රටේ සංස්කෘතිය විනාශ කිරීමට ඉඩ දෙන්නේ නෑ | දිනමිණ

රටේ සංස්කෘතිය විනාශ කිරීමට ඉඩ දෙන්නේ නෑ

උපාලි කරුණාරත්න

රටේ සංස්කෘතිකාංග විනාශ කිරීමට කිසිදු බලවේගයකට ඉඩ නොදෙන බව නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ(21) කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැති ලෝක කවි දිනය-2019 සැමරුම් උළෙලට සහභාගි වෙමිනි. මෙහිදී කාව්‍ය සමීක්ෂා ග්‍රන්ථය සජිත් ප්‍රේමදාස මහතාට පිළිගන්වන ලදී.

කටින් බතල හිටවන සංස්කෘතික පුනරුදයක් වෙනුවට කාර්යක්ෂම සංස්කෘතික පුනරුදයක් මේ වන විට ක්‍රියාත්මක යැයිද පැවසූ ඇමැතිවරයා ප්‍රේමදාසලා කලාවට ප්‍රේම කරමින් කලාව රැක ගැනීමට ක්‍රියා කරන බවද ප්‍රකාශ කළේය. රටේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා තමන් කටින් කියන දේ අදාළ අංශයන් ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවිය යුතු බවද සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා:

අපේ රටේ කවි- කිවිදියන්ගේ පාරම්පරික හැකියාව, සුරක්ෂිතභාවය ශක්තිමත් කිරීමද වැදගත්. ඒ වගේම පැරණි කලාංගයන් රැක ගැනීමට ජාතික ප්‍රතිපත්තියක් ගොඩ නගන්න ඕනෙ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේදී දක්ෂ කවි කිවිදියන් මට මුණ ගැසෙනවා. ඔවුන්ගේ හැකියාවන් තුළින් දේශීය කලාව සුරක්ෂිත වන ආකාරය අප දැක තිබෙනවා. කවි කලාව රැක ගැනීමට සෘජු රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයි. මා මිට ටික වේලාවකට පෙර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පළන්සූරිය මහත්මා සමඟ කතා කළේ රටපුරා දිස්ත්‍රික්ක මට්ටමින් කවි ගම්මාන නිර්මාණය කිරීම පිළිබඳව. මේ රටේ උරුමයක් රැක ගනිමින් ඉදිරියට ගමන් කරන කවි කිවිදියන් සහ ඔවුන්ගේ අනාගත පවුල් වෙනුවෙන් කවි ගම්මාන වැඩ සටහන අප ඉදිරියේදී ආරම්භ කරනවා. කවි කිවිදියන්ගේ ගැටලු උදා ගම්මාන වැඩ සටහන යටතේ විසදීමට කටයුතු කරනවා. ඔවුන්ගේ නිවාස අලුත් වැඩියාකර ගැනීමට, පවතින නිවාස ගැටලුවලට සම්පූර්ණ විසදුම් අප ලබාදෙනවා. ඉඩම් නිවෙස් නොමැති, ඉඩම් තිබෙන නිවෙස් හරියාකාරව සාදා ගත නොහැකි කවි කිවිදියන්ට අප ක්‍රියාත්මක කරන වැඩ සටහන තුළින් නිවැරදි පිලිතුරු ලබාගත හැකියි.

ඒ වගේම කවි- කිවිදියන්ට අවශ්‍ය විසිරි නිවාස ණය අප ලබා දෙනවා. නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් යොදවා වී කවි කිවිදියන්ගේ ගැටලු පිළිබඳව කඩිනමින් සොයා බලන්න කියා මා අදාළ අංශයන්ට මේ අවස්ථාවේදී දන්වා සිටිනවා.

කවි- කිවිදියන් තමන්ගේ උරුමය ඉදිරියට ගෙන යාම සඳහා අලුත් පරම්පරාවක් නිර්මාණය කර තිබේද යන්න පිළිබඳව අප සොයා බැලිය යුතුයි. අලුත් පරම්පරාවක් ඇතිකිරීමට අවශ්‍ය ශක්තිය ඔවුන්ට ලබා දිය යුතුයි. කවිය පසුගිය පරම්පරාවට අයත්වූ කලාවක් බවට පත්වී තිබෙන බවද විටෙක සිතෙනවා. අද දිනයේ සංස්කෘතික පුනර්ජීවන වැඩ සටහන යටතේ කවි කිවිදියන් වෙනුවෙන් මූල්‍යාධාර ලබා දෙන සුභ සාදන වැඩ සටහනක්ද ආරම්භ කරනවා. මෙමගින් වයෝවෘද්ධ මෙන්ම විවිධ රෝගාබාධයන්ට ලක්වූ කලාකරුවන්ට සහනයක් සැලැසෙනවා.

අද දින කවියන්ට අලුත් ජවයක් ඇතිවූ දිනයක් වශයෙන් මා දකිනවා. තමන්ට අලුත් පරිච්ඡේදයක් ආරම්භ වුනා කියා කියා කවි පරපුර සිතුවාට වරදක් නැහැ. මේ මොහොතේ සිට ඉදිරි පැය හතලිස් අටතුළ කවි පරපුර වෙනුවෙන් අපේ ක්‍රියාකාරීත්වය දැක බලා ගත හැකියි. නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අද දින රැස්වි සිටින කවි පරපුරේ සාමාජික සාමාජිකාවන්ගේ දුරකතන අංකවලට කතා කරමින් අඩුපාඩු පිළිබඳව සොයා බලනවා.

අපේ රටේ කලාව මතු පරපුරට ආරක්ෂා කරදිය යුතුයි.

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අනූෂා ගෝකුළ ප්‍රනාන්දු මහත්මිය-

අද දිනයේ හම්බන්තොට සහ කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම් හිටිවන කවි තරඟාවලියට තරග කරනවා. අපගේ දේශය ගොඩ නැගීමේ කාර්යයයේදී කවියද අපට භාවිතා කළ හැකියි. උදාගම්මාන තුළ කවි මඩු පවත්වා එම ජනතාවගේ චින්තනය පුළුල් කළ යුතුයි. කවිය කියන්නෙ ප්‍රබල අවියක්. ඒ වගේම පවතින සමාජ ගැටලු වලට කවිය තුළින් පිළිතුරු ලබා ගන්න පුලුවන්. රෝග නිවාරණ වැඩ සටහන් සඳහා කවිය ඉතා ප්‍රයෝජනවත්. කවි මඩු රට පුරා පැවැත්විය යුතුයි. රටේ පවතින ගැටලු පිළිබඳව කවියෙන් දැනුවත් කර පිළිතුරු ලබා දීමට ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට ජනමාධ්‍ය ආයතන සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. කවිය තුළින් යහපත් නිවුණු සමාජයක් අපට නිර්මාණය කරගත හැකියි. මේ කාර්යය කිරීමට කවි කිවිදියන්ට මහා පුලුල් දැක්මක් ඇතිකර ගැනීමට සිදු වෙනවා.

මහාචාර්ය කමල් වලේබොඩ මහතා-

කොළඹ කවිය මිය ගොස් නැහැ. එය මරා දමන්නත් බැහැ. කොළඹ කවිය හරියට හඳුන් ගසක් වගෙයි. අපට හොඳ කවි පරපුරක් සිටිනවා.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, විද්වතුන්, කලාකරුවන්, කවි කිවිදියන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න