අබිරහස් ගින්නෙන් ගරාජ් හිමියා අළුවෙයි | දිනමිණ

අබිරහස් ගින්නෙන් ගරාජ් හිමියා අළුවෙයි

මොනරාගල නගරයේ නව ඩිපෝව පාරේ දොඩම්වත්ත පදිංචි ගරාජ් හිමියකු මොනරාගල - හොරොම්බුව මාර්ගයේ තේක්ක වගාවක් අසළ ජීප්රථයක දැවී මියගොස් සිටියදී පෙරේදා (21) රාත්‍රී මොනරාගල පොලිසිය මඟින් සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල ඩිපෝව පාරේ ගරාජයක් පවත්වාගෙන යන වනසිංහ ගුරුගේ චන්දන පුෂ්පකුමාර (41) නැමති එක්දරු පියෙකි. හෙතෙම බිරිඳ සමඟ අමනාපවී එදින සවස නිවසින් පිටව ගොස් ඇත.

මොනරාගල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් හොරොම්බුව වෙඩි බෙහෙත් ගබඩාවට රාත්‍රී 11.00 ට පමණ යමින් සිටියදී UPPQ7151අංක දරන මහේන්ද්‍රා වර්ගයේ කැබ්රථයක් ගිනි ගනිමින් තිබුණු දැක පරීක්ෂා කිරීමේදී රියැදුරු අසුනේ සිටි අයෙකු හඳුනාගැනීමට පවා නොහැකි ලෙස පිළිස්සෙමින් සිට ඇත. ඒවනවිටත් ඔහු මියගොස් තිබිණි. ගිනිගනිමින් තිබූ කැබ්රථයේ ගින්න නිවන විටත් සම්පූර්ණයෙන් ගිනිගෙන තිබුණු බව මොනරාගල මූලස්ථාන පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වේහිත දේශප්‍රිය මහතා පැවසීය.

මෙම මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (22දා) පැවැත්වීමට නියමිතව තිබිණි. මොනරාගල නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතාගේ උපදෙස් පිට මොනරාගල පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ මෙහෙයවීම යටතේ සහකාර පොලිස් අධිකාරි කේ.ජී.කේ කිරිඇල්ල මහතාගේ අධීක්ෂණය යටතේ මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක වේහිත දේශප්‍රිය මහතා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

ඌව වෙල්ලස්ස විශේෂ - ඩී.එස් ගුණතිලක
ඡායාරූපය - ඌව වෙල්ලස්ස


නව අදහස දක්වන්න