තරගකාරී ආර්ථිකයක සමාජ සාධාරණත්වය තහවුරු කිරීම අපේ බලාපොරොත්තුවයි | දිනමිණ

තරගකාරී ආර්ථිකයක සමාජ සාධාරණත්වය තහවුරු කිරීම අපේ බලාපොරොත්තුවයි

තරගකාරී ආර්ථිකයක් ඇති කරන අතරම සමාජ සාධාරණත්වය ද තහවුරු කිරීම රජයේ බලාපොරොත්තුව බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ඒ හේතුවෙන් ණය ගෙවීම, රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමෙන් පසු මූලික අවධානය සමාජ සංවර්ධනය වෙනුවෙන් යොමු කළ බව ද අගමැතිවරයා සඳහන් කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (22) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පශ්චාත් උපාධිය, ශාස්ත්‍රවේදී උපාධිය හා ඩිප්ලෝමාධාරීන් ගේ උපාධි ප්‍රදානෝත්සවය හා ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදාන උළෙල අමතමිනි.

එහිදී සමාජ වැඩ ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව, සමාජ වැඩ උසස් ඩිප්ලෝමා පාඨමාලාව, සමාජ වැඩ ඩිප්ලෝමා පාඨමාලාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව, ප්‍රජා පාදක විශෝධනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හා ළමා රැකවරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ උපාධිධාරීන් 117ක් හා ඩිප්ලෝමාධාරීන් 337ක් උපාධි හා ඩිප්ලෝමා ලබා ගත්හ.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

මේ ආයතනය මම කුඩා කළ සිටම දන්නවා. මොකද අපේ ගෙදර තිබුණ පස්වැනි පටුමගේ තමයි මේ ආයතනය තිබුණේ. එදා අපි බයිසිකල් පදින කොට මේ ආයතනයේ අය බස් එක අල්ලගන්න තර්ස්ටන් පාරට යනවා. කාලයක්ම මේ සම්බන්ධකම තිබුණා. ඇත්තටම ඒ පාරේ ඒක ලෙහෙසි කටයුත්තක් නෙවෙයි. එක පැත්තකින් රාජකීය විද්‍යාලයේ ළමයි, තවත් පැත්තකින් මහානාම විද්‍යාලයේ ළමයි, තර්ස්ටන් ළමයි යනවා. ඒ අතරේ මේ පිරිසත් කොහොම හරි පණ ‍බේර ගෙන ඔතනින් පිට වුණා.

ඊට පසුව අපි ජේ. ආර් ජයවර්ධන කේන්ද්‍රය විවෘත කරද්දි පළමුවෙන්ම ඇවිල්ලා එක ගොඩනැගිල්ලක් බාර ගත්තෙ මේ ආයතනයෙන්. මේ ආයතනයේ ආදායමෙන් අපට යන්න පුළුවන් වුණා. දැන් කේන්ද්‍රයේ මුදල් සපයන එක පාර්ලිමේන්තුවට ලබා දෙනවා. ඒත් මේ කේන්ද්‍රයේ වැඩි කටයුතු මේ හැම දෙයින්ම දියුණු වී තිබෙනවා.

