අයි.පී.එල්. තරගාවලිය අද සිට | දිනමිණ

අයි.පී.එල්. තරගාවලිය අද සිට

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි අදියර අද (23) මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් සහ විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර චෙන්නායිහිදී තරගයෙන් ආරම්භ වෙයි.

කණ්ඩායම් 8ක් එක්වන තරගාවලිය මැයි මස 12 වැනිදා නිමාවට පත්වේ. මැයි මස 5 වැනිදා දක්වා පැවැත්වෙන මූලික වටයට ඇතුළත්ව ඇති තරග සංඛ්‍යාව 56කි. පළමු අවසන් පූර්ව තරගය මැයි 6 වැනිදා පැවැත්වෙන අතර 8 වැනිදා පරාජිතයන් ඉවත් කිරීමේ (Eliminator) තරගය පැවැත්වෙයි. 10 වැනිදා දෙවැනි අවසන් පූර්ව තරගයත්, 12 වැනිදා අවසන් මහා තරගයත් පැවැත්වෙනු ඇත.

මෙවර තරගාවලියට මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි කැපිටල්ස්, සන්රයිස් හයිද්‍රාබාද්, කොල්කටා නයිට්රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස් සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම් ද එක්වෙති. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර තරගාවලියට එක්වන එකම ක්‍රීඩකයා වන්නේ ලසිත් මාලිංගය. ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන අතර අයි.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලුලාභියාද වෙයි. ඔහු මේ වනවිට තරග 110කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 154කි. 2017 වසරේ තරගාවලියේදී මාලිංග මේ කඩුලු සංඛ්‍යාව හිමිකරගත් අතර පසුගිය වසරේ පැවැති වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමක් මිලදී නොගැනීම හේතුවෙන් එම තරගාවලිය අහිමිවිය. එවර ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකවරයකු ලෙස කටයුතු කළේය. කඩුලුලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවන අමිත් මිෂ්රා තරග 136කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 146කි.

 

නව අදහස දක්වන්න