වන ඝනත්වය ඉහළ නැංවීමට පියවර රැසක් ආණ්ඩුව ගෙන තිබෙනවා | දිනමිණ

වන ඝනත්වය ඉහළ නැංවීමට පියවර රැසක් ආණ්ඩුව ගෙන තිබෙනවා

රක්ෂණ ශ්‍රියන්ත

වනාන්තර, ගස, කොළ, සතා සිවුපාවා ආරක්ෂා කිරීම ආණ්ඩුවේ මෙන්ම සෑම පුරවැසියකුම බැඳී සිටින බවත් අපේක්ෂිත වන ඝනත්වය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් මේ වන විට පියවර රැසක් ආණ්ඩුව ගෙන තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ පෙරේදා (21) අරලගංවිල වෙහෙරගල මහා විද්‍යාලයේ පැවැති ජාත්‍යන්තර වනාන්තර දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

වනාන්තර සහ අධ්‍යාපන යන තේමාව යටතේ මේ උත්සවය පැවැත්විණි.

ජනාධිපතිවරයාගේ පැමිණීම සනිටුහන් කරමින් සඳුන් පැලයක් සිටුවීම සිදු කෙළේය.

මඟුල් බෙරවාදන මධ්‍යයේ පාසලේ නව පරිපාලන ගොඩනැගිල්ල ජනාධිපතිවරයා සිය සුරතින් පීත්ත පටිය කපා විවෘත කැර අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සමරු සටහනක්ද තැබීය.

ජනපතිට කියන්න වැඩසටහන යටතේ කළ ඉල්ලීමකට අනුව ,ජනාධිපතිවරයා මුදල් ප්‍රදානයක්ද සිදු කෙළේය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ යෙදී සිටියදී මියගිය සහ ආබාධිත වු ජාන මංකොල්ලය වැටලීමට දායක වු නිලධාරීන් 19 දෙනකුට ජනාධිපතිවරයා අතින් ඇගයීම් සහතික ප්‍රදානය කිරීමද සිදුවිය.

පාසල් පුස්තකාල හතක් සඳහා පොත් ප්‍රදානයද කිරීම සහ දැනුවත් කිරීම් සඳහා පොත් පත්‍රිකා අඩංගු බෑග් 11 පාසල් සිසුන් වෙත ප්‍රදානය කෙළේය.

දිඹුලාගල වෙහෙරගල කොටසේ අඩු ආදායම් ලාභීන් සඳහා ඉදිකළ නිවාස 12ක යතුරු ප්‍රදානයද සිදුවිය.

තුරු ඉතුරුම් ගිණුම්වල වැඩිම ඉතුරුම් සිදුකළ සිසුන් තිදෙනකුට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

අද ලෝකයේ සෑම රටක්ම ජාත්‍යන්තාර වනාන්තර දිනය සමරන දවසක්. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පැමිණි මහාචාර්ය හිරාන් අමරතුංග මහත්මයා මෙහි තිබෙන වැදගත් කම පිළිබඳව පැහැදිලි කළා. හැබැයි එතුමාට දීලා තිබුණේ විනාඩි පහයි. අද දවස මාර්තු විසි එක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර කාර්යාංශය මේ දිනය නම් කෙළේ වනාන්තර ආරක්ෂා කර ගැනීම පිළිබඳව ලෝකයේ සෑම කෙනකුගේම අවධානය යොමු වීම අවශ්‍ය නිසයි. මේ විදියේ දිනයක් නම් කරන්නේ ඇයි දරුවනේ. අවුරුද්දේ තිබෙන දින තුන්සිය හැටපහ විවිධ වැඩ සටහන්වලට බෙදා වෙන් කරලා තිබෙනවා.ලෝකයේ රාජ්‍යයන් ජාතික වශයෙන් තමන්ගේ රටේ වැදගත් දිනයන් වෙන් කරලා තිබෙනවා. ලෝක වැඩිහිටි දිනය, ලෝක කාන්තා දිනය, ලෝක ළමා දිනය, ලෝක දියවැඩියා දිනය මේ විදිහට තුන්සිය හැටපස් දිනයම වෙන් වෙලා තිබෙනවා.

