ක්ලිෆර්ඩ් කුසලාන රග්බි | දිනමිණ

ක්ලිෆර්ඩ් කුසලාන රග්බි

ෆවුස් මොහොමඩ්

ගුවන් හමුදාවට එරෙහි අවසන් සටනට හැව්ලොක්ස් එක් වෙයි

උත්සාහක දිනුම් 8කින් යුද හමුදා ක්‍රීඩකයන් මෙල්ල කළ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය. කොළඹ තුරඟ තරග පිටියේ පෙරේදා පස්වරුවේ පැවැති මේ තරගයේ දී හැව්ලොක්ස් පිල ලකුණු 60ක් රැස් කරද්දී යුද හමුදා පිලට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 29ක් පමණි. හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය හෙට (24) අවසන් මහා තරගයට තුරඟ තරග පිටියේදී එක්වන්නේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිවය.

තරගය පුරා යුද හමුදා ක්‍රීඩකයන් දැඩි පීඩනයකට හසු කළ හැව්ලොක්ස් පිලේ ක්‍රීඩකයෝ පළමු භාගය ලකුණු 31-3කින් නිමා කර ගත්හ. අනතුරුව දෙවැනි භාගය පුරාම ප්‍රතිවාදීන්ට හිසරදයක් ගෙන දෙමින් අත්කර ගත් මේ ජයග්‍රහණයට ගෝල් 7ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් ඇතුළත් විය. යුද හමුදා පිල රැස් කළේ ගෝල් 3ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් පමණි.

තරගය පුරා කැපී පෙනෙන ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ හැව්ලොක්ස් පිලේ රීසා මුබාරක් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ද, තවත් උත්සාහක දිනුම් 6ක් ගෝල බවට පත් කරමින් ද, දඬුවම් පහර 2ම සාර්ථකව එල්ල කරමින්ද සිය කණ්ඩායමට ලකුණු 23ක් ගෙනදීමට සමත්විය. මීට අමතරව චාමර දාබරේ උත්සාහක දිනුම් 2ක් තැබූ අතර ලසිඳු ඉෂාන්, දිනුක් අමරසිංහ, කවිඳු කේෂාන්, තීක්ෂණ දසනායක සහ සංදේශ් ජයවික්‍රම උත්සාහක දිනුම් එක බැගින් තැබූහ.

 

නව අදහස දක්වන්න