බුද්ධිමත් විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ | දිනමිණ


 

බුද්ධිමත් විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රික අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමයකදී පස්වෙනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ දේශපාලන නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. උගත්, බුද්ධිමත් රාජ්‍යතාන්ත්‍රික බවින් විශිෂ්ටත්වයට පත් රනිල් වික්‍රමසිංහ මහතා රටේ අභිවෘද්ධිය, අධිකරණයේ ස්වාධීනත්වය, යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් දැක්මක් ඇති දූරදර්ශී නායකයකු වශයෙන් ශ්‍රී ලංකා දේශපාලනයේ ස්ථානගත කළ හැකිය.

මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා අපූර්ව සේවාවක් කළ ඩී. ආර්. විජයවර්ධන මහතාගේ දියණියක වූ නාලනී විජයවර්ධන මහත්මිය විවාහයට පත්වූයේ එම ක්ෂේත්‍රයේම දැවැන්තයකු වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සමඟය. හෙතෙම වියළි කලාපයේ ගොවි ජනපද ව්‍යාපාර සංකල්පය දියුණු කිරීමට පුරෝගාමී වූ සහ ලංකා සිවිල් සේවයේ ප්‍රථම සිංහල දිසාපතිවරයා වූ සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහ මහතාගේ පුත්‍රයකු වන්නේය. එස්මන්ඩ් නාලනී යුවළට දාව උපන් පවුලේ දෙවන දරුවා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය.

හෙතෙම කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන කටයුතු හදාරා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිධාරියෙකු වශයෙන් උසස් අධ්‍යාපන කටයුතු අවසන් කළේය. 1972 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු ලෙස වෘත්තීමය ජීවිතය ආරම්භ කළ වික්‍රමසිංහ මහතා විශ්වවිද්‍යාල ජීවිතය තුළ ශිෂ්‍ය ක්‍රියාකාරී දේශපාලන කටයුතු ආරම්භ කළේය. එහිදී නීති ශිෂ්‍ය සංගමයේ සභාපති, විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ උප සභාපති ලෙස කටයුතු කරමින් ශක්තිමත් ප්‍රවේශයක් ගොඩනඟා ගැනීමට සමත් විය.

කැලණිය රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කොට ජනතාවට වැඳපුදා ගැනීමේ අවස්ථාව උදාකරමින් බෞද්ධ පුනරුදයේ පුරෝගාමීත්වය දැරුවේ මව් පාර්ශ්වයේ හෙලේනා විජයවර්ධන මහත්මිය විසිනි. මේ ඓතිහාසික පසුබිම එතුමාට කුඩා කාලයේ සිටම කැලණිය රජමහා විහාරස්ථානය ඇතුළු හුණුපිටිය ගංගාරාමය, බම්බලපිටිය වජිරාරාමය යන බෞද්ධ විහාරස්ථාන සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වා ගනිමින් බුදුදහමේ ආභාසය තම ජීවිතය සකස් කරගැනීම සඳහා යොදා ගත්තේය.

කෙටි කාලයක් නීතිඥයෙකු ලෙස කටයුතු කරමින් ක්‍රියාකාරී දේශපාලනය ආරම්භ කළ හෙතෙම පළමුව කැලණිය ද පසුව බියගම මැතිවරණ කොට්ඨාස එජාප සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් දීර්ඝ දේශපාලන චාරිකාවේ ආරම්භය සනිටුහන් කරන ලදී.

1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතයේ සංධිස්ථානය විය. ශ්‍රී ලංකා දේශපාලනයේ අවසාන වරට පැවැත්වූ මැතිවරණ කොට්ඨාස කේන්ද්‍රකොටගත් පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා බියගම ආසනය සඳහා එජාප අපේක්ෂකයා ලෙස තරගකොට වැඩි ඡන්ද 7000කට ආසන්න ප්‍රමාණයක් ලබා 57.50% ප්‍රතිශතයක් රඳවා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත්කර ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව උදාකර ගත්තේය.