අද ලෝක වනාන්තර දිනය. මේ ලෝක වනාන්තර දිනය ඇයි මේ විදියට නම් කෙළේ. ඊට ඇති අවශ්‍යතාවය කුමක්ද. වනාන්තර ලෝකයේම විනාශ වෙන නිසා ඒ තමයි කෙටි සහ සරළ උත්තරය. ඒ නිසා විනාශ වෙන වනාන්තර රැක ගන්න, සංරක්ෂණය කරන්න ,ඒවා පෝෂණය කරන්න ,සුරක්ෂිත කරන්න, සියලු රාජ්‍යයන් හා රාජ්‍ය නොවන ආයතනත් සෑම රටකම පුරවැසියන් දරුවන් රාජ්‍ය ආයතන නිලධාරීන් ,දේශපාලනඥයින් සෑම දෙනෙකුගේම වගකීමක් සහ යුතු කමක් වී තිබෙනවා. වනාන්තරය, ගස, කොළ, වැල් පෑලෑටිය ආරක්ෂා කරන්න. සියලුම ආගමික දර්ශනයන් තුළ ස්වභාව ධර්මයාගේ සම්පත ආරක්ෂා කිරීම පිළිබඳව සඳහන් වෙනවා.

බ‍ුදුන් වහන්සේ තමා මා දන්නා පරිදි ලෝකයේ පැරණිතම පරිසර වේදියානන් වන්නේ. බෞද්ධ දර්ශනයේ බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා .පරිසර සංරක්ෂණයේ වැදගත්කම .ඒ වගේම තමයි කිතු දහම .ඒ වගේම හින්දු දහම. ඒ වගේම ඉස්ලාම් දහම තුළ පැහැදිලිව තියෙනවා පරිසරයේ වැදගත් කම සහ පරිසරය ආරක්ෂා කිරීම. පරිසරයේ ආරක්ෂාව පිළිබඳව කතා කරන විට ඉතාමත් වැදගත් වන්නේ ස්වභාව සම්පත් වලින් ප්‍රමුඛව කැළය ආරක්ෂා කිරීමයි. ඔබ මාධ්‍ය තුළ දක්නට ඇති දෙමාපියනි, දරුවනි ,මම පසුගිය මාසයේ මීට කලින් ආණ්ඩුවෙන් නොගත් පියවරක් ගත්තා. රටේ සෑම ප්‍රදේශයකම තිබෙන ගස් කපන විදුලි කියත් රජයේ ලියාපදිංචි කළ යුතුයි කියා මම නියෝගයක් නිකුත් කළා. ඒ නියෝගය නිකුත් කරන්න හේතු වුණේ රටේ වනාන්තර විනාශ කිරීමට ගෙවල් ඇතුලේ කර්මාන්ත ශාලා ඇතුලේ තිබෙන වෙළෙඳ පොළවල් ඇතුලේ තිබෙන විදුලි කියත් විශේෂයෙන්ම දැව ජාවාරම්කාරයෙේ පාවිච්චි කරන නිසයි.

