නලාව මඬින්න වෙලාව හරි | දිනමිණ

නලාව මඬින්න වෙලාව හරි

‘මහ හයියෙන් ශබ්ද දාන බස්වලට වැඩ වරදී’ හිසින් පසුගියදා දිනමිණ මුල් පිටුවේ ප්‍රධාන පුවතක් සේ වාර්තා කර තිබිණි. ඩෙසිබල් අසූවට (80) වැඩි ශබ්දයකින් පෞද්ගලික බස් රථවල කැසට්, රූපවාහිනි ක්‍රියාත්මක කරන අන්තර් පළාත් බස් රථ පරීක්ෂා කර දැඩි දඬුවම් පැනවීමට ජාතික ගමනාගමන කොමිසම පියවර ගන්නා බවද එම පුවතේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

කැසට්, රූපවාහිනි යන්ත්‍ර පමණක් නොව මෙම බස් රථවල අධික ශබ්දයෙන් යුතු නළා මෙන්ම සයිලන්සර් (දුම් බටය) වලින් පිටවන ශබ්දයද මගී ජනතාවට මෙන්ම මහ මග ගමන් ගන්නා මිනිසුන්ටද ඇති කරන්නේ බරපතළ පීඩාවකි.

මේ රට තුළ ක්‍රියාත්මක වන පෞද්ගලික බස් සේවාව සැබැවින්ම මාෆියාවකි. රිය ධාවනයේ සිට සිදුවන සමස්ත ක්‍රියාවලියම සිදුකරන්නේ නීති විරෝධී ආකාරයටය. මාර්ග නීති කිසිවක් ඔවුනට අදාළ නැත. මහ මග ගමන් කරන පදිකයන් මෙන්ම බස් රථය තුළ ගමන් ගන්නා මගීන්ගේ ජීවිත තුට්ටුවකටවත් ගණන් නොගන්නා මේ මාෆියාව රුපියල් ශත පමණක් ප්‍රධාන කොට සළකයි.

ජාතික ගමන් සගයා ලෙස හඳුන්වන ශ්‍රී ලංගම බස් රථවලට මහ මග සිදුකරනු ලබන බලපෑම් තර්ජන ගර්ජන මෙන්ම පහරදීම් ද අප කොතෙකුත් දැක ඇත. ඒ නිසා ශබ්දය පමණක් නොව අනිකුත් සියලු ක්‍රියාකාරකම් ගැන අවධානයෙන් සිටීම ජාතික ගමනා ගමන කොමිසන් සභාව සේම රථවාහන පොලිසියද ඒකාබද්ධව මේ කැලෑ චණ්ඩි මට්ටුකිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තවත් ප්‍රමාද විය යුතු නැහැ. සමස්තයක් වශයෙන් ගත් කළ පෞද්ගලික බස් රථ බොහොමයක රූපවාහිනි යන්ත්‍රයක් සහ බෆල් දෙකක් හෝ හතරක් සවිකර ඇත. ඔවුන් කැසට් යන්ත්‍රවලින් වාදනය කරන ගීත මෙන්ම ප්‍රදර්ශනය කරන සී.ඩී. පට කිසිදු වැදගැම්මක් නැති ඉතා බාල රසවින්දනයක් ඇති ඒවාය. එළිමහන් සංගීත සංදර්ශන මෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් හා කාමුකත්වයෙන් පිරි තුට්ටු දෙකේ චිත්‍රපටය. පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථවලද මේ හරසුන් බොළඳ සී.ඩී.පට ප්‍රදර්ශනය කරන බැවින් දරුවන්ගේ මනසට සිදුවන බලපෑමද සුළුපටු නැත.

රටේ ජනතාවගේ මානව අයිතීන් උල්ලංඝනය වන ලෙස හැසිරෙන පෞද්ගලික බස් මාෆියාව දැන්වත් පාලනය නොකළොත් අනාගතයේදී මේ තත්ත්වය වඩාත් බරපතළ වන බව කිව යුතු ය. පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථවල මෙන්ම සාමාන්‍ය ජනතාව ගමන් ගන්නා සෑම බස් රථයකම දේශාභිමානී ගීත මෙන්ම හරවත් සුබාවිත ගීත වාදනය කරවීමටත් ලංකාවේ ස්වභාවික පරිසරය, පුරාවිද්‍යා ස්ථාන, මත් විරෝධී වැඩසටහන්, සෞඛ්‍ය මෙන්ම ජනමනසට ගෝචර වැඩසටහන් සහිත සී.ඩී.පට පමණක් ප්‍රදර්ශනය කරවීමට උපදෙස් ලබාදිය යුතු ය. එම නියෝග කඩකරන ඕනෑම බස් රථයක ධාවන බලපත්‍රය මාස 3 කටවත් අවලංගු කළයුතු අතර එම බස් රථයේ කැසට් යන්ත්‍රය හා රූපවාහිනි යන්ත්‍ර භාවිතා කිරීම සපුරා තහනම් කළ යුතුය.

ඒ වගේම මෙම නීති උල්ලංඝනය කරන බස් රථ කවරේද යන්න දිනපතා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ රථවාහන පොලිසිය වැටලීම් කළ යුතු අතර එම නීති නොතකා ක්‍රියාකරන බස් රථ පිළිබඳව වහාම දැනුම්දීම සඳහා ක්ෂණික ඇමතුම් අංකයක්ද මගී ජනතාව වෙත හඳුන්වාදීම සඳහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගත යුතුය.

රත්නසිරි පතිරණ

නව අදහස දක්වන්න