දේශපාලන කරලියේ නොසැලෙන නායකත්වය රනිල් | දිනමිණ

දේශපාලන කරලියේ නොසැලෙන නායකත්වය රනිල්

බොහෝ මිනිසුන්ට තිබෙන්නේ සිය ජීවිත කාල පරාසය පිළිබඳව දැක්මක් පමණි. කලාතුරකින් මිනිසෙකු මතු පරම්පරාවන් පිළිබඳව දැක්මක් සහ සිහිනයක් ඇතිව බිහිවෙයි. ඔවුහූ සෙස්සන්ට වඩා බොහෝ ඉදිරිගාමීව ලෝකය දකී. එවැන්නෙකු දේශපාලනය තෝරාගත් විට වාසනව රටටය.

ශ්‍රී ලාංකේය දේශපාලන කරලියේ ලෝක මට්ටමෙහි ලා ගිනිය හැකි අතලොස්සක් වූ චරිත බිහි වී තිබේ. දසැඟිලිවලටත් අඩුවෙන් බිහි වූ එවන් සුවිශේෂ දේශපාලනඥයන් අතර ඔහුටද සාඩම්බර අසුනක් හිමිව තිබේ.

හේ රනිල් වික්‍රමසිංහ නම් වෙයි.

නූතනවාදී සහ අනාගතවාදී දේශපාලනඥයන් රටකට වෙත්නම් එය දුර්ලභ අවස්ථාවකි. අතීත කාමයෙන් ඔද්දල් නොවී නවීන ලෝකයක් පිළිබඳව චින්තනයක් වන නායකයෙක් වෙත්නම් ඔහු දූපත් කොදෙව්වෙන් ඔබ්බට හිතන්නෙකි.

රනිල් වික්‍රමසිංහ යනු එවැන්නෙකි.

නූතන ලාංකේය ඉතිහාස පොතේ රනිල් වික්‍රමසිංහ යනු මෙරට බිහිකළ නවීනතම දේශපාලනඥයන් අතර මුල් පුරුකකි.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිප් සතර හදාළ ඔහු වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ කොළඹ සරසවියෙනි . උපාධියෙන් පසුව නීති විද්‍යාලයෙන් විහාග සම්පූර්ණ කළ ඔහු 1972 වර්ෂයේ නීතීඥයෙකු ලෙස ඔහු වෘත්තිය පටන් ගත්තේය.

එහෙත් කිසි කලකවත් හෙතෙම එකී ප්‍රමාණික බව ගැන පුරසාරම් නොදොඩන්නෙකි . ප්‍රබුද්ධ දැනුම ස්වකීය පරිණත බව වෙනුවෙන් මිස උදාරම් ලීලාවෙන් ඔද වැඩෙන්නට හෙතෙම කිසිවිටෙක භාවිතා නෙකළේය.

සමඟි පෙරමුණු ආණ්ඩුවේ බලවත්ම කාලය වූ 1970 දී කැලණිය ආසනයේ ප්‍රධාන සංවිධායක වශයෙන් පත්ව, 1977 දී පැවති මහමැතිවරණය ජය ගනිමින් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීය.

ඒ වූකලී එක්සත් ජාතික පක්ෂය එදා මෙදාතුර ලද සද්දන්තම ජයග්‍රහණයයි.

77 ආණ්ඩුවේ ප්‍රධානියාව සිටි ජේ.ආර් ජයවර්ධන මහතා රටේ මෙන්ම කැබිනට්ටුවේද විප්ලවීය වෙනස්කම් රැසක් සිදු කළේය. ජේ. ආර්. කළ ආර්ථික විප්ලවය සහ නව ආර්ථික මොඩලය විප්ලවය ඊට වසර ගණනාවකට පසු ආදර්ශයට ගත් ඩෙන්ෂියාවෝ පෙන් චීනයට විවෘත ආර්ථිකය ගෙනාවේය .ඊටත් පසු මන්මෝහන් සිං ඉන්දියාවට එය රැගෙන ආවේය . ඉදිරි දැක්මක් සහ පළල් චින්තනයකින් යුක්තව ජේ.ආර්. නව ඇමැති තනතුරු කිහිපයක් ඇති කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස එවර පාර්ලිමේන්තුවේ ළාබාලතම මන්ත්‍රීවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට විදේශ කටයුතු පිළිබඳව නියෝජ්‍ය ඇමැති ධූරය ඔහුට බාරවිනි.

