භාෂාව ලෝකයට බිහිවීමත් සමඟ සන්නිවේදනය පුළුල් වුණා: | දිනමිණ

භාෂාව ලෝකයට බිහිවීමත් සමඟ සන්නිවේදනය පුළුල් වුණා:

භාෂාව කියන්නේ රටක තිබෙන දැවැන්තම අනන්‍යතාවක් බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මිය පැවසුවාය. ඒ මහත්මිය මේ බව පැවසුවේ කොළඹ කෞතුකාගාරයේ දී පෙරේදා (21) පැවති සිංහල ශබ්දකෝෂ දිනය සැමරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. 1927 මාර්තු 21 වැනිදා ආරම්භ වූ සිංහල ශබ්දකෝෂයේ 92 වැනි අවුරුද්ද මෙදින සැමරීම සිදු විණි.

ඊට සමගාමීව සිංහල - සිංහල සංක්ෂිප්තිත ශබ්දකෝෂයේ සංශෝධිත ප්‍රථම කලාපය ජනගත කිරීම ද සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් ඇය මෙසේද කීවාය.

භාෂාව ලෝකයට බිහිවීමත් සමඟ සන්නිවේදනය පුළුල් වුණා. භාෂාව හසුරුවන ආකාරය සහ භාෂාව යොදාගන්නා ආකාරය නිසා අද විශාල ප්‍රශ්න ගණනාවක් ඇති වන අවස්ථාද තිබෙනවා. ඒ නිසා භාෂාව කියන දේ නිසි ආකාරව භාවිතා කළයුතු වෙනවා.

දෙදෙනෙක් අතර මිත්‍රත්වය , සහෝදරත්වය ගොඩනැඟෙන ආකාරයට භාෂාව යොදාගන්න අවශ්‍යයි.

සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කතෘ රෝහිණී පරණවිතාන මහත්මිය-

දැනට සිංහල ශබ්ද කෝෂ සම්පාදන සමිතිය මගින් ශබ්දකෝෂ ආකෘති 06ක් සම්පාදනය වීම සිදු වෙනවා. සිංහල විස්තරාර්ත , ඉංග්‍රිසි සිංහල , සිංහල සිංහල සංකෂිප්ත , සිංහල ඉංග්‍රිසි සංක්ෂිප්ත , සිංහල ඉංග්‍රිසි දෙමළ ත්‍රෛයිභාෂික , අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය ලෙස ක්‍රියාත්මක වෙනවා.

විද්‍යෝදය පිරිවේනාධිපති බලංගොඩ සෝභිත නායක හිමියෝද , කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති , විශ්‍රාමික අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ද , නිවාස හා ඉදිකිරීම් , සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස , හිටපු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහත්වරුද සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ සුභානි චතුරංග මෙනෙවිය , කොළඹ විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක , කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය ලලිතසිරි ගුණවර්ධන සහ ශබ්දකොෂ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

චන්දිමා කරුණාරත්න
ඡායාරූප - ගයාන් පුෂ්පික


නව අදහස දක්වන්න