පාර්ලිමේන්තුවේ හයෙන් පහක ජනතා පරමාධිපත්‍ය දිනාගනිමින් මහජන විශ්වාසය තහවුරු කරගත් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසද පසුව තරුණ කටයුතු හා රැකීරක්ෂා පිළිබඳ කැබිනට් ඇමැතිවරයා ලෙස පත්වන විට හෙතෙම වයස අවුරුදු විසි අටක පමණ තරුණයෙක් විය.

තරුණ කටයුතු, අධ්‍යාපන, කර්මාන්ත ආදී ක්ෂේත්‍ර පිළිබඳ අත්දැකීම් ලබාගෙන පාර්ලිමේන්තුවේ ඇමැතිවරයකු ලෙස පත්වීමෙන් තම දේශපාලන භූමිකාව ඔපවත් කරගැනීමට සමත් විය.

තරුණ තරුණියන්ගේ කුසලතා දියුණු කිරීමට පදනම සකසමින් සහජ හැකියාවන් වර්ධනය කරගැනීමට මුල්තැන දෙමින් එය සිය වෘත්තීමය ජීවිතය බවට පත්කරගැනීමට ආයතනික ව්‍යුහයක් ගොඩනැඟීමට හෙතෙම නායකත්වය ලබාදුන්නේය. එය වූ කලී ජාතික තරුණ සභාවේ ආරම්භයයි. පාසල් ජීවිතය අවසන් කළ තරුණ තරුණියන්ට මෙය බෙහෙවින් උපකාර වූ අතර වෘත්තීය දැනුම හා කුසලතාවලින් පරිපූර්ණ පරපුරක් සමාජයට දායාද කිරීමට මේ සංකල්පය සමත් විය.

'යොවුන් පුරය' සංකල්පය හඳුන්වාදීමට තම දැක්ම මෙහෙය වූ රනිල් වික්‍රමසිංහ මහතා උතුර, නැඟෙනහිර ඇතුළු සමස්ත ශ්‍රී ලංකාවාසී තරුණ තරුණියන් එකිනෙකා හමුවීමට අවස්ථාව උදාකර ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම ඔස්සේ මිත්‍රත්වය හා ජාතික එකමුතුකම ගොඩනැඟීමට කටයුතු මෙහෙයවන ලදී.

නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල භුක්තිවිඳිමින් ජාතික විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපන වරම් දිනාගත් රනිල් වික්‍රමසිංහ මහතා ජාතික විශ්වවිද්‍යාලයක උපාධිය ලබාගත් ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වීමේ වරමද දිනාගත්තේය.

එය නිදහස් අධ්‍යාපනය තවදුරටත් මෙරට ආරක්ෂා කිරීමේ දැක්ම ශක්තිමත් කිරීමට හේතුවිය. 1980 දී අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පත්වී දේශපාලන අධිකාරියේ එතෙක් පැවති පක්ෂග්‍රාහී අසාධාරණ ක්‍රමවේද ඉවත් කොට සුදුසුකම් හා දක්ෂතාවට මූලිකත්වය ලබාදී ගුරුවරුන් බඳවා ගැනීමට කටයුතු කිරීමේ ගෞරවය හිමිවන්නේ වික්‍රමසිංහ මහතාටය.

පාසල් කළමනාකරණය සඳහා විදුහල්පතිවරු පුහුණු කිරීම, ගුරුවරු පුහුණු කිරීම සඳහා අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කිරීම, ග්‍රාමීය පළාත්වල දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ඉගෙනගැනීම සහ ඉගැන්වීම සඳහා වූ මධ්‍යස්ථාන ඇති කිරීම එතුමා අතින් සිදුවූ වැදගත් සංකල්ප ලෙස සැලකිය හැකිය. තවද පාසල් හැරයන දරුවන්ට වෘත්තීය පුහුණු කටයුතු කරගෙන යාම සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය වැඩිදියුණු කිරීම, අධ්‍යාපන පරිපාලන සේවය ඇති කිරීම ආදී කටයුතු වික්‍රමසිංහ මහතා විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති කළ විප්ලවීය වෙනස්කම් ලෙස සැලකිය හැකිය.