තමන් වෙත ලද වගකීම මනාව හසුරුවාගත් හෙතෙම ආයෝජන කලාපවලට විදේශ අායෝජකයන් ගෙන්වා ගැනීම හා නව තාක්ෂණය මෙරටට හඳුන්වාදීමට පුරෝගාමී විය.

ඉන් අනතුරුව ඔහුට වගකීම් සහගතම අමාත්‍යාංශයක් භාර විය. ඒ තරුණ කටයුතු සහ රැකී රක්ෂා අමාත්‍යාංශයයි. ඒ වූකලී ආන්දෝලනාත්මක වගකීමක් විය. 70 තරුණ කැරැල්ලෙන් තටු සිඳුණු තරුණ ප්‍රජාව මංමුලා වී සිටි වකවානුවකි. තරුණයන් දෙස වැඩිහිටියෝ නුරුස්නාවෙන් බැලූ යුගයකි . තරුණ සිහිනවලට වැට බැඳි යුගයකි. ඔහු ඒ සියල්ල කනපිට හැරවීය.

ජාතික තරුණ සේවා සභාව නිර්මාණය කළ ඔහු රටේ උපනූපන් තරුණ පරම්පරාවට නිර්මාණශීලී තෝතැන්නක් හඳුන්වා දුන්නේය .සතරදිග්භාගයේ විසුරුණු හා ජයදද නැංවූ සියදහසක් තරුණ ප්‍රජාව එතුළින් බිහි විය . බෙල්වුඩ් කලා නිකේතනය බිහි කරමින් කලාකරුවන්ට අපූරු තිඹිරිගෙයක් හෙතෙම නිර්මාණය කළේය. යොවුන් පුර වැනි සංකල්ප හරහා දීප්තිමත් තාරුණ්‍යයක් වෙත ඔහු මාවත සැකසීය.

අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පත්ව තුන්කල් දකිනා නිර්මාණශීලී වැඩ කොටසක් ඔහු විසින් ඉටු කළේය. විශේෂයෙන්ම ගුරු පුහුණුව සඳහා විද්‍යාපීඨ සහ ජාතික අධ්‍යාපන ආයතන පිහිටුවීම, රටපුරා පාසල් පිහිටුවීම, නොමිලේ පෙළපොත් බෙදාදීම පුළුල් කිරීම ආදිය ඉන් අතලොස්සකි .

කර්මාන්ත ඇමැතිවරයා ලෙස පත්වන රනිල් වික්‍රමසිංහ මහතා , ශ්‍රී ලාංකීය කර්මාන්ත නගාසිටුවීම උදෙසා අද්විතීය සේවයක් සිදු කළේය. දැවැන්ත ආයෝජන කලාප බිහි කිරීම උදෙසා ඔහු මුල් වූ අතර බියගම විශේෂ කර්මාන්ත පුරය ඔහුගේ උත්සාහයක ප්‍රතිඵලයකි. විදේශීය ආයෝජකයන්ට අවස්ථා විවර කරමින්ද මෙරට ව්‍යවසායකයන් ශක්තිමත් කරමින්ද ඔහු කර්මාන්ත විප්ලවයක් කළේය .

කර්මාන්ත විද්‍යා හා තාක්ෂණ ඇමැති ලෙස 1991දී ප්‍රදර්ශනය හරහා තොරතුරු තාක්ෂණය ලක්දිව ප්‍රචලිත කිරීමට ඔහු පියවර ගත්තේය. එමතු නොව ජංගම දුරකතනය මෙරටට ප්‍රචලිත කිරීමේ නියමුවා ඔහුය. රටට තොරතුරු තාක්ෂණය හඳුන්වා දෙන විට ඔහුට උපහාස කළ විපක්ෂය ඇසුවේ 'තොරතුරු තාක්ෂණය කන්නද ?කියාය.