ලෝකයේ වන සංරක්ෂණයේ වැදගත්කම දන්නා ආණ්ඩු මේ විදුලි කියත් ඒ රටවල් වලට ගේන්න දේන්නේ නැහැ. ඒවා නිෂ්පාදනය කරන්න දෙන්නෙත් නැහැ. ඒවා වෙළෙඳ පොළේ අලෙවි කරන්න දෙන්නෙත් නැහැ. අපි සති දෙකක කාලයක් දුන්නා ලංකාවේම කියත් ලියාපදිංචි කරන්න. සමහාර ඒවා අතේ ගෙනි යන්න පුළුවන්.සමහර ඒවා විශාල ලොකු මැෂින්. ඒවා නමුත් මේවා ලියා පදිංචි කාරලා තිබුණේ නැහැ. දැන් ඒවා ලියාපදිංචි කරපුවාම තිස්දහසකට වැඩි ප්‍රමාණයක් වාර්තා වුණා. දැන් කොහේ හරි ළඟ ගහක් කපලා තිබෙනවා නම් ඉස්සේල්ලාම හොයා ගෙන යන්නේ පොලිසියෙන් හරි ග්‍රාම නිලධාරී මහත්තයා හරි විදුලි කියත තියෙන කෙනාගේ ගෙදරට. මොකද ඒ ලයිස්තු පොලිසියේ තියෙනවා.

අපි මෙවැනි තීන්දු තීරණ ගන්නේ ප්‍රධාන වශයෙන් පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත් කම තුළයි. ලංකාවේ වන ඝනත්වය සියයට විසි අටක් විතර තිබෙනවා. මේ සියයට විසි අටක වන ඝනත්වයේ ප්‍රමාණය තිබෙන්නේ වැඩි ප්‍රමාණයක් මේ රටේ උතුරු ප්‍රදේශයේ. උතුරු ප්‍රදේශයේ වනාන්තරය ඒ විදියට ආරක්ෂා කෙළේ කවුද. එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන් කරන වැරැදි කළා .ඔහු මිලේච්ඡයෙක්. ත්‍රස්ත්‍රවාදියෙක්. ඔහු ඉතාමත් නරක කෙනෙක්. නමුත් ඔහු කළ එකම හොඳ වැඩේ තමයි වනාන්තරය ආරක්ෂා කරපු එක. වනාන්තරය ඔහු ආරක්ෂා කෙළේ වෙන හේතුවක් නිසා නෙමෙයි ඔහු ත්‍රස්‍ත්‍රවාදී ගරිල්ලා නායකයෙක් නිසා . ගරිල්ලා සටන් වලට වනාන්තරය අවශ්‍යයි. ඒ නිසා ඔහු වනාන්තරය ආරක්ෂා කළා. යුද්ධය නැති අනෙක් ප්‍රදේශවල වනාන්තරය විනාශ වුණා. දේශපාලනඥයෝ දූෂිතයි. රාජ්‍ය නිලධාරීන් දැව ජාවාරම්කාරයෝ, නීතී විරෝධි වැඩ කරන ඇතැම් ව්‍යාපාරිකයෝ ,රටේ වනාන්තරය විනාශ කළා. ප්‍රභාකරන් ප්‍රභාකරන්ගේ කොටස ආරක්ෂා කර ගත්තා.

