2017 2019 කාලයේ ආර්ථික වර්ධනය 1.5%ක් | දිනමිණ

2017 2019 කාලයේ ආර්ථික වර්ධනය 1.5%ක්

ඉදිරි මාසයේ බිලියන 300ක් වෙළෙඳපළට

වසර 2017 සිට 2019 අතර කාලයේ රටේ ආර්ථිකය වර්ධනය සියයට 0.3 සිට 1.5 දක්වා වේගයකට ළඟා වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රජයේ ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන් සහ අනෙකුත් සංවර්ධන වැඩකටයුතු හරහා රුපියල් බිලියන 150ක් වෙළෙඳපළට පැමිණි බවත්, ඉදිරි මාසය වන විට තවත් රුපියල් බිලියන 300ක් පැමිණීමට නියමිත බවත් කීය. මෙයින් රටේ අනාගත ආයෝජන ප්‍රවර්ධනයට විශාල මෙහෙවරක් ඉටු වනු ඇති බවට අගමැතිවරයා විශ්වාසය පළ කළේය.

පසුගිය කාලයේ රටේ බොහෝ ණය ලබාදීම් කර තිබුණත් ඒවා බහුතරයක් පරිභෝජනය සඳහා ලබා දුන් ණය බව පෙන්වා දුන් අගමැතිවරයා, මේ නිසා මේ ණය ප්‍රතිඵල ආර්ථිකයට එකතු නොවුණු බව පෙන්වා දුන්නේය.

පරිභෝජනය ඉහළ ගිය නිසා ආනයනවලට වූ වියදම ඉහළ යාමෙන් විදේශ විනිමය පිටතට ගලායාම වැඩි වුණත්, උද්ධමනය පාලනය කිරීමට රජයට හැකි වී ඇති නිසා පොළී අනුපාත දැන් පහළ බසිමින් තිබෙන බවද පැවසීය.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාදැයි සාකච්ඡා කරන Fire Side නම් විවෘත සංවාදයට සහභාගී වෙමිනි.

කොළඹ හිල්ටන් හෝටලයේ දී පෙරේදා (19) මෙම සංවාදය පැවැත්විණි. මෙහිදී අදියර දෙකක් යටතේ සංවාද මණ්ඩප දෙකක් පැවැති අතර රටවල් රැසක තානාපති නිලධාරීහු පළමු වටයේ දී තම අදහස් දැක්වූහ. අහඹු ලෙස තෝරාගත් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඒ තානාපතිවරුන්ට අවස්ථාව ලබා දී තිබූ අතර, තම රටේ අත්දැකීම් බෙදා ගැනීමට ද ඔවුහු අමතක නොකළහ.

ඉන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාව අමතමින් අදහස් දැක් වූ අතර එයින් අනතුරුව පැවැතියේ මේ රටේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අතර, රටේ ආර්ථිකය ගැන විවෘත සංවාදය පැවතිණි.

මේ රටේ මුදල් විශාල වශයෙන් තිබෙන සේවක අර්ථසාධක අරමුදල වගේ තැන්වල ඇති මුදල් රටේ කොටස් වෙළෙඳපළේ ආයෝජනවලට ඇතුළත් වීමට කාලය පැමිණ තිබෙන බව කී අගමැතිවරයා සම්ප්‍රදායික ආර්ථිකය වර්ධනය නොවන බවත්, ඒ නිසා ආර්ථිකයට නව දේවල් එකතු විය යුතු බවත් පෙන්වා දුන්නේය දකුණු ආසියාවේ ඉන්දියන් සාගරයේ පිහිටි ගුණාත්මක වශයෙන් ඉහළ මට්ටමේ ආර්ථිකයක් ඇති ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට රට පත් කළ යුතු බව පෙන්වා දුන් අගමැති වික්‍රමසිංහ මහතා භාණ්ඩ හුවමාරු කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස ද අප රටේ පහසුකම් වර්ධනය කළ යුතු බවත් ආර්ථික දියුණුව කරා අපට යා හැක්කේ එවිට පමණක් බවත් කීය.

කෙතරම් වේදනාකාරී වුවත් මේ රටේ මුදල් සහ මූල්‍ය ප්‍රතිපත්තිය නිවැරැදි මාවතට ගෙන ඒමට ආණ්ඩුව තවත් බොහෝ පියවර ගතයුතුව ඇති බවද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

බුද්ධි කරුණාරත්න


නව අදහස දක්වන්න