ජනතා ජීවිත සහ දේපළ සුරකින්න දිවිදුන් පොලිස් විරුවන් අනුස්මරණය කළ දිනය | දිනමිණ

ජනතා ජීවිත සහ දේපළ සුරකින්න දිවිදුන් පොලිස් විරුවන් අනුස්මරණය කළ දිනය

ලක්වාසි ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම උදෙසා සිය ජීවිත පරිත්‍යාග කරමින් වීර වික්‍රමාන්විතව වසර 155ක් මුළුල්ලෙහි මිය ගිය පොලිස් විරුවන් අනුස්මරණය කරන දිනය ඊයේ (21 වැනිදාට) යෙදී තිබිණි.

අභීත හස්තියෙකු මැදිකර ගනිමින් ධර්ම චක්‍රය සහිත ලාංඡනය හිසෙහි දරා ගනිමින් ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කරමින් නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කැප වූ ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් එදා මෙදාතුර දිවිදුන් පොලිස් විරුවන් අනුස්මරණය කිරීම ඊයේ දිවයිනේ පිහිටි සියලු පොලිස් කොට්ඨාසවලදී ගාම්භීර අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි.

මෙහි ප්‍රධාන උත්සවය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල පොලිස් වසමේ සභාන් විරු ස්මාරකය අබියසදී පොලිස් නිලධරයින් හා පොලිස් පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත පොලිස් නිලධරයින්ගේ සහභාගීත්වයෙන් පෙරවරු 08.00 ට පැවැත්විණි.

වර්ෂ 1864 ක් වූ, මාර්තු මස 21 වන දින කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ලේ උතුවන්කන්ද ප්‍රදේශයේදී, අවශ්‍ය කරන සැකකරුවකු වූ දීකිරි කෑවගේ සරදියෙල් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදී සරදියෙල්ගේ සගයෙකු වූ මම්මලේ මරික්කාර් විසින් එල්ල කරන ලද වෙඩි පහරකට ලක්ව පොලිස් කොස්තාපල් සභාන් ජීවිතක්ෂයට පත් වූ අතර, මෙරට නීතිය හා සාමය ස්ථාපිත කිරීම උදෙසා තම ජීවිතය පරිත්‍යාග කළ ප්‍රථම පොලිස් නිලධාරියා පොලිස් කොස්තාපල් සභාන් වූ හෙයින්, එම දිනය මුල්කර ගනිමින් සෑම වර්ෂයකම මාර්තු 21 වන දිනය පොලිස් විරු දිනය ලෙස නම් කර ඇත. වර්ෂ 1866 දී, පොලිස් බළකාය නිශ්චිත ලෙසම නෛතික බලයක් සහිතව ස්ථාපිත කිරීමට ද, ඊට වසර දෙකකට පෙරාතුව පොලිස් කොස්තාපල් සභාන් නිලධාරියා නීතිය හා සාමය සුරක්ෂිත කිරීමේ පරම චේතනාවෙන් යුතුව ලක් දෙරණ වෙනුවෙන් දිවිදීමේ සිදුවීම හේතුපාදක විය. එතැන් සිට ගත වූ වසර 155 ක් පුරාවට ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කරමින් නීතිය හා සාමය සුරක්ෂිත කිරීමට සිය ප්‍රාණය, ඇස්, හිස්, මස්, ලේ. අත්, පා දන්දුන් පොලිස් විරුවන් සිහිපත් කිරීම පොලිස් විරු දිනයේ පරමාර්ථයයි.

