අයවැය අවසාන දා වෙනදේ බලමු | දිනමිණ

අයවැය අවසාන දා වෙනදේ බලමු

දුමින්ද සම්පත්
පාර්ලිමේන්තු මන්ත්‍රී, පොදුජන එක්සත් පෙරමුණ පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී-එක්සත් ජාතික පෙරමුණ මුජිබර් රහුමාන්

- පියල් නිශාන්ත
පාර්ලිමේන්තු මන්ත්‍රී, පොදුජන එක්සත් පෙරමුණ

අයවැය පරාජයකොට ආණ්ඩුව පෙරළීම පිළිබඳ කතාබහ සහ අයවැය පරාජය කළ නොහැකිවීම, 2020 ජනාධිපති අපේක්ෂකත්වය, ජිනීවා ප්‍රශ්නය ආදිය පිළිබඳ අද අදහස් දෙකෙහි සාකච්ඡා කෙරේ

අයවැය පරද්දල මහ මැතිවරණයකට යන්න හිටියත් ඒක කරගන්න බැරිවුණා නේද?

අයවැය පැරැද්දවීමට වඩා යහපාලන ආණ්ඩුවෙ දින 100 වැඩපිළිවෙළ, මාස 60න් අලුත් රටක්, 2025 මෙගා පොලිස්, රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙ අලුත් වැඩපිළිවෙළ සිහින ලෝකයට, විරුද්ධවීම තමයි අපේත්, ජනතාවගෙත් අරමුණ වුණේ. මේ ආණ්ඩුව හැම මොහොතෙම ක්‍රියාත්මක කළේ ජනතාව අන්දවන වැඩපිළිවෙළක. පහුගිය අයවැයවලින් රටේ ජනතාවට දැනෙන දෙයක් කළේ නැහැ. මේ අයවැයත් ජනතා බලාපොරොත්තු සුන්කරපු එකක්. අප්‍රේල් 5 වෙනකොට මොකද වෙන්නෙ කියල බලමු.

ආණ්ඩු හැදීමේ සිහිනයක ඒකාබද්ධ විපක්ෂය හිටියෙ නැහැ කියලද ඔබ කියන්නෙ?

එහෙම හීනෙක නැහැ. වර්තමානයෙ සිදුවෙච්ච දේශපාලන අර්බුද ගැන බැලුවම ජනතා ඡන්දයකින් මිසක් වෙන ක්‍රමවලින් ආණ්ඩු හැදීම ගැන බලාපොරොත්තුවක් නැහැ. බය නැති අගමැතිට අපි කියන්නෙ නියමිත කාලෙට මැතිවරණ තියන්න කියලයි.

විපක්ෂයෙ නියම බලය මේ අයවැයේදි හෙළිවුණා. ආසන 71ක් තියාගෙන ආණ්ඩුවට එරෙහිවීම ප්‍රායෝගික නැහැ නේද?

අපේ මන්ත්‍රීවරු කීපදෙනෙක් විදේශගතවෙලා හිටියෙ. මේ ඡන්ද විමසීම එතරම් වැදගත් නැහැ. අවසන් ඡන්ද විමසීමයි වැදගත්. එදාට බලමු.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අයවැයට විරුද්ධවෙන්න තීන්දුවක් ගත්තා. ඒත් සමහර ශ්‍රීලනීප මන්ත්‍රීවරු ඒ තීන්දුව ක්‍රියාත්මක කළේ නැහැ?

ඒ අය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ඡන්දය දීපු ජනතාව අතරමංකිරීමක්, ඒ අය ඒකෙ නරක ප්‍රතිඵලය විඳීවි. ඔවුන් කරපු පාවාදීම මම හෙළාදකිනවා.

මේ තත්ත්වය තුළ පොහොට්ටුවටත්, ශ්‍රීලනීපයටත් එක ගමනක් යන්න පුළුවන් ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ගොඩක් දෙනෙක් පොහොට්ටුවෙ සාමාජිකත්වය අරන් ඉවරයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්ක හිටපු වැඩි පිරිසක් දැන් ඉන්නෙ අපි එක්ක.

විදේශීය කුමන්ත්‍රණ, බටහිර කුමන්ත්‍රණ, දේශපාලනයෙදි හැමදාම කතාවෙනවා. මේ කිසිම කුමන්ත්‍රණයක් මේ පොළොවෙ සිද්ධවුණේ නැහැ නේද?

