ලක්දිව ඒකල ඉංජිනේරු සමාගමෙන් නව මාදිලියේ බස් රථයක් | දිනමිණ

ලක්දිව ඒකල ඉංජිනේරු සමාගමෙන් නව මාදිලියේ බස් රථයක්

ලක්දිව ඒකල ඉංජිනේරු සමාගම නව මාදිලියේ බස්රථයක් අද (22) හඳුන්වා දුන්නේය. 
 
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතීතයේ භාවිත කළ බස්රථ ආකෘතියට අනුව එම බස්රථය නිපදවා තිබේ. ඒ නවින පහසුකම්ද ඊට එක් කරමිනි. සාමාන්‍ය බස් රථයක් නිපැදවීමට යන මුදලට වඩා සියයට තිහක අඩු පිරිවැයකින් එම මාදිලියේ බස්රථයක් නිපැදවීමට හැකි වීමද විශේෂත්වයකි. 
 
1987 වසරේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල අනන්‍යතාව වූ බස්රථ බදෙහි නිල් පටියද මෙම නව මාදිලියේ බස්රථයට යොදා තිබේ. අද එම නවමාදිලියේ බස්රථය හඳුන්වා දුන්නේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය. 
 
එහිදී එම උත්සව සභාව අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ලක්දිව ඉංජිනේරු සමාගමට අලුත් ව්‍යාපාරික අවස්ථා හඳුන්වා දීමටද කටයුතු කරමින් සිටින බවයි.
 
ප්‍රවාහන අමාත්‍යංශය යටතේ එන ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම අබිලි බස්රථ යොදා ගනිමින් නව බස්රථ නිපදවන සමාගමකි. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ වැඩ ඒකකයක් ලෙස ආරම්භ වු මෙහි 1200කට ආසන්න සේවක සංඛ්‍යාවක් මුල් යුගයේදී සේවය කළේය. ශ්‍රී ලංගම සඳහා බස් බොඩි සකස් කිරිම එහිදී සිදු කෙරිණි. එහෙත් පසුකාලීනව ශ්‍රී ලංගමයේ කඩා වැටීමත් සමඟම ඒකල මෙම ඉංජිනේරු අංශයද කැඩී යන තත්ත්වයකට පත් විය. 
 
එහෙත් මෑතත කාලිනව එම ඉංජිනේරු අංශය ලක්දිව ඉංජිනේරු සමාගම නමින් නැවතත් ස්ථාපිත කෙරිණ. මෙම වසර ආරම්භයට පෙර එම සමාගම මසකට නිපදවූ බස්රථ සංඛ්‍යාව හත ඉක්ම නොවීය. කෙසේනමුත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත පසුගිය පෙබරවාරී මාසයේ සිට එම නිෂ්පාදනය සියයට සියයකින් මේ වන විට වැඩි කිරීමට කටයුතු යොදා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙසට පෙබරවාරී මාසයේදී බස්රථ 7ක් නිපැදවීමට ලක්දිව ඉංජිනේරු සමාගම සමත්ව තිබේ. මේ මාසයේදී දැනට නිපදවූ බස්රථ සංඛ්‍යාව 14කි. ඒ අනුව 2018 වසරේදී මේ දක්වා එම සමාගම නිපැදවූ මුළු බස්රථ සංඛ්‍යාව 24ක් වේ. එක් බස්රථයකින් ශුද්ධ ලාභය ලක්ෂ දෙකක් පමණ වන බැවින් මේ වන විට මේ වසරේදී සමාගම උපැයූ ශුද්ධ ලාභය ලක්ෂ 48ක් බවද අද අනාවරණය විය. 

නව අදහස දක්වන්න