එදා මෙදා තුර දිවිදුන් සියලු නිලධරයින් ඔවුන්ගේ පෙර දවස පූජාකර ඇත්තේ අපගේ අද දවස උදෙසාය. මාතෘභූමියේ අනාගත පරපුර උදෙසාය. අප අද භුක්ති විඳින නිදහස ඔවුන් අප වෙනුවෙන් දිවි පුදා දායාද කළ නිදහස බව අප කිසිවිටකත් අමතක නොකළ යුතුය. මහජන සේවය වෙනුවෙන් ජීවිතය කැප කළ පොලිස් නිලධරයින්ගෙන් සිදුවන සේවය කිසිවිටකත් ලඝුකොට තැකිය නොහැකිය. තම දරුවන් පාසල වෙත රැගෙන යන්නට වෙනත් අයෙකු වෙත පවරා ඔබේ දරුවා පාර මාරුවන තෙක් මහ මාර්ගයේ බලා සිටින්නේ වෘත්තියට පමණක් සීමා වී නොවේ. අව්, වැසි, රාත්‍රිය, දහවල වෙනසක් නොවී අවුරුද්ද, විනෝදය නොසලකා ඔබට ඒ සියල්ල භුක්ති විඳීමට ඉඩ හසර දී පොලිස් නිලධරයා රැකවලෙහි සිටී.

පොලිස් නිලධරයින් සෑමවිටකම අපරාධ මර්දනයට මෙන්ම, රට තුළ සාමකාමි පරිසරයක් ගොඩනැඟීමට කැප වී කටයුතු කරන අතර, රටේ විවිධ අවස්ථාවල අපරාධකරුවන් ලුහුබැඳීමේදී මෙන්ම සාමය සුරක්ෂිත කිරීමට යාමේදී සාහසික ප්‍රහාරයන්ගෙන් තුවාල ලැබීම් හා ඝාතනයවීම් ද, වාර්තා වී ඇති වාර අනන්තය අප්‍රමාණය. ඈත අතීතය දෙස නොබැලුවද අප නෙත් මානයේ මතකය අවදි කළ විට තම රාජකාරිය වෙනුවෙන් දිවි පිදූ පොලිස් විරුවන් රාශියකගේ නාමයන් අප මතකයට නැඟෙනු ඇත. 2017.05.09 වන දින මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා පිලියන්දල ප්‍රදේශයට ගොස් සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරී කණ්ඩායමක් රැඳී සිටි කාර් රථයක් සාහසික වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පොලිස් කොස්තාපල් 49446 චමින්ද අබේවික්‍රම නිලධාරියාත්, 2017.07.21 වන දින යාපනයේ මහාධිකරණ විනිසුරු ඉලංචේලියන් මහතාගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් සැරයන් 24330 සරත් පේමචන්ද්‍ර නිලධාරියා ජීවිතක්ෂයට පත්වීම, මොනරාගල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමකට සහභාගී වූ පොලිස් සැරයන් 5355 ප්‍රසන්න විජේබණ්ඩාර ගොඩගම නිලධාරියා අපරාධකරුවකු විසින් අටවන ලද ගිනි අවියක් පත්තුවී 2018.03.07 වන දින ජීවිතක්ෂයට පත්වීම, 2018.05.25 වන දින මාදම්පේ පොලිස් වසමේදී ගංවතුර හේතුවෙන් ආපදාවට ලක් වූ දරු පවුලක් බේරා ගැනීමට යාමේදී පො.සැ. 88587 ඩිලාන් සම්පත් දසනායක නිලධාරියාත් , මඩකලපුව කොට්ඨාසයේ වව්නතිව් පොලිස් වසමේදී වව්නතිව් මාර්ග බාධකයේදී 2018.11.29 වන දින රාත්‍රියේදී වෙඩි තැබීමකින් පොලිස් සැරයන් 8624 ගනේෂ් දිනේෂ් සහ පොලිස් සැරයන් 82162 ඉන්දික ප්‍රසන්න යන නිලධාරින් ජීවිතක්ෂයට පත්වීම සහ කොළඹ දකුණ කොට්ඨාසයේ බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර නිලධාරියා 2019.03.10 වන දින ජීවිතක්ෂයට පත්වීම දක්වාම පමණක් නොව හෙට දවසේ දීත්, මෙරට ප්‍රජාවට අපරාධ බියකින් තොරව සාමකාමි රටක ජීවත්වීම උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් පොලිස් නිලධරයින් කටයුතු කරනු ඇත

නීතිඥ රුවන් ගුණසේකර
පොලිස් අධිකාරී
අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක,
පොලිස් මාධ්‍ය කොට්ඨාසය.

නව අදහස දක්වන්න