තොරතුරු තාක්ෂණය භාවිතයේ වැදගත්කම කල්තියා අවබෝධ කරගත් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවාසී ජනතාවට ලෝක දැනුම අත්පත් කරගැනීමේ හැකියාවන් දියුණු කර ගැනීමට යෝග්‍ය වන පරිදි අධ්‍යාපන වැඩසටහන් සංවිධානය කිරීමට කටයුතු කරන ලදී. ශ්‍රී ලංකා අධ්‍යාපන ක්ෂේත්‍රය මගින් දැනුම මත පදනම් වූ සමාජයක් (Knowledge Society) ගොඩනැගීමට දායකත්වය සැපයෙන අයුරින් ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීමට කටයුතු කිරීම රනිල් වික්‍රමසිංහ මහතා විසින් අධ්‍යාපනය සඳහා සිදු කළ වැදගත් ආයෝජනයක් ලෙස සැලකිය හැකිය.

අධ්‍යාපනය මගින් බුද්ධිමත් පරපුරක් බිහිකොට ඔවුන්ව රටේ සංවර්ධනයට යොදාගැනීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම ඇතුළු රැකියා දසලක්ෂයක් බිහිකිරීම මගින් ශ්‍රී ලංකා සමාජ ආර්ථික වශයෙන් දියුණු කිරීමට අදාළ සැලසුම් එ.ජා.ප. පංච විධ ප්‍රතිපත්ති සමුදායට ඇතුළත් කර වික්‍රමසිංහ මහතා ක්‍රියාවට නැංවීම ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතය කේන්ද්‍ර වී ඇත්තේ අත්දැකීම් සමුදායක් තම ජීවිතයට එකතුකරගත් පරිණත දේශපාලනඥයකු වශයෙනි. 1988 එජාපය පිහිටවූ ආණ්ඩුවේදී කර්මාන්ත ක්ෂේත්‍රය නඟාසිටුවීමට නායකත්වය ලබාදුන් හෙතෙම බියගම විශේෂ ආර්ථික කලාපය වැඩිදියුණු කිරීම ‍මඟින් මෙරට නිෂ්පාදනය වන ඇඟලුම් විදේශ වෙළෙඳපොළට අපනයනය කිරීමෙන් රටට අවශ්‍ය ආර්ථික සංවර්ධන උපාය මාර්ග හඳුනාගත්තේය.

එය වූ කලී නව ලිබරල් ආර්ථික රටාවේ වෙළෙඳ කටයුතුවලට ලාභදායක තත්ත්වය හමුවේ කුමන භාණ්ඩ ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා සූදානම් කළ යුතුද යන්න පිළිබඳව කල්තියාම අවබෝධ කරගැනීමට දැක්වූ දක්ෂතාව ප්‍රකට කරවන්නකි.

මේ නිසා එජාප ආණ්ඩුවට ඇඟලුම් කර්මාන්ත 200 වැඩසටහන ග්‍රාමීය ප්‍රදේශවලට ගෙනයමින් රැකීරක්ෂා විශාල ප්‍රමාණයක් උත්පාදනය කොට ගැමිජන ජීවිතය නඟාසිටුවීමට හැකිවිය. නිෂ්පාදනය සහ ඉදිකිරීම් කටයුතු මඟින් රට දියුණු කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කොට ඊට සරිලන සේ තොරතුරු තාක්ෂණය දියුණු කිරීම මඟින් අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් සිදු කළ යුතු බව වික්‍රමසිංහ මහතාගේ දැක්ම වේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ජීවිතයේ විශේෂ සංධිස්ථානයක් වූයේ එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විරුද්ධව දෝෂාභියෝගය කරලියට පැමිණි මොහොතේදී එක්සත් ජාතික පක්ෂය, ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ආරක්ෂා කිරීමට පරිණත නායකයකු ලෙස වගකීමෙන් ඉටු කළ මෙහෙයයි. මේ තත්ත්වය හේතුකොටගෙන අභ්‍යන්තර කැරලි මැඩ පවත්වා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට පක්ෂය එක්සත් කිරීමට පදනම සකස් විණි.

1993 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය.