දහසක් නොව දස දහසක් විවේචන ස්වකීය මාවතේ මල් පාවඩයක් බවට පත් කරගන්නා නායකයෙකි ඔහු. අන්තර්ජාලය ලොවට හඳුන්වාදී වසරක් ඇතුළත මොරටුව සරසවියත් සමඟ එකතුව මෙරටට අන්තර්ජාලය හඳුන්වා දෙන ලද්දේ ඔහුය. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අන්තර්ජාල පහසුකම් ඇති පළමු රට බවටත් ආසියාවේ අන්තර්ජාලයට එක්වූ ප්‍රමුඛ රටක් බවටත් පත් කරන්නට ඔහුට දැක්මක් තිබිණි. එපමණක් නොව එවක ඔහු සභානායකද විය. වරක් රණසිංහ ප්‍රේමදාස ජනපතිට එරෙහිව පක්ෂයෙන්ම දේෂාභියෝගයක් පැමිණි විට රනිල් වික්‍රමසිංහ වඩාත් පරිණතව කටයුතු කළේය.

ප්‍රේමදාස ජනපතිවරයාගේ ඝාතනය සිදු වූ අවස්ථාවේදී අරාජික වන්නට ගිය රට ඔහු වඩාත් ප්‍රවේසම් සහගතව සන්සුන් කළේය . 1994 මහ මැතිවරණය පරාජය වී පැය 24ක් ඇතුළත අරලියගහ මන්දිරයෙන් ඉවත් වී තම නිවසට ගොස් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ආණ්ඩුව පිහිටුවා අරලියගහ මැදුරට එන්නට එතුමා අවකාශ විවර කළේය.

විධායක ජනාධිපති ධූරය අබියස අගමැති යනු හුදෙක් පියන් කෙනෙක් යැයි කීවේ රණසිංග ප්‍රේමදාස මහතා ය. රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස 5 වතාවක් කටයුතු කර තිබේ. ඉන් අවස්ථා 4දීම ඔහු අගමැති ලෙස කටයුතු කළේ එජාපයෙන් පිට විධායකයන් යටතේය.එහෙත් ,විධායක ජනාධිපති ක්‍රමය තුළ බිහිවූ ක්‍රියාශීලීම අග්‍රාමාත‍්‍යවරයා වන්නේ ඔහුය.

රනිල් වික්‍රමසිංහ 'කුනාටු සමයද' හොඳින් හඳුනන්නෙකි. අභියෝගාත්මක හැම විටෙකම ඔහු සන්සුන්ය. හෘද සාක්ෂියට එකඟව ඔහු තීන්දු ගනී. දේශපාලන වාසිය උදෙසා අවස්ථාවාදය ඔහු යොදා නොගනී .

'ආඩම්බර විය හැකි කිසිවක් නැති සෑම කාලකන්නි මෝඩයෙකුම අවසාන තුරුම්පුව ලෙස තමන් අයත් වන ජාතියේ ආඩම්බරය යොදා ගනියි. ඒ ජාතියේ සියලු වැරදි සහ මෝඩකම් වෙනුවෙන් සිය සකල ශක්තියෙන් පෙනී සිටීමට ඔහු සතුටින් සූදානම්ය. එහෙත් ඔහුට ඒ වෙනුවෙන් පෙරළා ලැබෙන්නේ තමන්වම පහතට පිරිහෙළනු ලැබීම පමණි' යනුවෙන් කියමනක් වෙයි. ජාතිවාදය නමැති වියරු ගින්නේ ආශ්වාදය ලබන අවස්ථාවාදීන් සිටින කොදෙව්වක ,හෙතෙම එකී අවස්ථාවාදය අලුයම ලූ කෙල පිඩක් සේ බැහැර කරන්නේය.

1994 පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ සහ විපක්ෂයේ නායකයා ලෙස ඔහු තීරණාත්මක කාර්යභාරයන් රැසක් සිදු කළේ‍ය. ඔහු තරම් අපහාස,උපහාස සහ මාධ්‍යයේ චරිත ඝාතනයට ලක්වූ වෙනත් දේශපාලනඥයෙක් මෙරට සිටිතැයි විශ්වාස කළ නොහැකි තරම්ය. ඒ තරමට ඔහුට නින්දා කළහ.පරිභව කළහ. එහෙත් ,හෙතෙම සෙල් පිළිමයක් සේ සන්සුන්ව එහෙත් තිරව ස්වකීය අරමුණ කරා ගියේය.