විදේශ කුමන්ත්‍රණ දැනටත් තියෙනවනෙ. ජිනීවාවලදී ඇමරිකා‍ව ගෙනා යෝජනාවට මංගල සමරවීර ඇමතිවරය සම අනුග්‍රහය දැක්වූවා. ඒක ඉතාම නරක පූර්වාදර්ශයක්. ඇමරිකාව ඉවත්වෙනකොට එංගලන්තය ඒ යෝජනාවම ගෙනාවා. මේ පරගැති ආණ්ඩුව, රට පාවාදෙන, රණවිරුවො පාවාදෙන ආණ්ඩුව විදෙස් කුමන්ත්‍රණවලට ඉඩදීල තියෙන්නෙ. මේ රටේ සමස්ත ජනතාව නැඟිටල ඉන්න නිසා තමයි රට බේරිල තියෙන්නෙ.

ජිනීවා කතා හැමදාම කියනවා, මහින්ද රාජපක්ෂ මහත්තය, රණවිරුවො විදුලි පුටුවෙන් බේරගත්තෙ ඔබ ඔය කියන පරගැති ආණ්ඩුව නේද?

ඒක බොරුවක්. රටේ ජනතාවගෙ නැඟීසිටීම නිසයි ඒ තත්ත්වය නැවතුණේ. තිස් අවුරුදු යුද්ධය අවසන්කරපු නායකයට දසවධ දෙන්න හදනකොට, ආදරණීය රණවිරුවන්ට අසාධාරණයක් වෙනකොට රටේ සමස්ත ජනතාව නැඟිටිනව කියල ඒ අය දන්නවා. එතනදි පක්ෂ භේද පාට භේද නැහැ. එක්සත් ජාතික පක්ෂයෙත් රටට ආදරය කරන පාක්ෂිකයො ඉන්නවා. මේ අයත් පාවාදීම්වලට විරුද්ධයි. මේ රටේ තිබුණු තත්ත්වය නැතිකරන්න ආණ්ඩුව යම් උත්සාහයක් ගත්තනම් ඒ අයට අපි රටක් හැටියට ස්තුතිවන්ත වෙනවා.

විදුලි පුටුව, රණවිරුවො දංගෙඩියට ගෙනයාම වැනි කතා අපේ ශබ්දකෝෂයෙන් ඉවත් වෙන්නෙ 2015න් පස්සෙ. ඒ කියන්නෙ රාජපක්ෂවරුන්වත් රණවිරුවන්වත් බේරගත්තේ මේ ආණ්ඩුව?

රාජපක්ෂවරුන්ට තියෙන භයානක අන්තරාදායක අභියෝගයත් ඒ වගේම රණවිරුවන්ට තියෙන තත්ත්වයත් පහවෙලා නැහැ. තව ටිකක් කල් යනකොට තවත් බරපතළ තත්ත්ව ඇතිවෙයි. දැනට සිදුවෙන්නෙ අවශ්‍ය පාර කපා ගැනීම විතරයි.

යුද්ධයෙන් පසු රටේ ඇතිවුණු තත්ත්වය, මනුෂ්‍ය ඝාතන, අතුරුදහන් කරවීම්, පහරදීම් ගැන සොයාබැලීම වරදක් කියලද ඔබ කියන්නෙ?

ඉතිහාසයෙ කොච්චර දේවල් වෙලා තියෙනවද? ඔය කියන කතා සිදුවෙන්නෙ රටේ යුද්ධයත් එක්ක. රට බේරා ගැනීමේ යුද්ධයෙ අඩුපාඩු වෙන්න පුළුවන්. මානවහිමිකම් ගැන කෑගහන අය සිංහල ජනතාවට වෙච්ච අසාධාරණ ගැන කතා නොකරන්නෙ ඇයි. 60,000 කට වඩා තරුණයො මැරුණ, දුම්රියේ, බස්රියේ, බස්නැවතුමේ, මහබැංකුවෙ, දළදා මාළිගයෙ, ජයශ්‍රී මහා බෝධිය ළඟ බෝම්බ තියල ජනතාව මරාදාපු අයට ගත්තු පියවර මොකක් ද?

