ආර්ථික සංවාදය! | දිනමිණ

ආර්ථික සංවාදය!

ශ්‍රී ලංකාව 2019 වන විට 1.5% ක ආර්ථික වර්ධනයක් සහිත රාජ්‍යයක් බවට පත් වී ඇත. 2017 වන විට එය පැවතියේ 0.3% ක බව සඳහන් ය. වසර දෙකක් තුළ යම් දියුණුවක් ලබා ඇති බව පැහැදිලි ය. එහෙත් එම වර්ධනය ශීඝ්‍ර සංවර්ධනයකට ප්‍රමාණවත් නැත. වේගයෙන් දියුණුවන රටක් 6% ක හෝ 7% ක හෝ වාර්ෂික ආර්ථික වෘද්ධියක් සටහන් කරගත යුතුය. ඒ තත්ත්වය කරා ගමන් කරන්නේ කෙසේ ද? මේ පිළිබඳ සංවාදයක් පසුගිය දහනව වනදා හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි. එය ‘ෆයර් සයිඩ්’ ආර්ථික සංවාදය ලෙස හැඳින්විණි. මේ සංවාදයේ දී ආර්ථිකය පිළිබඳ ඉතා වැදගත් කරුණු ගණනාවක් හෙළිදරව් වී ඇත.

මෙබඳු සංවාද අතිශයින් ම වැදගත්ය. අප හිර වී ඇති සාම්ප්‍රදායික රාමුව ගැන වැටහීමක් මෙයින් ලද හැකි ය. සරල නිදසුනක් ගතහොත් රටේ තරුණ පරම්පරාවෙන් වැඩි කොටස රාජ්‍ය අංශයේ රැකියා අපේක්ෂා කරති. සීමිත වැඩ කොටසක් ඉටුකොට විශ්‍රාම වැටුපකින් ජීවිතයේ සන්ධ්‍යා කාලය ගෙවා දමන්නට බොහෝ දෙනා කැමැති වෙති. ආර්ථික අභියෝගවලට මුහුණදෙමින් සාර්ථක ව්‍යාපාරයක නිරතවීමට උත්සාහ දරන්නේ කලාතුරෙකින් තැනැත්තෙකි. ඔහුට ද මේ රටේ බාධා වැඩිය. චීනය වේගවත් දියුණුවක් ලබාගත්තේ සමාජවාදය යටතේ ව්‍යාපාර දියුණු කිරීමෙන් ය. රුසියාව ද එලෙසම ය. පෞද්ගලික අංශය ව්‍යාප්ත නොකොට රටක් දියුණු කිරීම අපහසු ය.

මේ සංවාදයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආරම්භ කිරීමට හා ඒවා පවත්වාගෙන යෑමට ඇති සියලු බාධා ඉවත් කළ යුතු බව ය. ව්‍යාපාරිකයාට ඇති පිළිගැනීම හා වටිනාකම ඉහළ දැමිය යුතු බව අපගේ ද පිළිගැනීම ය. ව්‍යාපාර සඳහා අවශ්‍ය ණය මුදල් ඉක්මනින් හා පහසුවට ලබාදීමට බැංකු හා වෙනත් මුල්‍ය - ආයතන ද පියවරගත යුතුව තිබේ. ව්‍යාපාරිකයා සිය ක්‍රියාවලිය ආරම්භ කරන්නේ බලවත් අවදානමක් තමන් වෙත පවරාගනිමින් ය. එබඳු තැනැත්තකුට ආයතන වෙතින් ද සමාජය වෙතින් ද යම් සහයෝගයක් ලබාදීම යුක්තිසහගත ය. ව්‍යාපාර සාර්ථක වීමෙන් නව රැකියා බිහි වෙයි. එලෙස ම රටේ ආදායම් ඉහළ යයි.

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම අමෙරිකන් ඩොලර් හාරදහසක් ලෙස සටහන් වී ඇත. අද ලෝක ආර්ථික දර්ශකවලට අනුව බලන විට අපේ ඒක පුද්ගල ආදායම ගැන මුළුමනින් සතුටු විය නොහැකිය. මේ සංවාදයේ දී මතු වූ වැදගත් සාධකයක් වන්නේ ඉතා කෙටි කාලයකින් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම අමෙරිකන් ඩොලර් දසදහස දක්වා වර්ධනය කළ යුතු බව ය. දැනට පවතින ආර්ථික වර්ධනයට අනුව ගතහොත් ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වනු ඇත. ඒ අනුව සිදු කළ යුත්තේ නව ආදායම් මාර්ග කෙරෙහි ජනතාව යොමු කිරීම ය. නූතන ලෝකය මුදල් ඉපැයීම සඳහා විවිධ උපාය මාර්ග භාවිත කරයි. මුදල් කිසියම් ආයතනයක හිර වී තිබේ නම්; ඒවා නව ආදායම් ඉපැයීම සඳහා යොදා ගනු ලැබේ. සරල නිදසුනක් ගතහොත් ආයතනයක් සතු මුදල් කොටස් වෙළෙඳ පොළෙහි ආයෝජනය කිරීමෙන් විශාල ආදායමක් ලැබිය හැකි ය.