අපි ලොකුවට කතා කරනවා අපි‍ට සියයට විසි අටක් ඉතිරි වෙලා තිබෙනවා කියලා. එයින් සියයට විස්සක් විතර තියෙන්නේ උතුරේ. වන සංරක්ෂණ ජෙනරාල් තුමා ඇතුළු නිලධාරීන්ට මම මතක් කරන්න ඕනෑ ලංකාවේ වන ඝණත්වය පිළිබඳව තිබෙන තත්ත්වය. වනය පිළිබඳ වාර්තාවක් සමීක්ෂණයක් අවසන් වරට කරලා තිබෙන්නේ දෙදහාස් දහයේ. දැන් අවුරුදු දහයකට කිට්ටුයි. මම පරිසර ඇමැතිවරයා විදියට 2006- 2007 හිටියා. දැන් අවුරුදු හතරක් ඉන්නවා. මට නම් කවුරුත් යෝජනා කරලා නැහැ තිබෙන වනානාන්තර ටික දැන් මැනලා අවුරුදු දහයක් ගතවෙලා තිබෙන නිසා කොච්චරද කියලා බලන්න ඕනයි කියලා. එහෙම ඉල්ලීමක් කළා නම් අපි අවශ්‍ය සම්පත් දීලා විශේෂයෙන්ම ගුවන් හමුදාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව එක්වෙලා අද තිබෙන නව තාක්ෂණයත් එක්ක ඉතාම කෙටි දින ගණනකින් දවස් දෙකකින් තුනකින් ඉවර කර ගන්න පුළුවන්. මේක ඉතාමත් වැදගත් වෙනවා. දරුවනේ අපි කැළය ආරක්ෂා කරනවා වගේම ගෙදර තිබෙන පැලෑටි වත්තේ ගෙවත්තේ තිබෙන ගහ කොළා පැළෑටි ආරක්ෂා කර ගත් තරමට තමයි ඔබ දන්නවා ඔබට සිසිලසක් තිබෙන්නේ සෙවනක් තිබෙන්නේ සහනයක් තිබෙන්නේ විශේෂයෙන්ම ඒ තුළ තමයි. සියලු ස්වභාවික සම්පත් ආරක්ෂා වෙන්නෙ ජලය ප්‍රමුඛව. ජල මුලාශ්‍ර ආරක්ෂා කරන්න වනාන්තරයේ තිබෙන වැදගත්කම මේ දරුවන්ට මම කියා දීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා අපි ජාත්‍යන්තර වනාන්තර දිනය විශේෂයෙන් මෙහි තේමාව වන්නේ වනාන්තර සහ අධ්‍යාපනය, ඒ වගේම තිරසර සංවර්ධනය සහ වන සංරක්ෂණය. මේ කරුණු තමයි අද ජාත්‍යන්තර වන සංරක්ෂණ දිනයේදී වැදගත් වන්නේ. මේ උත්සවය ගැන මගේ පොඩි සතුටක් වගේම කණගාටුවකුත් තිබෙනවා. මේ වගේ උත්සවයකට කරන වියදමත් එක්ක අද ජාත්‍යන්තර වනාන්තර දිනයේ තේමාව වනාන්තර සහ අධ්‍යාපනයයි. මගේ අමාත්‍යංශයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් පුද්ගලික කාර්ය මණ්ඩලයත් මම බොහොම පැහැදිලිව කියලා තිබෙනවා මම එන උත්සව වලට පුංචි ළමයි ගේන්න එපා කියලා. මේක පාසලේ නිසා පොඩි දරුවෝ හිටියට කමක් නැහැ. මේ උත්සවයේ තිබෙන වැදගත්කමක් දී තිබුණා .අඩු තරමින් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලු රාජ්‍ය නිලධාරීන් ක්ෂේත්‍ර නිලධාරීන් පාසල්වල පරිසර විෂය උගන්වන ගුරු මහත්ම මහත්මීන් ඒ සියලු දෙනා ගෙන්වනවා නම් දහසකට වැඩියි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමාට මගේ කණගාටුව ප්‍රකාශ කරනවා කොළඹ ඉදලා ඇවිල්ලා දේශනය කරන්න විනාඩි පහක තිබිම ගැන. මෙහෙම වැඩ කරන්න එපා. දෙපාර්තමේන්තුවටයි, අමාත්‍යශයටයි, මගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයටයි කියන්නේ මීට වඩා හිතන්න ඕනෑ. කල්පනා කරන්න ඕනෑ.

