීම ඉතා දුෂ්කරය, කුරුල්ලන් නැවත පැමිණේ දැයි ඔවුන් විමසයි. මට පිළිතුරක් නොමැත, පළතුරු ගස් මියැදුණේ නම්, කුඩා කුරුල්ලන් ගැන කුමන කථා ද? කළ යුත්තේ කුමක් ද? මට යමක් කළ හැකි ද? පිළිතුරක් නැත.”

”කණාමැදිරියන් විනාශ කිරිමට විස රසායන ඉසීමෙන් පසු, කුරුලු සංගීතය ඇසෙන්නේ නැත. දැන් වසන්තය පැමිණෙන්නේ එහි නිල දුතයා වූ විහඟ නාදයෙන් තොරවය. එය විඳ දරාගත නොහැකි පාළුවකි, අපගේ පිරිපුන් හා සුන්දර ලෝකයට මානවයා සිදු කළ ව්‍යසනය කුමක් ද?..........”

ලොව පුරා ආසන්න වශයෙන් කුරුලු විශේෂ 10.000 ක් පමණ දක්නට ලැබෙයි. ලංකාවේ කුරුලු වර්ග 433 ක් වාසය කරති. ආවේණික කුරුලු විශේෂ 33 කි. සීත සෘතුවේ වෙනත් කලාපවල සිට සංක්‍රමණික කුරුලු විශේෂ පැමිණෙති. බොහෝ ශාක විශේෂවල පැවැත්ම රඳාපවතින්නේ කුරුල්ලන් විසින් බීජ විසුරවා හැරීමෙනි. ගේ කුරුල්ලා ලොව පුරා ගොඩබිම් අසළ දක්නට ලැබෙන ගී ගයන කුඩා පක්ෂියෙකි. පක්ෂි විද්‍යාඥයන්ගේ අධ්‍යයනයට අනුව ගේ කුරුලු විශේෂ 140 කි. සංක්‍රමණික විශේෂ 19 කි. ලංකාවේ ගේ කුරුලු විශේෂ හතක් දැක ගත හැක.

ලන්දෙන් නිවෙසට

ආහාර රටාව, ස්වභාවය හා හැසිරීම මත පක්ෂි විද්‍යාඥයන්ගේ වර්ගීකරණයට අනුව පෘථිවිය තුළ පක්ෂි විශේෂ 10.000 පමණ විසිර ඇත. කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ කුරුලු වර්ග වූ ගේ කුරුල්ලා සහ පින්චස් පක්ෂි පවුල් ශාකයේ උඩමුළුවේ රැඳී සිටිති. ඉතා ආසන්න කාලයේ සිදු කළ තක්සේරුවට අනුව මෙම කුලයට අයත් පක්ෂි විශේෂ 690 කි. ගේ කුරුල්ලාගේ සහ කුඩා පින්චස් පක්ෂියාගේ හොට ධාන්‍ය හා කුඩා බීජ අහුලා කෑමට පරිනාමය වී ඇත. මෙම පවුලේ අනෙක් සාමාජිකයා වඩු කුරුල්ලාය. ශ්‍රේෂ්ඨ පක්ෂි විශේෂඥ ඩබ්. ඩබ්. ඒ. පිලිප්ස්ගේ වර්ගීකරණය මත ගේ කුරුල්ලා ධාන්‍ය බීජ අහාරයට ගන්නා විශේෂයට ඇතුළත් කළේය. ගේ කුරුල්ලා ‘Passeridae’ යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙයි. ගේ කුරුල්ලා මිහිතලය මත බිහිවූයේ වසර මිලියන 20 - 30 අතර මයෝසීන යුගයේය. බීජ උපදවන ශාක පෘථිවිය තුළ ජනනය වූයේ මයෝසීන යුගය ආරම්භයේය.