1994 පාර්ලි‍මේන්තු මහා මැතිවරණයේ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 95ක්ද පොදුජන එක්සත් පෙරමුණු මන්ත්‍රී ආසන 105ක්ද ලබාගත්හ. එය වූ කලී ස්ථාවර ආණ්ඩුවකට අවශ්‍ය වූ ඉදිරි පියවරක් නොවීය. මන්ත්‍රීවරු බිලිබා විකෘති ආණ්ඩු පිහිටුවීමේ ව්‍යාජ දේශපාලනය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කළේය. හෙතෙම ජනසම්මතවාදයට ගරුකරමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීම හා නව පක්ෂයට ආණ්ඩුව පිහිටුවීමට කළ ආරාධනය ජනතා පැසසුමට ලක්විය.

1994 දී රනිල් වික්‍රමසිංහ මහතා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරියකු වූ (එවක කථිකාචාර්ය) මෛත්‍රී වික්‍රමසිංහ මෙනෙවිය සමඟ විවාහ ජීවිතයට ඇතුළත් විය.

1994 දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් පසුව එතෙක් භේදභින්නව සිටි පාක්ෂිකයන් එකමුතු කොට පක්ෂය නඟාසිටුවා නව ජවයක් ලබාදීමට කටයුතු කළේය. 2001 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මහා මැතිවරණය මෙහෙයවීම මඟින් එක්සත් ජාතික පක්ෂය නව හැරවුම් ලක්ෂයකට යොමුකරමින් ආණ්ඩුවක් පිහිටුවීමට නායකත්වය ලබාදුන්හ. එහිදී එජාපය මන්ත්‍රී ආසන 109ක් දිනා පාර්ලි‍මේන්තු බහුතරය ලබාගත්හ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පරිණත බව සමාජ ආර්ථික ක්ෂේත්‍රය දියුණු කිරීමට ඔහු සතු වූ දැක්ම හේතු කොටගෙන 2001 වර්ෂයේදී මහජනතාව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මේ ජනතා වරම ලබා දුන්හ. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙරට දේශපාලනයේ දෙවන වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් විය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව හොරකම, දූෂණය ආදී සමාජයට අහිතකර බොහෝ දේවල් නවතා දැමීමට කටයුතු කළේය. තෝරාපත් වූ අමාත්‍යවරුනට පවා මන්ත්‍රී වැටුප ගැනීමට නියෝග කිරීම මගින් සියලු සහන පොදු ජනතාවට ලබාදීමට සැලසුම් සකස් කරන ලදී.

2002දී 1.5ක් ලෙස පැවැති දළ දේශීය නිෂ්පාදිත ආර්ථිකය මාස කිහිපයක් ඇතුළත 4.0%ක් ද ඊට පසුව එය 5.9% දක්වා වූ වර්ධන අගයක් අත්පත්කර ‍දෙමින් ඉදිරි වර්ෂවලදී ජනතා සහන ලබාදීමට සැලසුම් කළේය. මෙය වූ කලී රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම යථාර්ථවාදී තලයකට පත්වූ අවස්ථාවකි. විශේෂයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයේ නව ලිබරල් හා වෙළෙඳපොළ ක්‍රම ශක්තිමත් කිරීමට පියවර ගැනීම නිසා මූල්‍ය ක්ෂේත්‍රය තුළ විශ්වාසය ගොඩනැඟීම වර්ධනය වීමට හේතු විය. ඒ මඟින් ජාත්‍යන්තර වෙළෙඳාම ස්ථාවර මට්ටමකට ගෙනඒමට කටයුතු කිරීම කැපී පෙනේ.