මොකද සමාජ සේවා කියන එක, එක අතකින් අපි ඒ කාලයේ සෞඛ්‍ය අංශයේ කොටසක් හැටියට අර ගත්තා. ළමයින් පිළිබද, කාන්තාවන් පිළිබඳ, අසරණයන් පිළිබඳ වශයෙන්. දැන් ළමයින් පිළිබඳ වෙනම අංශයක් තිබෙනවා. සමාජය දියුණු වෙන්න දියුණු වෙන්න සමාජයේ එක එක අංශයට ඇත්ත වශයෙන්ම සහයෝගය, උපදෙස්, සත්කාර අවශ්‍යයයි. කවුද එය ලබා දෙන්නේ? අපේ පැරණි ශ්‍රී ලංකාවේ ඒ පිළිබඳ වැඩසටහනක් තිබුණා. පවුල් ජාලය තුළ සියලුදෙනා එකට හිටියා. එකිනෙකා බලා ගත්තා. දැන් ඒ පවුල් ජාලය නෑ. එක්කෙනක් ඩුබායිවල. අනෙක් එක්කෙනා කොරියාවේ. දෙන්නෙක් ගමේ. එක්කෙනෙක් මධ්‍යම අධිවේගී මාර්ගය හදනවා. තව එක්කෙනෙක් කොළඹ ඉන්නවා. කවුද මේක බලා ගන්නේ? මේ ඉන්න හැම කෙනාටම මුලින්ම තියෙන්නේ තමන්ගේ දරුවන් බලා ගන්නයි. ටියුෂන් පන්ති, නැටුම් පන්ති යවන්න, තමන් ගේ කෑම ගැන බලන්න. වෙන එකක් තියා දැන් දවල් එළියෙන් කන්නෙ. හැන්දෑවටත් ටේක් අවේ ෆුඩ් අරගෙන තමයි ගෙදරට එන්නේ. ඉස්සර උසස් පෙළේ තිබුණ මේ තත්ත්වය දැන් හැම තැනටම පැතිරිලා. අලුත් ආර්ථිකයක්.

එසේ නම් මේ කණ්ඩායම පිළිබඳව අපේ අවධානය ‍වැඩි විය යුතුයි. ඒ සඳහා විශේෂඥ දැනුම අවශ්‍යයයි. ආණ්ඩුවක් ලෙස අපි විශාල මුදලක් ණය ගෙවීමට යෙදවිය යුතු වුණා. ඒ ණය ගෙවන්න බැරි තත්ත්වයකයි තිබුණේ. ඇත්තෙන්ම ණය ගෙවන්න ශක්තියක් තිබුණා නම් එදා 2014 ජනාධිපතිවරණය තියන්නේ නැහැ. මේ වසරේ ඩොලර් මිලියන 5900ක් ගෙවිය යුතුයි. අපේ ආදායමෙන් විශාල කොටසක් එතැනට ගියා. තව කොටසක් ගිහින් තියෙනවා රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්න. ඉතුරු මුදල්වලින් අපේ අවධානය යොමු කළේ සමාජ අංශයටයි. විශාල මුදලක් යෙදවුවා මේ අවුරුදු කිහිපයේදී දී අධ්‍යාපනයට. අධ්‍යාපනය වසර 13ක් අනිවාර්යය කිරීම, ළඟම පාසල හොඳම පාසල, වැඩිපුර පුහුණු ගුරුවරු, වැඩිපුර විද්‍යා පීඨ ඇති කිරීම, සුරක්ෂා, ටැබ් වැඩසටහන, උසස් අධ්‍යාපනයට අවශ්‍ය ශිෂ්‍ය නේවාසිකාගාර, අලුත් විද්‍යා හා ඉංජිනේරු පීඨ ලබා දීම ආදිය සඳහා. ඒ වගේම සෞඛ්‍ය අංශය සඳහා. ඕනෑම රෝහලක තිබෙන උපකරණ බලන්න. එදා කොළඹ විතරයි තිබුණෙ. මම යාපනයට ගිය විට දැක්ක උපකරණවලින් මම පුදුම වුණා. ඖෂධ මිල අඩු වී තිබෙනවා. ඒ අනුව අධ්‍යාපනයටයි, සෞඛ්‍යයටයි මුදල් දී තිබෙනවා. ඊට සම්බන්ධව ඒ වගේම ජලනල යෝජනා ක්‍රමවලට, නිවාස, ආදි මූලික අංශවලට මුදල් ලබා දී තිබෙනවා.

