සියවසක් නෙත් පෑදූ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය | දිනමිණ

සියවසක් නෙත් පෑදූ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය

මින් වසර සියයකට පෙරාතුව හරියටම වර්ෂ 1919 ක් වු මාර්තු 19 වැනි දා ගාල්ල වැලිවත්ත ඔරොප්පුවත්ත ප්‍රදේශයේ දී මේ ධරණීය තලයේ හා හා පුරා කියා ගාල්ල සංඝමිත්තා ශිල්ප ශාලිකාවට මුල්ගල් බැඳෙන්නේ දක්ෂිණ ලංකාවේ පළමු බෞද්ධ බාලිකා විද්‍යාලය වශයෙනි. එසේ ආරම්භ වු ගාල්ල සංඝමිත්තා විදුහල් මෑණියන් සිය සියවස සැමරීම පසුගිය 19 දින උත්සවාකාරයෙන් සිදුකරන ලද්දේ විද්‍යාලයේ විදුහල්පති චාන්දනී උඩකුඹුර මහත්මියගේ, නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන්ගේ, විද්‍යාලයීය ගුරුවරුවරුන්ගේ, විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවන් හා මවුපියන්ගේ සංවිධාන ශක්තියෙනි. මේ වෙනුවෙන් සමරු මුද්දරයක් මෙන්ම මුල් දින කවරයක් ද නිකුත් කෙරිණි.

මීට සමඟාමීව පසුගිය 09 දින සංඝමිත්තාව සංවිධානය කරන ලද සඟමිත් පා ගමන සංඝමිත්තාවේ කිතු ගොස තවත් ඔප්නංවන්නට සමත් විය. එසේම ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් විද්‍යාලයීය සියවස සැමරූ සඟමිත් දියණිවරුන් සංඝමිත්තාවට නායකත්වය දුන් දැනට ජීවතුන් අතර සිටින විදුහල්පතිනියන් කැඳවීම ද ‍‍ඓතිහාසික අවස්ථාවක් විය. මීට අමතරව සංඝමිත්තා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මඟින් නිකුත් කරන ලද යමුනා මාලනී පෙරේරා විසින් ලියන ලද සියවසක සඟමිත් අසිරිය හා විද්‍යාලයීය සිංහල අංශය හා ආචාර්ය මණ්ඩලය එක්ව සකසන ලද සඟමිත් සියපත යන ග්‍රන්ථ දෙක දොරට වැඩීම ද මෙහි දී සිදුවිය.

ඉංග්‍රීසීන් යටතේ ව්‍යාප්ත වෙමින් පැවති මිෂනාරී අධ්‍යාපන ක්‍රමය නිමල බොදුනු දැක්මට කණකොකා හැඩීමක් වන් වු නිසා එවකට ලාංකීය බෞද්ධ බාලිකාවන්ගේ අධ්‍යාපනය සඳහා ඇරැඹී ගාල්ල සංඝමිත්තාව අද වන විට දකුණු ආසියාවේ වැඩිම සිසුන් පිරිසක් සිටින බාලිකා පාසලයි.

එෆ්.ජී පියර්ස් මැතිතුමා හා එම මැතිණිය විසින් බෞද්ධ දැරියන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමට සුදුසු පාඨශාලාවක් ආරම්භ කිරීමට කරන ලද ආරාධනයක් අනුව ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන්ගේ මඟ පෙන්වීම යටතේ රුහුණේ ප්‍රකට දානපති සමාජ සේවකයෙක් වූ මුහන්දිරම් එෆ්.ටී. වික්‍රමසිංහ මැතිඳුන්ගේ ධන පරිත්‍යාගයෙන් ශිෂ්‍යාවන් 08 දෙනකුගෙන් සහ ගුරුවරුන් සිවු දෙනකුගෙන් සංඝමිත්තාව අරම්භ වී ඇත. ආරම්භයේ දී පෞද්ගලික පාසලක් වු ගාල්ල සංඝමිත්තාව වර්ෂ 1946 ජනවාරී 01 දින සිට රජයේ පාසලක් බවට පත්විය. මෙහි ප්‍රථම විදුහල්පතිනිය ලෙස ඇමරිකානු ජාතික හේ මැතිණිය කටයුතු කළ අතර එතැන් පටන් විදුහල්පතිනියන් 22 කගේ පාලනය යටතේ හැඩ වු ගාල්ල සංඝමිත්තා මාතාවගේ වර්තමාන නියමුවරිය වන්නේ දුයිෂෙන් පරපුරේ චාන්දනී උඩකුඹුර මැතිණියයි.

සඟමිත් විදුපියසට ඇතුළු වනවිටම පළමුව නෙත ගැටෙන්නේ නිහඬ වූත් නිසල වුත් මහත් තේජසින් විරාජමානව වැඩ සිටින සංඝමිත්තා තෙරණින් වහන්සේගේ ප්‍රතිමාව සහ බෞද්ධ මන්දිරයයි.