එල්ටීටීඊ සංවිධානය එතෙක් පවත්වාගෙන ගිය යුද කටයුතු වෙනුවට සාම සටන් විරාම ගිවිසුමක් මගින් සාම ක්‍රියාවලියක් ඔස්සේ ප්‍රශ්න විසඳාගැනීම සඳහා ලෝකයේ ස්ථාන 6ක සාම සාකච්ඡා වට කිහිපයක් ආරම්භ කරන ලදී. එහිදී 2002 සැප්තැම්බර්, නොවැම්බර් වල බැංකොක්වල සාකච්ඡා වට දෙකක්ද, 2002 දෙසැම්බර් මාසයේ ඔස්ලෝ නගරයේද, 2003 ජනවාරි බැංකොක්, 2003 පෙබරවාරි බර්ලින්, ටෝකියෝ නගරවල මේ සාකච්ඡා පවත්වන ලදී. එහිදී එල්ටීටීඊ පාර්ශ්වය නියෝජනය කළ සාමාජිකයන් අතර මිලටරි නායක කරුණා අම්මාන්, එස්.පී. තමිල් චෙල්වම් සහ ඇන්ටන් බාලසිංහම් ආදී පිරිස ඊට සහභාගි වූහ.

මෙහි ප්‍රධාන අරමුණ වූයේ යුද්ධය මඟින් ඇතිවන මිනිස් ඝාතන නතර කොට ජාතික ගැටලුව විසඳීම සඳහා ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීමට මුලපිරීමයි. මෙහි ප්‍රතිඵලය වූයේ අවුරුදු 18කට පසුව A9 මාර්ගය කිලිනොච්චිය දක්වා විවෘත කිරීම මගින් උතුරු දකුණු සබඳතාව ශක්තිමත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීමයි.

සටන් විරාම ගිවිසුම නිසා එතෙක් පැවති මාර්ග බාධක ඉවත් කරන ලදී. එම නිසා එතෙක් බිඳවැටී තිබූ සංචාරක කර්මාන්තය ඉතා වේගයෙන් සංවර්ධනයකට ළඟාවිය. 2002 වර්ෂයේදී එජාප ආණ්ඩුව විසින් ඇති කළ සටන්විරාම ගිවිසු‍මේ සාධනීය ප්‍රතිඵල මගින් නැ‍ඟෙනහිර පළාතේ එල්ටීටීඊ සංවිධානයේ කරුණා අම්මාන් කණ්ඩායම මූලෝපායික වශයෙන් දුර්වල කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකිවිය.

ඔස්ලෝ සම්මුතිය හරහා එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීමට ජාත්‍යන්තර සහාය ලබාගැනීමේ උපායශීලීත්වය රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළේය. මේ කාලයේදී ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර රටවල් සමඟ පැවති සබඳතා, ද්විපාර්ශ්වික සබඳතා හා පොදුරාජ්‍ය මණ්ඩලීය සබඳතා ශක්තිමත් කිරීමට නායකත්වය ලබාදීම මගින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නංවාගැනීමට කටයුතු කිරීමෙන් එල්ටීටීඊ සංවිධානයට එරෙහිව ප්‍රබල මතයක් ගොඩනැඟීමට හැකිවිය.

ඉන්දීය භූ දේශපාලනයේ කාර්යය මැනවින් අවබෝධ කරගත් රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍යතාන්ත්‍රිකයෙකු වශයෙන් දෙරට අතර සමීප සබඳතා ශක්තිමත් කොට එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීමට සැලසුම් සකස් කළේය. එල්ටීටීඊ සංවිධානය පරාජය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් සැකසූ ජාතන්තර සබඳතා පිළිබඳ මූලෝපායික ජාලය නිසා උගුලකට හසුවූ බවට වූ සැකය ඉදිරියට දමමින් අවිශ්වාසයෙන් කටයුතු කිරීමට එල්ටීටීඊ සංවිධානය පෙළඹෙන ලදී.

එහිදී කොටි ගුවන්විදුලිය ඔස්සේ පණිවුඩයක් නිකුත් කළ එම්. බාලකුමාර් පවසා සිටියේ රනිල් එල්ටීටීඊ සංවිධානයට වඩා වැඩි බලපෑම් කළ හැකි පුද්ගලයකු ලෙස විශ්වාස කරන බවය.