2001-2004 එජාපය ජයගත් අතර ඒ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 40කට සීමා විණි. එවර ඔහු භාරගත්තේ දුර්භාග්‍යයට පත්වූ ආණ්ඩුවකි. දවසින් අඩක් පමණ විදුලිය ඇණ හිටුවීමක්ද මෙකල සිදු කෙරුණි. ආර්ථික වර්ධන වේගය ඉතිහාසයේ ප්‍රථම වරට සෘණ අගයක් ගෙන තිබූ අතර භාණ්ඩාගාරය හිස්ව තිබුණි. උතුර ගිනිගෙන තිබූ ආයෝජකයන් තබා සංචාරකයෙක්වත් ශ්‍රී ලංකාව දෙස හැරී නොබලන තත්ත්වයක් තිබිණි.

ඔහුට සමහර අවස්ථාවාදීන් චෝදනා කළේ රට පාවා දෙන්නෙකු ලෙසය. එවැන්නක් කිව හැක්කේ සිහිබුද්ධිය එහෙ මෙහේ වූ අයෙකුට විනා මනා සිහිනුවණක් ඇත්තෙකු එහෙම කියන්නේ නැත.

රනිල් කෙතරම් උපායශීලී නායකයෙකුද කියා වටහා ගන්නට කළ යුත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව 1997දී නිකුත් කළ 50 වැනි සංවත්සර පුස්තකය කියවා බලන එකය. පොදු පෙරමුණු රජය සමයේම එහි රනිල් වික්‍රමසිංහ මහතාට චරිත සහතිකයක් දී තිබේ.

“හමුදා ප්‍රතිසංවිධානය සහ පුහුණුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිමහත් වූ සහාය, ධෛර්ය සහ සහයෝගීතාව සම්බන්ධයෙනුත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. සෑම පැත්තක්ම ආවරණය වන පරිදි සිදු කළ පුහුණු කටයුතු සිදු කිරීමට ඔහුගේ මැදිහත්වීම සහ මෙහෙයවීම හේතු විය. එසේම ඔහු පෞද්ගලිකවම එම වැඩ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පමණක් නොව පුහුණු මධ්‍යස්ථානවලට පෞද්ගලිකවම ගොස් අඩුපාඩු සොයා බැලීම හමුදා පුහුණුකරුවන්ගේ සහ පුහුණුව ලබන්නන්ගේ චිත්ත ධෛර්යය නංවනු ලැබීය. එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය දැඩි කිරීමට ද අවශ්‍ය විනය පවත්වාගෙන යාමට ද හේතුවක් විය.”

50th of Ceylon Army පිටු අංක, 503

රනිල්ගේ මෙහෙයවීමෙන් සිදුවූ පුහුණුවට ඇතුළත් වී ඇත්තේ හමුදාවේ කණිෂ්ඨ නායකයන් 10,000ක් පමණ ඉන්දියාවේ සහ පාකිස්තානයේ සහාය ඇතිව පුහුණු කිරීම, කැලෑබද ප්‍රදේශවල සටන් සඳහා විශේෂ කණ්ඩායම් පුහුණු කිරීමද රාත්‍රී මෙහෙයුම් සහ රාත්‍රියේ එල්ල වන ප්‍රහාර සඳහා විශේෂ පුහුණුවක් ලබාදීම, කුඩා කණ්ඩායම් වශයෙන් ගෙන ප්‍රහාරක ඒකක පුහුණු කිරීම, දුරදිග විහිදුම් බළකායක් පුහුණු කිරීම, සාමාන්‍ය හමුදා භටයන් පුහුණු කාලය සති හතරේ සිට සති 14 දක්වා වැඩි කිරීම යනාදිය ගැන පුළුල් විස්තර එම පොතෙහි තිබේ. මේ කිසිවක් ඔහු කයිවාරු ගසමින් කළ කී දෑ නොවේ .

“හිස් දේශප්‍රේමියෝ හැමවිටම තම මවුබිම වෙනුවෙන් "මැරෙන" බව කියති. එහෙත් ඔවුහු මවුබිම වෙනුවෙන් "මරන" බව කිසිවිටෙකත් නොකියති කියා බට්‍රම් රසල් කියා තිබේ. දේශප්‍රේමය ගැන වහසි බස් දොඩන බොහෝ දෙනා එහෙමය.

එමෙන්ම ,අත උඩින් දිනන්නට තිබූ 2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ පරාද කිරීමට කොටි තීන්දු කළේ ජාත්‍යන්තරයේ කොටි කොන් කිරීමෙහි ප්‍රමුඛ කාර්යයක් ඔහු ඉටු කළ නිසාය.