ඔබ ඔය කියන සිදුවීම්වලට චෝදනා එල්ලවන්නන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙ මැති ඇමැතිවරු වුණා.

විනයාගමූර්ති මුරලිදරන් කරුණා අම්මාන් ගැන ඔබ ඔය කතා කරන්නෙ. ඒ අයගෙ සහාය නොගත්තනම් මේ යුද්ධය ඉවරකරන්න අමාරුයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත්, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව ඒ අයට විරුද්ධව මොනවත් නොකළෙ ඇයි? වැරැද්දක් කරපු අය ඉන්නවානම් ඒ අයට දඬුවම් කරන්න. දැන් තියෙන්නෙ සිංහල ජාතියට විතරක් දඬුවම් දෙන වැඩ පිළිවෙළක්.

පො‍හොට්ටුවෙ මීළඟ ජනාධිපති අපේක්ෂකය ගැන විවිධ කතා පැතිරෙනවා. ඒ ගැන මොකද කියන්නෙ?

රටට හොඳ නායකයෙක් අවශ්‍යයි. අපේ පක්ෂයට හොඳ නායකයෙක් ඉන්නවා. ඒ තමයි මහින්ද රාජපක්ෂ මහත්තය. ඔහු කවුරු දුන්නත් අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කරන්න රාජපක්ෂවරු අද වෙනකොට තීන්දු කරල තියෙනවා. ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. මේ රටේ බිම් මට්ටමේ ජනතාව ඉල්ලන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තය.

පුද්ගලයන් අතුරුදන් කරවීම, ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය, සුදු වෑන් සංස්කෘතිය ගැනත් ඔහුට චෝදනා එල්ල වෙනවා?

මෙච්චර චෝදනා තියෙනව නම් අවුරුදු හතරක් තිස්සෙ මේ ආණ්ඩුව මොනවද කළේ. එක්සත් ජාතික පක්ෂය පොල් ගෑවද? අවශ්‍ය කරන නීතිමය තත්ත්වයට ගිහින් දඬුවම් දුන්නෙ නැත්තෙ ඇයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයටත් චෝදනා එල්ල කළා. ඔහුගෙ නඩු පහක්ම දැන් ඉල්ලා අස්කරගත්ත. මේව බොරු චෝදනා. ඒකාබද්ධ විපක්ෂයෙ අය දඩයම් කරන්නයි ඔය චෝදනා එල්ල කරන්නෙ. වැරදි කරපු ඕනම කෙනෙකුට දඬුවම් කරනවට අපි විරුද්ධ නැහැ.

අයවැය පරද්දන්න එයාලට බැහැ

- මුජිබර් රහුමාන්
පාර්ලිමේන්තු මන්ත්‍රී-එක්සත් ජාතික පෙරමුණ

ජනතාවට අවශ්‍ය වෙනස රට තුළ සිද්ධවුණේ නැහැ කියල ගෝඨාභය රාජපක්ෂ මහත්තය කියනවා?

ගෝඨාභය රාජපක්ෂ මහත්තය වැඩ කරපු විදිය, ඒ ක්‍රමය , තාලෙ මේ රටේ ජනතාව දන්නවා. ඔහු ජනතාවගෙ හැඟීම් දන්න කෙනෙක් නෙවෙයි, කොළඹ ගෙවල් කඩල මිනිස්සු එලෙව්වා. සුදු වෑන් දාල ඒ අයට විරුද්ධ අය පැහැර ගත්තා. මාධ්‍යවේදීන් අරගෙන ගිහින් පහරදීපු චෝදනාත් ඔහුට තියෙනවා. ජනතාවගෙ මුදල් අවභාවිතා කරල අම්මගෙයි තාත්තගෙයි සොහොන හැදුවට නඩු තියෙනවා. එහෙම කෙනෙක් ජනතාවගෙ පැත්තෙ ඉන්නෙ කො‍ෙහාමද?

අපේ සංස්කෘතිය, සිරිත්විරිත්, ආරක්ෂා කරන පාලනයක් ඇති කළ යුතු බවයි ඔහු කියන්නෙ?