එහෙත් ශ්‍රී ලාංකික දේශපාලනයේ ප්‍රථම වතාවට ජනාධිපති ආණ්ඩුක්‍රමය පොදුජන එක්සත් පෙරමුණට ද පාර්ලි‍මේන්තු ආණ්ඩුව එජාපය සතුව ද දක්නට ලැබුණි. මෙහි ප්‍රතිඵලය වූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යාංශ තුනක් එවක ජනාධිපතිනිය විසින් පවරාගැනීමට කටයුතු කිරීමයි.

මේ මැදිහත්වීම හේතුකොටගෙන ජනතා පරමාධිපත්‍ය ලැබූ ආණ්ඩුව 2004 වර්ෂයේදී ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි අයුරින් බිඳවැටීමට ලක්කරන ලදී.

එල්ටීටීඊ සංවිධානය විසින් ගනු ලැබූ මේ ක්‍රියාමාර්ගය සහ ජනතා පරමාධිපත්‍ය තිබූ එජාප ආණ්ඩුව බිඳවැටීමට සැලැස්වීම නිසා ඉවසීම, දූරදර්ශී බව, උතුර දකුණ සංහිඳියාව මගින් ජාතික සමඟිය ශක්තිමත් කිරීම අවධාරණය කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ 2005 ජනාධිපති මැතිවරණ ප්‍රතිඵලය සඳහා තීරණාත්මක සාධකයක් විය.

මෙහි ප්‍රතිඵලය විශේෂයෙන් වූයේ රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබාදීමට සිටි උතුරු නැඟෙනහිර ජනතාවට ඡන්දය නොදෙන ලෙස ජීවිත තර්ජනය කොට බලහත්කාරයෙන් ඡන්ද පොළට සීමා බන්ධන දැමීමයි. මෙය වූ කලී රනිල් වික්‍රමසිංහ මහතාට තිබූ මහජන කැමැත්ත වැළැක්වීමට කටයුතු කිරීමකි.

1999 පැවති ජනාධිපති මැතිවරණයේදී ද රනිල් වික්‍රමසිංහ මහතාට මෙවැනිම අවාසනාවන්ත සිදුවීමකට මුහුණදීමට සිදු විය.

ශ්‍රී ලංකා දේශපාලනයේ නොකැළැල් නායකයෙකු ලෙස ජනතාව පිළිගන්නා රනිල් 'කරන දේ කියන කියන දේ කරන' නායකයෙකු ලෙස විශ්වාසය දිනාගෙන ඇත. වර්තමාන දේශපාලන සංස්කෘතිය තුළ සාරධර්ම කඩාවැටීම හා ශ්‍රී ලාංකික සමාජ වටිනාකම් නැවත ගොඩනැඟීම රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වී ඇත. රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇති දේශපාලනය හා ධර්මය (2005), අනාගත අභියෝග (2010) සහ කලියුගය (2014) යන ග්‍රන්ථ මගින් ශ්‍රී ලංකා දේශපාලනය බෞද්ධ දර්ශනය ඇසුරෙන් ගැඹුරින් විශ්ලේෂණය කර දැක්වීමෙන් ශාස්ත්‍රීය විදග්ධ බව පෙන්වා ඇත.

ජාතික කොඩිය සංකේතවත් කරමින් සියලු ජාතීන්ගේ අනන්‍යතාව ගොඩනැඟීමේදී ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් යන හැඟීම ඇතිකිරීමේ අවශ්‍යතාව මඟින් ජාතික සහ ආගමික සංහිඳියාව ගොඩනැඟීමට පිළිගත හැකි දේශපාලන පසුබිමක් නිර්මාණය කිරීම රනිල් වික්‍රමසිංහ මහතාගේ දර්ශනය වන්නේය.

2014 දී ලෝකයේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක් වූ අමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට් තාක්ෂණික ආයතනය විසින් පිරිනමන ලද රොබට් ඊ විල්හෙල්ම් අධි ශිෂ්‍යත්වය දිනාගෙන ලෝකයේ වර්තමාන දේශපාලන රාමුව පිළිබව ශාස්ත්‍රීය අධ්‍යයනයක යෙදුණහ.

