කරාපිටියේ ඉන්ෆ්ලුවන්සා බිය පහව යයි. | දිනමිණ

කරාපිටියේ ඉන්ෆ්ලුවන්සා බිය පහව යයි.

කරාපිටිය රෝහලෙන් ඉන්ෆ්ලුවන්සා රෝගීන් වැඩිපුර වාර්තා වන නමුත් මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගත යුතු බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පෙබරවාරි මැද සිට මාර්තු මාසයේ මැද දක්වා ගත වූ දින තිහක කාලයේ දී ඉන්ෆ්ලුවන්සා බවට සැක සහිත රෝගීන් 290ක් පමණ ප්‍රතිකාර ලබාගත් බවයි.ඉන් 73 දෙනකු ඉන්ෆ්ලුවන්සා රෝගීන් බවට තහවුරු වී ඇති බව ද අධ්‍යක්ෂ වරයා කියා සිටියේය. ඔවුන් කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බවත් ඔහු පැවසීය.

සාමාන්‍යයෙන් කරාපිටිය රෝහලෙන් මාසයකට ඉන්ෆ්ලුවන්සා රෝගීන් 20 දෙනකු පමණ වාර්තා වන බවත් මෙවර එම සංඛ්‍යාව හතර ගුණකයකට ආසන්න ප්‍රමාණයකින් වැඩවී තිබීම අවධානයට ලක්කළ යුතු කරුණක් බවත් වෛද්‍යවරු පවසති.

දැනට දින කිහිපයකට ඉහතදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ද මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කර ඇත.එහි සඳහන් කර තිබුයේ දකුණු පළාත තුළ ඉන්ෆ්ලුවන්සා රෝගීන් වාර්තා වීම වැඩිවී ඇති හෙයින් ඒ සම්බන්ධව සැලකිලිමත් වන ලෙසයි.

රෝහල් අධ්‍යක්ෂවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ රෝගය ගැන අනවශ්‍ය බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොමැති බවත් වියළි කාලගුණ තත්ත්වය සමග ඉන්ෆ්ලුවන්සා රෝගයේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

උණ රෝගය ඇතිවිට කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු වීමත්, රෝගීන් මුඛ ආවරණ පැළඳ සිටීම මෙන්ම රෝගීන් බැලීමට රෝහලට පැමිණෙන පුද්ගලයන් සංඛ්‍යාව සීමා කිරීමත් ඉතා වැදගත් බව තවදුරටත් ප්‍රකාශ කර සිටියහ.

(කරාපිටිය සමූහ - එස්. ලොකුකරවිට)


නව අදහස දක්වන්න