ආයෝජන සම්බන්ධ අලුත් ක්‍රියාමාර්ගවලට අපේ ජනතාව හුරු වී නැත. ජනතාව ඒවා කෙරෙහි බියක් ද දක්වති. මහා බ්‍රිතාන්‍යයේ හිටපු නායිකා මාග්‍රට් තැචර් මහත්මිය අලුත් ආර්ථික උපාය මාර්ග රටට හඳුන්වා දුන් විට රටේ විශාල කැළඹීමක් ඇති වූ බව මෙහිලා රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ය. එහෙත් තැචර් මහත්මිය තම ප්‍රතිපත්ති හා වැඩසටහන් වෙනස් කළේ නැත. එබැවින් ඇය යකඩ ගැහැනියක ලෙස හැඳින්විණි. බ්‍රිතාන්‍යයේ පැවැති ආර්ථික පසුබෑම නතරකොට ආර්ථිකය ශක්තිමත් කිරීමට තැචර් මහත්මියට හැකිවිය. පසුකාලීන ව රටේ බුද්ධිමතුන් මෙන් ම ලෝක ආර්ථිකයේ කැපී පෙනෙන විචාරකයන් ද තැචර් මහත්මිය විප්ලවීය නායිකාවක ලෙස හඳුන්වන්නට පටන්ගත් බව අපට මතක ය.

2015 වන විට ශ්‍රී ලංකාව පැවැතියේ විශාල ණය උගුලක හිරවෙමින් ය. මේ අනුව දරාගත නොහැකි විදේශ ණය ප්‍රමාණයක් හා අධික පොලියක් ගෙවීමට භාණ්ඩාගාරයට සිදු වී තිබිණි. ණය හා පොලිය ගෙවීම අනිවාර්ය වේ. වත්මන් ආණ්ඩුව 2018 වන විට එම ණය හා පොලීවලින් විශාල කොටසක් ගෙවා දමා තිබිණි. එය ජයග්‍රහණයකි. ඉතිරිය ද ඉතා ඉක්මනින් ගෙවා හමාර කරන බව අගමැතිවරයා කියයි. එය හොඳ තත්ත්වයකි.

විදේශීය තානාපතිවරු, කොමසාරිස්වරු, ව්‍යාපාරිකයෝ හා රාජ්‍ය තාන්ත්‍රිකයෝ මේ සංවාදයට එක්වී සිටියහ. එය වට දෙකකින් පැවැත්විණි. විශේෂත්වය වූයේ අවසන් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ විවෘත සංවාදයක් ද එහි දී පැවැත්වීමය. විවෘත සංවාදයේ දී සාකච්ඡාවට ගැනුණු වැදගත් මාතෘකා කිහිපයක් ද තිබිණි. ශ්‍රී ලංකාවට විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කරගන්නේ කෙසේ ද? ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය තවදුරටත් වැඩි දියුණු කරන්නේ කෙසේ ද? යන මාතෘකා දෙක එයින් වඩාත් වැදගත් වෙයි. මේ අංශ දෙකම නැති ව ශ්‍රී ලංකාවට වේගවත් සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැකි ය. එය වටහාගත් නායකයන් සිටීම එක අතෙකින් වාසනාවකි. පෞද්ගලික අංශය ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් ම සාධකය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය වෙයි.

ලෝකයේ දියුණු රටවල් රාජ්‍ය අංශය භාවිත කරන්නේ ආර්ථිකයේ නියාමනය හා ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ය. නිෂ්පාදන හා සේවා අංශය මුළුමනින් ම පාහේ ක්‍රියාත්මක වන්නේ පෞද්ගලික අංශය ඔස්සේ ය. මෙය දියුණුවේ මාර්ගය ලෙස සැලැකිය හැකි ය. සමාජවාදී රටවල් පවා පෞද්ගලික අංශය නිෂ්පාදනය ක්‍රියාවලිය සඳහා හොඳින් යොදාගනී. නූතන ලෝක ආර්ථිකය නිරීක්ෂණය කරන කෙනකුට මෙය පැහැදිලි වනු ඇත. චීනය හොඳම නිදසුන ලෙස දැක්විය හැකි ය. ලෝකයේ බලවත්ම සමාගම්වලින් වැඩි හරියක් ක්‍රියාත්මක වන්නේ චීනයේ පෞද්ගලික අංශය ඔස්සේ ය. දකුණු කොරියාව ද මීට සමගාමී ලෙස පෞද්ගලික අංශය දියුණු කර තිබේ. ශ්‍රී ලංකාව වැනි රටවල් තවම ඒ තත්ත්වය හොඳින් වටහාගෙන නැත.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දියුණු කිරීමට නම්; ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් දොළොස්දහසේ තත්ත්වයට ගෙන යා යුතු බව මේ සංවාදයේ දී එක් ව්‍යාපාරික මහතෙක් කියා සිටියේ ය. එය සත්‍යයෙකි. ලෝක ආර්ථිකයේ ශීඝ්‍ර වර්ධනයට අනුව ඒක පුද්ගල ආදායම ඇ.ඩො.4000ක් යනු පසුගාමී තත්ත්වයකි. මෙබඳු සංවාද පැවැත්වීම බෙහෙවින් වැදගත් වන්නේ ඒ මගින් අපේ සාම්ප්‍රදායික ආර්ථික චින්තනය වෙනස් කර ගැනීමට උත්තේජකයක් ලැබෙන බැවිනි. ආර්ථික වර්ධනයේ දී විදේශීය නියෝජිතයන්ගේ අදහස් මෙන් ම ප්‍රකට ව්‍යාපාරිකයන්ගේ යෝජනා ද වැදගත් ය.

 

නව අදහස දක්වන්න