වසර 10,000-12,000 පෙර මානවයා සංචාරක දිවිය අවසන් කොට එකතැන ස්ථානගතව පස, බීජ, ජලය සහ අත්දැකීම් සුසංයෝග කොට කෘෂි සංස්කෘතියට පදනම දැමීමත් සමග ගේ කුරුල්ලා ගොවිබිම් අවට ලඳු කැලෑවල සිට මානව වාසස්ථාන වෙත පැමිණ පදිංචිවූයේය. මානව වාසස්ථානවල වහල හා ඉහළ බිත්ති අතර ගේ කුරුල්ලා කූඩු තනයි. ගේ කිරිල්ලිය සෑම වසරකම මැයි හා ඔක්තෝම්බර් මාසවල බිත්තර දමන්නීය. පැරණි මානවයා තම ගෙවල ආලින්දයේ බිත්ති මත කුඩා මැටි බඳුන් හෝ ඉවතලන කාඩ්බෝඩ් පෙට්ටි ගේ කුරුල්ලාගේ නිවහන සේ පිළියෙල කර දුන්නේය. නිරතුරුව එකිනෙකාට තුරුලු වෙමින් සිහින් හඬින් ගී මුමුණන ගේ කුරුල්ලා හොඳ ප්‍රෙමවන්තයෙකි. අලුත විවාහ වූ අඹුසැමි යුවල ගේ කුරුලු ජෝඩුවක් යැයි හැඳින්වීම පැරණි ජනවහරේ යෙදුමකි. නිරතුරුව ගෙ මිදුලේ ධාන්‍ය බීජ අහුලමින් රංචු ගැසෙන ගේ කුරුල්ලා වාසනාවේ සංකේතයක් යැයි පැරණි ජන මතයකි. ගේ කුරුල්ලා ධාන්‍ය බීජ පමණක් නොව මකුළුවන්, මදුරුවන් හා කුඩා කෘමීන් ද ආහාරයට ගනියි.

මදුරු මර්දන අතුරු ඵල

අපේ නිරීක්ෂණයට අනුව ඉකුත් දශක කීපය තුළ නාගරික හා ග්‍රාමීය ජනාවාසවල ගේ කුරුලු ගහණයේ සීග්‍ර අඩුවීමක් දක්නට ලැබේ. මැලේරියා හා උණ වසංගත බෝවීමත් සමග මදුරු උවදුර පාලනයට දෙවන ලෝක යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකා රජය DDT භාවිත කළේය. 1963 වසරේ අමෙරිකානු සමූද්‍ර ජීව විශේෂඥවරියක වූ රචල් කාෂන් විසින් රචිත ‘Silent Spring’ ග්‍රන්ථය මගින් DDT මානව, සත්ව හා සියලු ශාක විශේෂයන්ගේ පැවැත්මට තර්ජනයක් යැයි පර්යේෂණාත්මක ව පෙන්වා දුන්නාය. හන්ගේරියානු රජය මුල්වතාවට 1969 වසරේ DDT භාවිතය සිය රාජ්‍ය සීමාව තුළ තහනම් කළ අතර, එක්සත් ජනපදය තම රාජ්‍යය තුළ රසායනික නිෂ්පාදන සමාගම්වල වුවමනාවන් නිසා DDT තහනම් කිරීම 1970 දක්වා කල් දැමීය, එහෙත් DDT නිෂ්පාදනය එරට සමාගම්වලට කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හා අලෙවි කිරීමට කිසිදු තහංචියක් නොවීය. එමෙන්ම ලොව පුරා දුප්පත් රාජ්‍යවල වෙළඳපළ විවෘත කර දීමට එක්සත් ජනපද රාජ්‍ය එම සමාගම් සඳහා පහසුකම් සැලසීය. 1980 දසකය අවසන් වන තෙක් ශ්‍රී ලංකා රාජ්‍යය මදුරු උවදුර පාලනය සඳහා DDT යොදා ගත් අතර, ඉන් පසු ආදේශකයක් වශයෙන් මැලතියන් (malathion) භාවිත කළේය.DDT වල හයිඩ්‍රජන් කාබන් අඩංගු වන අතර මැලතියන්වල පොස්පරස් අන්තර්ගතව ඇත. DDT තවමත් විවෘත වෙළඳපළ තුළ මිලදී ගත හැක.

මදුරු මර්දනය සඳහා භාවිත විස රසායනික ද්‍රව්‍ය මදුරු ගහනය සීමා කිරීමට අසමත් වූ අතර, මානව වාසස්ථානවල වාසය කළ ගේ කුරුල්ලා වැනි මානව සමාජයේ අසල්වැසියන් අතුරුදහන් කිරීම ක්‍රමානූකූලව සිදු කළේය.

