කේ වයි එස් ආරක්ෂක සේවා ආයතනයට රිදී සම්මාන | දිනමිණ

කේ වයි එස් ආරක්ෂක සේවා ආයතනයට රිදී සම්මාන

විශ්වාසවන්ත ආරක්ෂක සේවා සැපයීම පිළිබඳ කීර්තිමත් නාමයක් දිනා ඇති කේ.වයි.එස්. ආරක්ෂක සේවා ආයතනය ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) සංවිධාන කළ 2018 වසරේ විශිෂ්ටම ව්‍යවසායකයා සම්මාන උළෙලේදී ඌව පළාත් හා ජාතික මට්ටමෙන් මධ්‍යම පරිමාණ කාණ්ඩයේ රිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීය. 2004 දී ආරක්ෂක නියාමකයන් 05 දෙනකුගෙන් ඇරැඹි කේ.වයි.එස්. ආරක්ෂක සේවා ආයතනය වර්තමානයේදී දිවයින පුරා රජයේ හා පෞද්ගලික ආයතන සියයකට අධික සංඛ්‍යාවකට ආරක්ෂක සේවා සපයන, 1000කට අධික සෘජු සේවක සංඛ්‍යාවක් සිටින දැවැන්ත ආයතනයකි. එවැනිම පිරිසක් වක්‍රාකාරයෙන් සිය නිෂ්පාදන හා සේවා සිය කේ.වයි.එස්. ආයතනයට අලෙවි කරයි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි කේ.වයි.එස්. ආරක්ෂක සේවා ආයතනය ඌව පළාතේ ප්‍රමුඛතම පෞද්ගලික ආරක්ෂක සේවා සපයන්නා වේ. එහි ප්‍රධාන කාර්යාලය බදුල්ල, වෙලේකඩේ වෙළෙඳ සංකීර්ණය, ඒ 50, ලිපිනයේ පිහිටා ඇත. මේ ආයතනය මීට ඉහත දී ශ්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) හා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) වෙතින් කුසලතා සම්මාන දිනා ඇත. කේ.වයි.එස්. ආයතනය මේ වන විට තම ව්‍යාපාර ක්ෂේත්‍රය පුළුල් කරමින් ශ්‍රම සේවා සැපයුම් ක්ෂේත්‍රයටත්, පිරිසිදු කිරීමේ හා සනීපාරක්ෂක සේවා සැපයීමේ ක්ෂේත්‍රයටත්, සංචාරක හෝටල් ක්ෂේත්‍රයටත් පිවිස ඇත. කේ.වයි.එස්. ආයතනයේ නිර්මාතෘ දේශමාන්‍ය කුමාරවංශ මහතා සිය ජයග්‍රහණයට නන් අයුරින් දායක වූ ආයතනයේ සේවක සේවිකාවන්ට සිය ප්‍රණාමය පුද කර සිටියි. දේශමාන්‍ය කුමාරවංශ මහතා මේ වන විට ඌව පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කරයි. එසේම ඔහු ඌව පළාත් ජාතික ඉදිකිරීම් සංගමයේ හා බදුල්ල සිංහ සමාජයේ සභාපතිවරයා ලෙස විශාල සමාජ මෙහෙවරක් සිදු කර ඇත. කුමාරවංශ මහතා ප්‍රදේශයේ දුගී ජනතාවට විවිධ සේවා සලසන ප්‍රසිද්ධ සමාජ සේවකයෙකි.

නව අදහස දක්වන්න