ඔහුට එරෙහිව විවේචකයන් යොදා ගන්නේ බොහෝ විට මිත්‍යා චෝදනාවන්ය. රට විකිණීම,පාවාදීම, බටහිරකරණය යනාදී චෝදනා තොග පිටින් ඔහුට එරෙහිව එල්ල කරන්නේ අංශු මාත්‍රයක හෝ පදනමක් නැතිවය. ඔහු ගෙනා 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහන රට පාවාදීමක් කියා බිල්ලෙක් මවා පසුව ඔවුන්ම ඒවා තමන්ගේ මෙන් ක්‍රියාත්මක කරයි. ඔහු කෘෂි ආර්ථිකයට එරෙහි අයෙකු බවට චෝදනා කරන බොහෝ දෙනා නොදන්නා,හෝ සඟවන සත්‍ය වන්නේ , 2004 එජාප රජය යටතේ නිදහසින් පසු පළමු වරට රට සහලින් ස්වයංපෝෂණය වූ බවයි. ඔහු 2002 පාලන සමයේදී ඔහුගේ ආර්ථික පිළිවෙත් අනුගමනය කරමින් එවකට -1.5% ක් ව පැවති දළ ජාතික නිෂ්පාදනය 4% දක්වා නංවාලීමට සමත් විය.

ජාතික සංහිඳියාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ දර්ශනය සමාජගත කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නොසැලෙන ප්‍රතිපත්ති සමුදාය කැපී පෙනෙයි. ශ්‍රී ලාංකික අනන්‍යතාව, ජාතික සමඟිය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන් ශක්තිමත් කිරීම, නීතියේ ආධිපත්‍යය ගොඩනැගීම, නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍යය ආරක්ෂා කරගනිමින් දුගී දුප්පත් ජනතාවට ඒවා භුක්ති විඳීමට තිබෙන නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කොට එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීම මගින් රනිල් වික්‍රමසිංහ මහතා ඉටුකරනු ලැබීය.

යුද්ධය නිමා වුවද හදවත් දිනා නොගැනීමේ පාපය සාපයක්ව රට වෙළාගෙන තිබෙන බව වික්‍රමසිංහ මහතා මනාව වටහාගෙන සිටියේය . රාජපක්ෂ යුගය ඉතිහාසයේ එතෙක් මෙතෙක් ජාතිවාදීම උන්මත්තකක යුගය මෙරට නිර්මාණය කොට තිබිණි. ජාත්‍යන්තරය මානව හිමිකම් පිළිබඳව තොණ්ඩුව ශ්‍රී ලංකාවේ බෙල්ලට දමා තිබිණි.

රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීම සඳහා එජාපය සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා ශ්‍රීලනිප, දෙජාස ඇතුළු පක්ෂ ගණනාවක් සමඟ පුළුල් පෙරමුණකට ඇතුළත් විය. 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තම අපේක්ෂක ධුරය කැපකරමින් පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට එජාපයේ සහාය දැක්වීම එජාප දේශපාලන ඉතිහාසයේ සංධිස්ථානයක් ලෙස සැලකිය හැකිය.

යම්කිසි ජාතියක් එකවරම තවත් ජාතීන් පාගන්නේ නම්, එම ජාතියට ස්වාධීන ජාතියක් බවට පත් විය නොහැකිය යන්න රනිල් වික්‍රමසිංහ විශ්වාස කරයි. හෙතෙම ස්වකීය උදාර පරමාර්ථය ලෙස දකිනුයේ ලෝක මට්ටමේ ශ්‍රී ලංකාවකි . එය උණුසුම් හදවත් ඇති සැනසුම් සහගත මිනිසුන්ගෙන් පිරී තිබෙනවා දැකීම ඔහුගේ සිහිනයයි.

කවුරුන් කුමක් කීවද ,ඒ සකලවිද විවේචන අභියස ඔහු පරිණත දැක්මකින් නොසැලී සිටී . ඒ 'පොහොසත් රටක්' උදෙසා වන සිහිනය අබියස සෙසු සියල්ල ද්විතියික නිසාය.

අරුණ සතරසිංහ


අදහස් 1ක් ඇත

We all know who is Runil Wickkramasinghe! Why are you trying to brainwash people when they are fed up with this brutal dictator, a shadow of J R Jayawardene. If all what you say is correct, please read this as well https://en.wikipedia.org/wiki/Ranil_Wickremesinghe#Corruption_elimination

නව අදහස දක්වන්න