2015 දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් නායකත්වය ලබාදුන්නේය. අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා දින 100 ආණ්ඩුව කාලයේදී තෙවන වරටත් මහා මැතිවරණයෙන් පසුව සිවුවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත් විය. එහිදී ආර්ථික කටයුතු, ප්‍රතිපත්ති සම්පාදනය , සංස්කෘතික කටයුතු හා ළමා යන ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානය ‍‍යොමුකර ඇත.

ශ්‍රී ලංකා සමාජය නැවත ගොඩනැඟීම සඳහා යහපාලනය ඇතිකොට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, මූලික කොමිෂන් සභා පිහිටුවීම, ජනාධිපති විධායක බලතල අඩුකොට ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීම සහ අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකිරීම සහ සමාජ වෙළෙඳපොළ ක්‍රමය මගින් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම එතුමාගේ දැක්ම වේ.

ජාතිවාදය බලය ලබාගැනීමට ඇතැම් දේශපාලන පක්ෂවලට කෙටි උපාය මාර්ග වූවත් රනිල් වික්‍රමසිංහ දිගු කාලීන අති දුෂ්කර ජාතික සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටියේය. ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැඟීමේ තම දිගුකාලීන අභිප්‍රාය 2015 මහමැතිවරණයේදී ජයග්‍රහණය කරන ලදී.

2018 ඔක් 26 දින රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරෙන් ඉවත් කරන ලදී. රටේ ජනතාව එම ක්‍රියාවට විරෝධය දැක්වූහ. මේ මැදිහත්වීම 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව අධිකරණය තීන්දු කරන ලදී. දෙසැම්බර් 17 දින රනිල් පස්වෙනි වරටත් ශ්‍රී ලංකා ජනරජයේ අගමැති ලෙස දිවුරුම් දුන්හ.

ලෝක දේශපාලනයේ පරිණත නායකයකු වන රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇතැම් අන්තවාදී පිරිස් විසින් අපහාස උපහාස අවලාද එල්ල කරනු ලැබුවත් ඒවා උ‍පේක්ෂා සහගතව විඳදරා ගැනීමේ ශක්තිය රනිල් වික්‍රමසිංහ මහතාට ඇත්තේ බෞද්ධ දර්ශනයේ අවිහිංසාවාදය මත තම ප්‍රතිපත්ති සකස් කරගෙන ඇති නිසාය.

බුදුරජාණන් වහන්සේ විසින් බෞද්ධ දර්ශනය අනුදැන වදාළ වෛරයෙන් අවෛරය ද, අධර්මයෙන් ධර්මය ද, තණ්හාවෙන් ධ්‍යානය ද, අසත්‍යයෙන් සත්‍යයද, ජයගැනීමට වෙරදරන උත්තුංග බෞද්ධ දර්ශනය එතුමාගේ දේශපාලන ප්‍රතිපත්ති සමුදාය සකස්වීමට ප්‍රධාන වී ඇත. බුදුරජාණන් වහන්සේ විසින් ලිච්ඡවී රජ දරුවන්ට දේශනා කළ සප්ත අපරිහානි ධර්මය ශ්‍රී ලංකා දේශපාලනය සකස්වීමේ ක්‍රියාවලියට අවශ්‍ය බව එතුමාගේ පරම විශ්වාසය වේ.

ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී පටු මානවවාදී බෙදීම් ප්‍රතික්‍ෂේප කරමින් ජාතික සහ ආගමික සංහිඳියාව වෙනුවෙන් පෙනීසිටීමේ නොසැලෙන ප්‍රතිපත්ති සමුදාය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජීවිතයේ කැපී පෙනෙන ශ්‍රේෂ්ඨ ලක්ෂණය ‍වේ. මෙය මිනිස්කමේ වටිනාකම ජනසමාජයේ ස්ථාවර කිරීමට වෙරදරන උතුම් ප්‍රතිපත්තියකි.

පරම ඉවසීම, අධිෂ්ඨානශීලී බව, පොදු සම්මුතිය, දෘෂ්ඨිවාදය රනිල් වික්‍රමසිංහ මහතාගේ දශක පහකට ආසන්න පරිණත නායකත්වයට කේන්ද්‍ර වී ඇත.

මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන

නව අදහස දක්වන්න