ඇමරිකානු පුරවැසියෙක් කොහොමද මේ රටේ සිරිත් විරිත්, සංස්කෘතිය ගැන කතා කරන්නෙ? ඉස්සෙල්ල ඔහු මේ රටේ පුරවැසියෙක් වෙන්න ඕන. එක කකුලක් ඇමරිකාවෙ අනෙක් කකුල ලංකාවෙ තියාගෙන මෙහෙ සිරිත් විරිත් ගැන කතා කරනවා. අයිය ජනාධිපති වෙච්ච හින්දයි ඔහු ලංකාවට ආවෙ. මුලින්ම එක රටක ඉන්න පුරුදුවෙන්න ඕන.

එක්සත් ජාතික පක්ෂ ආර්ථිකය රටට අහිතකර බවට චෝදනා එල්ල වෙනවා?

කවුද එහෙම කියන්නෙ? අපි ආර්ථිකය හදන්නෙ ලෝකයත් එක්ක එක ගමනක් යන්න පුළුවන් විදියට. මේ රටට විවෘත ආර්ථිකය හඳුන්වලදීල රටේ ශීඝ්‍ර සංවර්ධනය ඇති කළේ එක්සත් ජාතික පක්ෂය. ඒ සංවර්ධනයෙදී යහපත් දේත් අයහපත් දේත් වුණා. චන්ද්‍රිකා මැතිනියත්, මහින්ද රාජපක්ෂ මහත්තයත් අරං ගියේ අපි ගෙනාපු විවෘත ආර්ථික වැඩපිළිවෙළ තමයි. අද ලෝක ආර්ථිකය ගොඩක් වෙනස්. චීනය ආර්ථිකය විවෘත කළා. අද සමාජවාදී කඳවුරක් නැහැ. ඒක කඩා වැටිල. මේ තත්ත්වය තුළ තමයි අපි ආර්ථික සැලසුම් හදන්නෙ. දැනුම, තාක්ෂණය මත පදනම් වෙච්ච ආර්ථිකයකට අපි රට ගෙනියනවා. අපනයන ආර්ථිකයක් හදන්න ඕන.

ඔබ ඔය කියන ආර්ථික වැඩපිළිවෙළ සහිත අයවැයට ශ්‍රී.ල.නීපයත් පොහොට්ටුවත් විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න ආයෙත් සාකච්ඡා ඇරඹිලා?

සම්ප්‍රදායක් හැටියට විපක්ෂය අයවැයට විරුද්ධ වෙනවා. ඒක අලුත් දෙයක් නෙවෙයි. ඒ අයට අයවැය පරද්දන්න බැහැ. අපි දැනටමත් ඡන්ද 119 ක් ගත්තා. ශ්‍රී.ල.නි.පයෙ කට්ටියක් අයවැයට පක්ෂව ඡන්දය දෙනවා.

දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂ වුණේ කොන්දේසි දාල කියලයි කියන්නෙ. මොනවද මේ කොන්දේසි?

ඕක හැමදාම කියන කතාවක්. කිසිම කොන්දේසියක් නැහැ. ඒ අය ගිය අයවැයටත් ඡන්දෙ දුන්නා. ඒ අයවැයේදිත් කොන්දේසි කිව්වා. එහෙම කොන්දේසියක් අපි දැක්කෙ නැහැ. ඕව ජාතිවාදය අවුස්සන්න විපක්ෂය කියන කතා.

ජනාධිපති වැය ශීර්ෂය පරද්දන්නයි එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීවරු හිටියෙ. අන්තිමට මොකද වුණේ?

පසුපෙළට විතරක් නෙවෙයි ඉදිරිපෙළේ අයටත් පරද්දන්න ඕන වුණා. අවසාන දවසෙ, අවසාන මොහොතෙ අගමැතිතුමා මැදිහත්වෙලා ඒක නැවැත්තුවා.

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාට කෙනෙහිළිකම් කරන්නෙ ඇයි?

මේ ජනාධිපතිතුමාව ගෙනාවෙ අපි. අපේ ආණ්ඩුවට විරුද්ධව ඔක්තෝබර් 26 ජනාධිපතිතුමා කළ කුමන්ත්‍රණය පරාද කරල අපි ආයෙත් ආණ්ඩු බලය ගත්තා. ඊට පස්සෙත් අපේ ආණ්ඩුවට, අපේ වැඩපිළිවෙළට බාධා කරමින් ඉන්නවා. ජනාධිපති ලේකම් කාර්යාලයට මුදල් වෙන් කිරීම හරහා ආයෙත් අපිට ප්‍රහාර එල්ල කරන්න ජනාධිපතිට ශක්තිය දීමක්. ඉතිං අපි කොහොමද ඒ වැය ශීර්ෂයට ඡන්දය දෙන්නෙ.