මදුරු උවදුර පාලනය සඳහා වෙළෙඳ සමාගම් විස රසායන ද්‍රව්‍ය අන්තර්ගත මදුරු දඟර හා ගුවනට විසුරවා හරින වාෂ්පශීලී රසායනික හඳුන්වා දුන්නේය. නව ගොවි ජනපද හා ජනාකීර්ණ නාගරික ප්‍රදේශවල අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස සීග්‍රයෙන් ඒවා පරිහරණයට මානවයා හුරු පුරුදු වූයේය. තමා ජීවත්වන පරිසරය විස රසායනයෙන් නිරතුරුව දූෂණය වන විට ගේ කුරුලු පරපුරේ බොහෝ දෙනෙක් මානවයා නො දැනීම මරණයට ගොදුරුවූහ. මේ අනතුරෙන් ගේ කුරුලු සුහුඹුලෝ විශාල ලෙස විනාශවූහ. විස රසායන මේද පටක තුළ තැන්පත්වීමෙන් විවිධ ආබාධයන්ට ගොදුරු වීමෙන් ගේ කුරුලු බිත්තර කටුව තුනීවී දෙවන පරපුර මිහිතලයෙන් අතුරුදහන්වූහ. ඉතිරි පිරිස් මානව වාසස්ථාන අතහැර අවට ලඳු කැලෑවට හෝ පැරණි ගොඩනැගිලිවල ලැගුම් ගත්හ. ඔවුන් ආහාරයට ගන්නා ධාන්‍ය බීජ, ආරම්භයේ සිට විස රසායනයෙන් නිර්මාණය කළ විනාශයේ බීජ වග ගේ කුරුල්ලා දැන සිටිය ද, දැන් සාමූහික මරණය තෝරා ගැනීම හැර අන් මඟක් පැරණි මිතුරා වූ මානවයා පෘථිවියේ කොතැනක හෝ ඉතිරි කර නොමැති බව ගේ කුරුල්ලා අවබෝධ කර ගෙන ඇත.

කෑදර මානව චර්යා

නූතන මානව වාසස්ථාන පිරිසුදු කරන රසායන ද්‍රව්‍ය, බිත්ති මත හා දැව ආලේපනය කරන රසායනික පාට වර්ග, වාෂ්පශීලී කාබනික සංයෝග (volatile organic compaunds –VOC ) කුඩා ළමුන්ගේ පෙනහළු ආශ්‍රිත ආබාධ (asthma) ඇති කරන වග බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාව (Thorax) එළිදරව් කළේ ය.

ඕස්ට්‍රේලියාවේ තාක්ෂණික සරසවියට අනුබද්ධ පොදු වෛද්‍ය විද්‍යාලයේ කරාසි රුබ්විච් පෙනහළු ආබාධයට ගොදුරු වූ ළමුන් 58 දෙනකු පර්ත් හි ප්‍රින්ස්ටන් මාග්‍රට් රෝහලේ පරීක්ෂාවට ලක් කොට එම නිගමනයට එළඹුණේ ය. එමෙන්ම රසායනික ද්‍රව්‍ය බහුලව පරිභෝජනය කිරීම හා එයට නිරාවරණයවීමෙන් පිළිකා වැලඳී ඇති වග එම වාර්තාව ඉතා පැහැදිලිව පෙන්වා දෙයි. විස රසායනවලට ගොදුරුවීමෙන් කුඩා දරුවන් එවන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරුවූයේ නම් කුඩා ගේ කුරුල්ලාට සිදුවූයේ කුමක්දැයි දැන් රහසක් නොවේ.

ඉහත සඳහන් වූයේ අසල්වැසියා ඝාතනය කිරීමේ කෑදර මානව ක්‍රියාකාරිත්වයේ එක් පැතිකඩකි. අදින් දසක හයකට පමණ පෙර නූතන මානව ප්‍රචණ්ඩත්වයේ තවත් පැතිකඩක් චීනයෙන් කලඑළියට පැමිණියේය. එය මානව කේන්ද්‍රීය බල දේශපානය ස්වභාවික පරිසරය මත සිය ආධිපතයය පතිත කිරීමේ අවාසනාවන්ත සිදුවීමකි.