දිවයිනේ අධ්‍යාපනයේ නිම්වලලු පුළුල් කරමින් බෞද්ධ සිසුවියන් හට අධ්‍යාපනයේ හර බැර කියා දෙමින් කෙමෙන් වැඩුණු සංඝමිත්තාවේ පළමු සිංහල විදුහල්පතිනිය නීතා පෙරේරා මහත්මියයි. (1934 -1942) 1942 සිට 1947 දක්වා විද්‍යාලයීය විදුහල්පතිනිය වූ චිත්‍රා වික්‍රමසුරිය මැතිනියගේ සමයේ දී "ජම්බුදීප නම් මනහර මහා දේශයේ ලෙසින් ආරම්භ වන විද්‍යාලයීය ගීතයත්, " සාධු සබ්බත්ථ සංවරෝ" (හැම අතින්ම සංවර වීම යහපත්) විද්‍යාලයීය ආදර්ශ පාඨය ලෙසත් එක්විය.

1958 දී නව විදුහල්පතිනිය ලෙස තිලෝකසුන්දරී කාරියවසම් මැතිනිය පත්වන්නීය. එවකට අධ්‍යාපන අමාත්‍යධුරය දැරූ විජයානන්ද දහනායක මැතිතුමාගේ මඟ පෙන්වීමෙන් විද්‍යාලයේ භෞතික සම්පත් සංවර්ධනය මෙන්ම අධ්‍යාපන සංවර්ධනයේ හා ක්‍රීඩා, සංගීතය නර්තනය, හා ඉංග්‍රීසි නාට්‍ය ඇතුළු බාහිර ක්‍රියාකාරකම්වල ඉහළම කාර්ය සාධනයක් වාර්තා කිරීමට සංඝමිත්තාවට හැකියාව ලැබෙයි.

අද වන විට සුවිසල් විභාග ප්‍රතිළුල ලබමින්, ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම්වල ජයග්‍රහන ලබමින් ශාස්ත්‍රීය අධ්‍යාපනයේ දකුණේ පෙරගමන්කරු ලෙසින් සඟමිත් විදු මෑණියෝ විරජාමානව දිවයිනේ සෙසු පාසල් වලට අභියෝගයක් වෙමින් ඇත. එසේම මහත් ජවසම්පන්න ලීලාවෙන් සඟමිත් දියණිවරු කෙළිබිම තුළ ද කුංචනාද දෙමින් අගනුවර පාසල් අභිබවමින් තම නිසඟ කුසලතා ඔප්නංවමින් ජයපිට ජය ලබමින් සිටිති.

සියවස සපුරණ සංඝමිත්තාව පිළිබඳව පවසන වත්මන් විදුහල්පතිනිය චාන්දනී උඩකුඹුර මහත්මිය -

"පසුගිය 19 වෙනි දිනට සංඟමිත්තාව සියවන උපන් දිනය සැමරුවා. මේ අවස්ථාව ඇත්තටම පාසලේ සියලු ශිෂ්‍යාවන්ට, ආදි සිසුවියන්ට, මවුපියන්ට මෙන්ම පාසලට සුබ පතන්නන්ට ද විශේෂ අවස්ථාවක් වුණා. අප සියවස් සමරු පා ගමනක් සංවිධානය කළා. ඒ සඳහා පාසලේ මෙතෙක් සේවය කරන ලද දැනට ජීවතුන් අතර සිටින සියලු විදුහල්පතිනියන්ට සහ ගුරුවරුන්ට ආරාධනා කළා. ඒ වගේම විශේෂ වැඩසටහන් කිහියපක් සිදුකළා. නව ගොඩනැඟිල්ල විවෘත කිරීම, සුහුරු පංති කාමර හඳුන්වාදීම, පළමු ධජය එසවීම වගේම විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක් ද සිදු කළා. අද සංඟමිත්තාව මේ තියන තත්වයට ගෙන ඒම සදහා කැපවී කටයුතු කරන ලද මෙහි සේවය කළ සියලු විදුහල්පතිනියන්ට මෙන්ම ගුරුවරුන්ට මෙහි දී මාගේ විශේෂ ස්තූතිය හිමිවෙනවා. එසේම වර්තමානයේ මා සමඟ පාසලේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන නියෝජ්‍ය සහ සහකාර විදුහල්පතිවරුන්, දරුවන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන ගුරු මණ්ඩලය ඇතුළු සියලු පුහුණුකරුවන්ටත් විශේෂ ස්තූතියක් හිමිවෙනවා. පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මනා කැපවීමෙන් පාසල වෙනුවෙන් කරන මෙහෙය ද ප්‍රශංසනීයයි. එසේම පාසල් සංවර්ධන සමිතිය ඇතුළු මවුපියන් කරන මෙහෙයටත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපේ පාසලේ දරුවන්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලධාරීන්, දේශපාලනඥයින්, මාධ්‍ය ආයතන මෙන්ම පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද අවට පාසල් වලින් අප පාසලට ලබා දෙන සහය ද මෙහි දී මතක් කර යුතුමයි."

ලංකින්ද නානායක්කාර-ඉමදුව සමුහ

නව අදහස දක්වන්න