ලංගමයට මින්පසු සැප බස් පමණයි | දිනමිණ

ලංගමයට මින්පසු සැප බස් පමණයි

මෙය නීතියක් කර පෞද්ගලික අංශයටත් හඳුන්වා දෙනවා

බස්රථ 1000ක් ළඟදීම ලංගමයට

මින් ඉදිරියට ශ්‍රී ලංගමයට මිලදී ගන්නේ උසස් තත්ත්වයේ බස්රථ පමණක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියයි.

ඒ සඳහා නව පිරිවිතර (Specifications) ඉදිරි මාස කිහිපයේ දී හඳුන්වා දෙන බවද ඔහු පැවසීය. එසේම ඔහු අවධාරණය කළේ එම පිරිවිතරවලින් පරිබාහිරව ලංගම සඳහා බස්රථ මිල දී ගැනීමට නොහැකි වන සේ අලුත් නීතියක් ද පාර්ලිමේන්තුව හරහා හඳුන්වා දීමට කටයුතු කරන බවයි. එම නීතිය පෞද්ගලික බස්රථ ප්‍රවාහන සේවාවට ද හඳුන්වා දෙන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මේ වන විට ‍පොදු බස් රථ ප්‍රවාහනයෙන් සියයට 40කට දායකත්වය සපයනවා. කෙසේ නමුත් වසර දෙකකට අඩු බස්රථ තියෙන්නේ ඉතාම අඩු ප්‍රමාණයක්. ඒ වගේම වසරකට අලුතින් බස්රථ පන්සියයක් ලංගම බස් රථ ඇණියට එක් කළ යුතුයි. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරි‍ මාස කිහිපයේ දී අලුත් බස් රථ පන්සීයක සිට දහස දක්වා ප්‍රමාණයකින් ලංගමට ලබා දීමට අපේක්ෂා කරනවා. ලබන අගෝස්තු මාසය හෝ ඊට පෙර ‍එම කටයුතු අවසන් වේවි. කෙසේනමුත් මෙහිදී අපේ ප්‍රධානතම අරමුණ වන්නේ මගීන්ට වඩාත් සැපපහසු, නූතන අවශ්‍යතාවලට ගැළපෙන, ආරක්ෂාව උපරිමය තියෙන උසස් තත්ත්වයේ නව බස්රථ ලංගමට ලබා දීමටයි. ලංගම බස්රථ සඳහා පිරිවිතර හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වුණේ ඒ අරමුණින්. එම පිරිවිතර හඳුන්වා දීමෙන් පසුව එයට නොගැළපෙන බස්රථ මින් ඉදිරියේ දී ලංගමට මිල දී ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම පිරිවිතරවලට ගැළපෙන බස්රථ පමණයි ලංගමට මින් ඉදිරියට මිල දී ගන්නට හැකියාව ලැබෙන්නේ.

මේ වන විට ශ්‍රී ලංකා ගමන ගමන මණ්ඩලය සාමාන්‍ය සේවා සඳහා යොදා ගන්නා බස්රථ පැරණි ආකෘතියේ බස්රථය. ඇතැම් විට එම බස්රථවල එන්ජිමේ හඬ, ප්‍රමාණය ඉක්මවා අධිකව නිකුත් වේ. ආසනද සුඛෝපභෝගී නොවේ. ඇතැම් විට අර්ධ සු‍ඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධි ‍සුඛෝපභෝගී බස්රථවල ද දක්නට ලැබෙන්නේ එවැනි තත්ත්වයකි. එබැවින් සාමාන්‍ය, අර්ධ සු‍ඛෝපභෝගී, සුඛෝපභෝගී සහ අධි ‍සුඛෝපභෝගී යනුවෙන් එක් එක් කාණ්ඩ සඳහා පිරිවිත හඳුන්වා දීම ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අරමුණයි.

එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉදිරියේ දී පාසල් ප්‍රවාහනය සහ කාර්යාලීය ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස්රථ හෝ වෑන්රථ සඳහා ද පිරිවිතර හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. එම පිරිවිතරවලට නොගැළෙපෙන බස්රථ හෝ වෑන් පොදු ප්‍රවාහන සේවාවේ යොදවන්නේනම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අණපනත් පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට කටයුතු කරන බවද අර්ජුන රණතුංග මහතා කීය. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහ ඇතුළු උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න