චීන‌ෙය් මෝඩකම

1958 වසරේ චීන මහජන සමූහ අාණ්ඩුවේ නායක මාඕ සේතුං 1958 - 1962 ගොවිතැනට හානි කරන චෝදනාව යටතේ කුඩා ජීවියකු වු ගේ කුරුල්ලාට එරෙහිව මහා සංග්‍රාමයක් ආරම්භ කළේය, ගේ කුරුල්ලකු දිනකට ආහාරයට ගන්නා ධාන්‍ය ඇට ප්‍රමාණය ගණනය කර චිනයේ ආහාර නිෂ්පාදනයෙන් 15% ක් පමණ විනාශ කරන වග කෘෂි සහ ආහාර උපදේශකයෝ මාඕ සේතුංට පෙන්වා දුන්හ. ආහාර හිඟකම ආර්ථික වර්ධනයට බාධා පමුණවන වග ආර්ථික උපදෙශකයෝ ගණනය කළහ. මහා ගේ කුරුලු සංග්‍රාමයේ (Great Sparrow Campaig ) දී ජනයා දැනුවත් කර අඛණ්ඩ බෙර වාදනය කිරීමෙන් ගේ කුරුල්ලාට අහසේ පියාඹන්නට සිදු විය. අවසානයේ පීඩාවට පත් ශක්තිය හීන වූ ගේ කුරුල්ලා මරණයට පත්ව බිමට පතිත විය. එමෙන්ම ජනයා ගේ කුරුලු කුඩු, බිත්තර විනාශ කළහ.

මහා ගේ කුරුලු සංග්‍රාමයෙන් පසු මෙම කුඩා ජීවියා ආසන්න වශයෙන් චීනයෙන් වඳවයාමේ තර්ජනයට ලක් විය. ඉන් වසර තුනකට පසු 1968 වසරේ මහා සාගතයකින් ජනයා මිලියන 40 ක් පමණ මිය ගියහ. එයට හේතු සාධක වූයේ පරිසර කළමනාකරණය පිළිබඳ මානව කේන්ද්‍රීය මතවාදයකින් සොබාදහමේ පැවැත්ම පාලනය කිරීමට ගත් මුග්ධ දේශපාලන තීරණයයි. ගේ කුරුල්ලා වඳව යාමෙන් පසු ධාන්‍ය වගාවට වින කරන ස්වභාවික පළිබෝධකයන් වූ පළගැටියන් වැනි කෘමීන්ගේ ප්‍රමාණය ඉහළ ගියේය. එයට හේතුව ස්වභාවික විලෝපිකයා වූ ගේ කුරුල්ලා අනතුරට ලක්වීමයි. පරිසරයේ සමතුලිතතාව බිඳී ගියේය. සාගතයෙන් මියගිය ප්‍රමාණය මිලියන 15 ක් යැයි රජය තක්සේරු කළ ද ස්වාධීන පර්යේෂකයන්ගේ වාර්තාවලට අනුව මිලියන 40 ක ප්‍රමාණයක් මිය ගියහ.

සොබාදහම විවිධත්වය මත ජීව විශේෂයන්ට උත්පත්තිය ලබාදුන්නේ මානව බල පාලනික වුවමනා සඳහා නොවෙයි. ගේ කුරුල්ලා දසක කීපයකට පෙර මෙම දිවයිනේ ගොවි ජනපද හා නාගරික ප්‍රදේශවල ඉතා බහුලව දක්නට ලැබුණ කුඩා පක්ෂියෙකි. එහෙත් වසර පනහකට පෙර එක්සත් ජනපදයේ හා යුරෝපයේ කුඩා ගී ගයන කුරුල්ලාට මුහුණ දුන් ව්‍යසනයට සමාන්තර ආපදාවක් ගේ කුරුල්ලාට අද සිදුව ඇත. මේ අතුරු ආන්තරාවෙන් ගැලවීමට ගේ කුරුල්ලා වසර ගණනාවක් වෙහෙස දැරීය. ලොව පුරා ආසන්න වශයෙන් කුරුලු විශේෂ 10.000 ක් පමණ දක්නට ලැබෙයි. ඉන් පක්ෂී විශේෂ අටකින් එක් අයකු වඳව යන වග දැන් සත්‍යයකි. රසායනික කාල බෝම්බය ක්‍රියාත්මකව වසර ගණනාවකි. අනාගතයේ අපේ අසල්වැසියා වන ගේ කුරුල්ලා මිහිමතින් අතුරුදහන්වේ ද? අපට යමක් කළ හැකි ද? නැවත ගේ කුරුල්ලා පෘථිවියට කැඳවීමට මානවයා සමත්වේ ද?

නව අදහස දක්වන්න