වන සංරක්ෂක ජනරාල් ඩබ්ලිව්.සී.වෙහෙරගොඩ මහතා -

ජාත්‍යන්තර වනාන්තර දිනය නම් කළ දිනයේ සිට විවිධ තේමාවන් ඔස්සේ මේ වනාන්තර දිනය සමරනවා. ලෝකයේ තිබෙන වනාන්තර වල දර්ශනීය භාවය සමරනවා වගේම ලෝකවාසීන්ට මේ වනාන්තර වල අගය පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදු වෙනවා. වනාන්තර ආරක්ෂා කිරීමේ සුවිශේෂ දිනයක් ලෙස මේ දිනය සමරන්න පුළුවන්. සතුන් විශාල පිරිසකට මෙන්න කාබන්ඩයොක් සයිඩ් සමතුළිත කිරීම මෙන්ම සිසිලස සැලසීමත් මේ වනාන්තර වලින් සිදු කෙරෙනවා. අපි අවබෝධ කර ගන්න ඕනෑ නිවාස හැදීම ,පුවත් පත් කියවීම, බෙහෙත් හේත් ආහාර ඒ සියල්ලටම වනය බලපාන බව සිතට ගන්න ඕනෑ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රක්ෂිත 17ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර රක්ෂිතයන් බවට පත් කර තිබෙනවා. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අපි සැම දෙනෙක්ම වනාන්තර ආරක්ෂා කර ගැනීමට කැප විය යුතුයි.

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමැති අජිත් මානප්පෙරුම මහතා -

පළමු වානාන්තර දිනය සැමරුවේ 2013දී. වනාන්තර වලට ආදරය කරන්න සැමට ඉගැන්විය යුතුයි. එයට වයස් භේදයක් හෝ තරා තිරමක් නැහැ.පුරවැසියා වනාන්තර වලට ආදරය කරන පිරිසක් බවට පත් කිරීම මේ වනාන්තර දිනය සැමරුමේ අදහසයි. වාද විවාදයටත් කතිකාවන්ටත් භාජනය විය යුතු දේ මෙහි තේමාව කර ගෙන කාලීන අවශ්‍යතා ගැන කතා කිරීම මෙහි අරමුණයි. මිනිසාට ඇළ දොළ, ගංගා, වනාන්තර සතා සිව්පාවුන්ගෙන් තොරව ජීවත් විය නොහැකියි. වන සංරක්ෂණය ගැන අධ්‍යාපනයට ඇතුළත් වීම වැදගත්. අද ලොව මුහුණ දෙන දේශගුණ විපර්යාස හමුවේ කාබන් තිර කිරීමේ සේවය පෙරමුණට ගෙන තිබෙනවා. ඔක්සිජන් ලීටර් 550ක් පුද්ගලයකුට දිනකට අවශ්‍ය වෙනවා. ගසක් කාබන් ඩයොක්සයිඩ් අවෂෝෂණය කරන ප්‍රමාණය ගැන අපි හිතන්න ඕනෑ. ගසකින් ලී ලබා දෙනවාට වඩා අපට ඔක්සිිජන් ලබාදීම ගැන සිතිය යුතුයි. අපේ විවිධ ක්‍රියා කාරකම් වලින් වායු ගෝලයට කාබන්ඩයොක්සයිඩ් විමෝචනය කරනවා. ඒවායින් හතරන් එකක් ගස් වලින් උරා ගන්නවා. පවතින වන ආවරණය වැඩි දියුණු කිරීමත් පවත්නා වනය රැක ගැනීමත් අපේ වගකීමක් වී තිබෙනවා. වන ඝනත්වය සියයට තිස්තුන දක්වා වැඩි කරන ලෙස ජනාධිපතිවරයා අපට උපදෙස් දී තිබෙනවා .සැප්තැම්බර් මාසයේ වන හෙක්ටෙයාර් දොළොස්දහසක් එක දවසේ වගා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපට ස්වභාව ධර්මය සමඟ දීර්ඝ උරුමයක් ඉතිහාසයක් තිබෙනවා.

මේ අවස්ථාවට මහා සංඝරත්නය අන්‍යාගමික පුජකතුමන්ලා, මැති ඇමැතිවරුන්, ප්‍රදේශයේ දේශපාලනඥයින්, ආණ්ඩුකාරවරුන්, මහවැලි සංවංර්ධන හා පරිසර අමාත්‍යංශයේ උසස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් ඇතුළු ගුරු භවතුන්, දෙමාපියන්, පාසල් දරුදැරියන් ,ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ඡායාරූප සුදත් මලවීර


නව අදහස දක්වන්න