රට ගොඩගැනීමට කැපවීම සියලුදෙනාගේ වගකීමයි | දිනමිණ

රට ගොඩගැනීමට කැපවීම සියලුදෙනාගේ වගකීමයි

රට ගැන සිතා රට වෙනුවෙන් එකට සිටිමින් ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට කැපවීම අද දවසේ සියලුදෙනාගේ වගකීම බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ‘රට වෙනුවෙන් එකට සිටිමු’ පුත්තලම දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවයට ඊයේ (22) පෙරවරුවේ පුත්තලම ශක්ති ක්‍රිඩාංගණයේ දී එක් වෙමිනි.

 ජනාධිපතිවරයාගේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි ජනාධිපති කාර්යාලය මෙහෙය වන ජාතික සංවර්ධන ව්‍යාපෘති වන දිළිඳුකම පිටුදැකීමේ ග්‍රාමශක්ති වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන, පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන ඇතුළු විශේෂ ව්‍යාපෘති සහ විවිධ අමාත්‍යාංශ විසින් ක්‍රියාත්මක කරන ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා ජනතාවට උපරිම මහජන සේවාවන් හා ප්‍රතිලාභ අත්පත් කර දීම ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනේ ප්‍රමුඛ අරමුණයි. එහි පළමු දිස්ත්‍රික් වැඩසටහන පසුගිය 18 වැනි දා පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණු අතර, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 හා ග්‍රාම නිලධාරි වසම් 332ම ආවරණය කරමින් ප්‍රදේශයේ ජනතාවගේ අධ්‍යාපන ගැටලු, සෞඛ්‍ය ගැටලු, රැකියා ගැටලු ආදී ගැටලු රැසකට විසඳුම් ලබාදීම ඇතුළු මහජන සේවාවන් රැසක් එහි දී ක්‍රියාත්මක කෙරිණි.

මෙහි සමාප්ති උත්සවය ඇමතූ ජනධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධනය කාර්යක්ෂම කිරීම වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් ඉදිරියේ දී ක්‍රියාවට නංවන බවයි. ඊට අදාළ සැලැස්ම සකස් කර කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සමාජ, ආර්ථික වශයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දී ඇති ගැටලුවලට මෙන්ම සංවර්ධනයේ පසුබෑමකට ලක් වූ දිස්ත්‍රික්කයේ සංවර්ධනයට එම වැඩපිළිවෙළ මඟින් පුළුල් වැඩ කොටසක් ඉටු වනු ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහි දී අදහස් දැක් වූ ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ රට වෙනුවෙන් එකට සිටිමු වැඩපිළිවෙළ කිසිසේත් දේශපාලන වැඩපිළිවෙළක් නොවන බවයි. එය දේශපාලන, ජාති, ආගම් ප්‍රශ්න අමතක කර රටේ ප්‍රශ්න විසඳීමට සියලුදෙනා එකට එක්වන වැඩපිළිවෙළක ප්‍රවේශයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. දීර්ඝ කාලයක් පුරා මහජනතාව මුහුණ දී ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් මහජන අවශ්‍යතා ඉටු කෙරෙන ‘රට වෙනුවෙන් - එකට සිටිමු’ වැඩසටහන ඉදිරියේ දී දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අද පැවැති පුත්තලම දිස්ත්‍රික් සමාප්ති උත්සවයේ දී ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් වෙනුවෙන් සූර්ය බල කෝෂ ප්‍රදානය, බීජ පැළ බෙදාදීම, කෘෂි උපකරණ බෙදාදීම සහ වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන යටතේ ගොවි විශ්‍රාම වැටුප් හිමිකම් ප්‍රදානය, ජල පෙරන කට්ටල බෙදාදීම, ඉඩම් බලපත්‍ර ලබාදීම ඇතුළු වැඩසටහන් ද, සමාජ සේවා වැඩසටහන යටතේ ආබාධිත පුරවැසියන් සඳහා රෝද පුටු බෙදාදීම, ස්වයං රැකියා උපකරණ කට්ටල ප්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණි.

ඇමැති ගයන්ත කරුණාතිලක, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, පාලිත රංගේ බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, වික්ටර් ඇන්තනී යන මහත්වරු ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. මේ අතර පුත්තලම දිස්ත්‍රික්, ස්මාර්ට් ශ්‍රී ලංකා, වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය ඊයේ (22) පෙරවරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි. සමරු ඵලකය නිරාවරණය කර වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. ස්මාර්ට් ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජනරාල් එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. පුත්තලම නාගරික ශ්‍රවණාගාරය ජනතා අයිතියට පවරාදීම ද ඊයේ පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ සියලු පහසුකම්වලින් සමන්විතව අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් ලෙස මේ ශ්‍රවණාගාරය ඉදිකර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර නව ශ්‍රවණාගාරය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිතර විය. පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න