එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය අද වැලිගම දී | දිනමිණ

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම සේවය අද වැලිගම දී

ජයසිරි මුණසිංහ

නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන වැඩපිළිවෙළේ පැන නඟින ප්‍රමාදයන් සහ ජනතා ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමේ ජංගම සේවා වැඩසටහන් රට පුරා පැවැත්වීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ජංගම සේවය රාජ්‍ය බැංකු හා ආයතන රැසක සහභාගීත්වයෙන් අද (23) මාතර, වැලිගම දී ආරම්භ කෙරේ.

රුපියල් මිලියන 5000ක මුදලක් මහා භාණ්ඩාගාරය පොලී සහනාධාරය ලෙස ලබා දී වසරක් ඇතුළත නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීම සඳහා ක්‍රියාත්මක මේ ණය සහන යෝජනා ක්‍රමය යටතේ ජීවිතය ජය ගැනීමට උනන්දුව දක්වන ව්‍යවසායකයන්ට දැනුම ලබාදීම, ගැටලු විසඳීම හා ඇපකරු හා සෙසු ආයතනික සේවා ව්‍යවසායකයන් ළඟටම ගොස් ලබාදීම මෙහි ඇති විශේෂත්වය වේ.

මේ ජංගම සේවා වැඩසටහන ඉදිරියේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය කරන පරිදි පැවැත්වීමට ද නියමිතය.

ඒ පිළිබඳ අදහස් දක්වන මුදල් අමාත්‍යාංශය මෙසේ ද කියා සිටියි.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 අය-වැය මඟින් තව දුරටත් ශක්තිමත් කර ඇති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මඟින් ව්‍යවසායකයන් බිහි කිරීම ‍කඩිනම් කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළි‍වෙළක් ලෙස දිවයින පුරා ජංගම සේවා පැවැත්වීමට තීරණය කර ඇත.

ස්වයං රැකියාවක්, ව්‍යාපාරයක්, කර්මාන්තයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන ව්‍යවසායකත්ව අරමුණුවලින් යුත් තරුණ ප්‍රජාවට සහනදායී පොලී අනුපාතයක් මත ප්‍රාග්ධනය ලබාදීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

වැලිගම පැවැත්වෙන මේ ජංගම සේවාවේ දී මෙසේ ව්‍යාපාර හෝ කර්මාන්ත ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බැංකු මඟින් ප්‍රාග්ධන මුදල් ලබාගැනීම පහසු කරනු වස් ඒ පිළිබඳ දැනුම්වත් කිරීමට අමතරව එදින තම ව්‍යාපාර සඳහා බැංකුව වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය ව්‍යාපාර යෝජනා සකස් කිරීමට ද සහායවීමට වැඩපිළිවෙළක් යොදා ඇත. මේ සඳහා විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන්ගේ සහාය ලබාගෙන ඇති අතර, මේ පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද පවත්වන බැවින් ණය අපේක්ෂා කර පුද්ගලයන් තම ව්‍යාපාර පිළිබඳ මූලික තොරතුරු රැගෙන පැමිණෙන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ජංගම කාර්යාලයන් මේ ස්ථානයේ දී පැවැත්වෙන අතර, විවිධ ණය යෝජනා ක්‍රම පිළිබඳ අවශ්‍ය අනුමැතිය සහ තාක්ෂණ උපදෙස් ලබා ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය ආයතනවල නියෝජිත කාර්යාල ද මෙහි දී පිහිටුවනු ලැබේ.

විශ්වවිද්‍යාල උපාධිධාරීන් සඳහා ඇරැඹුම ණය යෝජනා ක්‍රම යටතේ ණය ලබාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ සපයන අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්යාලයක් ද, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබාදීමට අදාළව කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ කාර්යාලයක් ද මේ ජංගම සේවාව තුළ ක්‍රියාත්මක වේ. සංචාරක ක්ෂේත්‍රයට ප්‍රසිද්ධ දකුණු පළාතේ සංචාරකයන් සඳහා සත්කාරක නිවාස (Home stay) පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන අයට අදාළ ව්‍යාපෘති අනුමැතිය ලබාගැනීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරියේ කාර්යාලයක් ද වැලිගම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජංගම කාර්යාලයේ දී ක්‍රියාත්මක කරන බැවින් ව්‍යවසායකයන් හට තම ව්‍යාපාර සඳහා මූලික පහසුකම් සියල්ල එක් වහලක් යටතේ පහසුවෙන් ලබා ගැනීමට හැකිවනු ඇත.

මුදල් අමාත්‍යාංශය විසින් සංවිධාන කරනු ලබන මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දීපව්‍යාප්ත ජංගම සේවාවේ ප්‍රථම අවස්ථාවට ඇමැති මංගල සමරවීර, මලික් සමරවික්‍රම හා ජෝන් අමරතුංග මහත්වරුන් ද සහභාගී වේ.


නව අදහස දක්වන්න