විධායකයත් එක්ක මෙහෙම ගැටුම් ඇතිකරගෙන ආණ්ඩුවට ඉදිරියට යන්න පුළුවන්ද?

විධායක බලය පාවිච්චි කරල ජනාධිපතිතුමා අපිව මෙල්ල කරන්න හදනවනම්,පාර්ලිමේන්තු බලය පාවිච්චි කරල අපිටත් පුළුවන් ජනාධිපතිතුමාව මෙල්ල කරන්න. ඒකට හොඳම අවස්ථාව තමයි එතුමගෙ වැය ශීර්ෂය. අපි අපේ සීමාව දැනගන්නව වගේම ජනාධිපතිතුමා එතුමගෙ සීමාවත් දැනගන්න ඕන.

රට විදේශ යටත් විජිතයක් බවට පත්කිරීමේ සැලැස්මක් තියෙන බව විපක්ෂය කියනවා?

අවුරුදු 70වක් තිස්සෙ ඔය කතා කියනවා. යටත්වෙලා නැහැනෙ. ඉන්දු ලංකා ගිවිසුම ගහනකොට ඉන්දියාව යටත්කරගන්න හදනව කිව්වා. විපක්ෂයට සටන් පාඨ නැතිවුණාම ජනතාවගෙ හැඟීම් අවුස්සල දේශපාලනය කරන්නයි හදන්නෙ. ඒක තමයි අද මේ රටට වෙලා තියෙන වින්නැහිය. මේ රට කාටවත් යටත් කරන්න කිසිම ආණ්ඩුවක් ඉඩදෙන්නෙ නැහැ.

අන්තවාදී කල්ලි මුස්ලිම් දේශපාලන නායකයන්ට තර්ජන කරන බවට මාධ්‍ය වාර්තා පළ වුණා. මේ ගැන මුස්ලිම් ජාතික ඇමතිවරු කිහිපදෙනෙකුත්, ආරක්ෂක ලේකම්වරයාත් අතර සාකච්ඡාවකුත් ඇති වූ බව කියනවා?

ඇමැතිවරුන්ගෙ සාකච්ඡා ගැන මම දන්නෙ නැහැ. මාවනැල්ලෙ සිද්ධියත් එක්ක මාධ්‍යවල විවිධ දේ පළවුණා. ඒ සියල්ලම ඇත්ත නෙවෙයි. අන්තවාදී මුස්ලිම් කල්ලියක් මේ රටේ ඇති වුණොත් ඒක රටේ මුස්ලිම් ජනතාවට බලපානවා. අන්තවාදී සංවිධානවලට ඉඩ නොදිය යුතුයි කියන තැන අපි හැමෝම ඉන්නවා. අන්තවාදී සංවිධාන රටේ ජාතික සමගියට බාධාවක්. අවුරුදු 30ක යුද්ධයක් කරල ඉතාම අසරණ වෙච්ච රටක අපි ඉන්නෙ. යුද්ධය හරහා අපි ලබාගත්ත ජයග්‍රහණයක් නැහැ. යුද්ධෙන් වුණේ මේ රට විනාශ වීම. උතුරේත් දකුණෙත් නැතිවුණේ ජීවිත. අපේ ආර්ථිකය නැති වුණා. ආයෙත් යුද්ධයක් ඇති වෙනවාට කවුරුවත් කැමති නැහැ. මුස්ලිම් සමාජය, ආගමික නායකයන්, සිවිල් සංවිධාන මේ ගැන අවධානයෙන් ඉන්නෙ. එහෙම සංවිධාන රටේ තියෙනවා කියල 100% ක් හරියටම කියන්න බැහැ. තවම තියෙන්නෙ සැකයක්. මාවනැල්ල සිද්ධියට සම්බන්ධ කීප දෙනෙක්ම අත්අඩංගුවට ගත්තා.

නව අදහස දක්වන්න