එක පැත්තකින් අපේ බලාපොරොත්තුව තරගකාරී ආර්ථිකයක් ඇති කිරීමයි. තරගකාරී ආර්ථිකයකින් අසාධාරණ සිදු වෙනවා. ඒ අසාධාරණය මකා ගන්න තමයි සමාජ සාධාරණයක් ඇතුව ක්‍රියාත්මක කරන්නේ. යුරෝපයේ කියන විදියට Highly competitive social market economy. සමහරු කියනවා නෙදර්ලන්තය, ස්වීඩනය ගැන බලන්න කියලා. කෙසේ හෝ එතැනට යන ගමනේ දී මේවාට අපි මුදල් දෙන නිසා හැම අංශයටම දෙන්න නොහැකි වුණා. මේවා දියුණු වෙන්න දියුණු වෙන්න දැන් තියෙන්නේ ඊළඟ අංශයට යන්න. එක එක ප්‍රශ්න අද රටේ ඇති වෙනවා. එදා හිතන්න බැරි වුණ ඒවා. හොඳම උදාහරණය තමයි විභාග‍ අසමත් වීමෙන් ඇති වන මානසික ප්‍රශ්න. මේ සියල්ලම දැන් කර ගෙන යන්න දැනුම තියෙන පුද්ගලයන් අවශ්‍යයයි.

මීළඟ වසර කිහිපයේදී මේ අංශ ගැනත් අවධානය යොමු වෙනවා. අපේ මුදල් සීමා සහිත වුණේ ඒ නිසා. ප්‍රමුඛත්වය දුන්නේ සමාජ අංශයට. කොහොමද යොදවන්නේ මොනවද කරන්නේ කියන එක බොහෝ දුරට හිතන්න වෙනවා. ඒ නිසා අපි බඳවා ගන්නා උපාධිධාරීන් ඉන්නවා. ඔවුන්ට මෙතනම ඒ පාඨමාලාව කරන්න අවස්ථාව ලබා දිය හැකියි මුදල් දීලා. එහෙම කරනවා නම් අප සිතිය යුතුයි ඒ සඳහා අවශ්‍ය ඉගැන්වීමේ අධ්‍යාපන ආයතන මොනවද කියන එක. මෙය ප්‍රථම හා ප්‍රධාන ආයතනය ලෙස ගත හැකියි. විශ්වවිද්‍යාල මට්ටමට රැගෙන එන්න, විශ්වවිද්‍යාලය කියන්නේ උපාධිය ලබා දෙන ආයතනයක් පමණක් නෙවෙයි, පශ්චාද් උපාධි නැතුව වැඩක් නැහැ.

සමාජය වෙනස් වෙනවා. අපේ සමාජය හිතන්නේ නැති විදියට වෙනස් වෙනවා. මීට අවුරුදු විස්සකට පෙර කවුද හිතුවෙ හැම එක්කෙනාම සාක්කුවෙ දා ගෙන ජංගම දුරකතනය බලනවා කියලා. ඒකෙන් හොඳයි නරකයි දෙකම වෙනවා. ඒ එක්කම විශ්වවිද්‍යාලවල, පාසල්වල උපදේශනය කරන්නේ කොහොම ද කියලා බලන්න අවශ්‍යයයි. තරුණයන්ට උපදේශනය දෙන්නේ කොහොමද? මම හිතන්නේ ජාතික වැඩසටහනක් සඳහා අපි කමිටුවක් පත් කර වැඩසටහන් කළ යුතුයි.

ආයතනයට සුබ ප්‍රාර්ථනා කරන අතරම මේ උපාධි ඩිප්ලෝමා ලැබූ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා යැයි පැවසීය.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අලී ෂහීර් මවුලානා, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් හා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පාලක සභාවේ සභාපති එච්. එම්. එන් ගාමිණී සෙනෙවිරත්න මහත්වරු ද ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් (ආවරණ) ෂාමිණී අත්තනායක මහත්මිය ද ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

ක්‍රිසන්ති විතාරණ
ඡායාරූප- හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න