එජාප-ජවිපෙ ප්‍රතිපත්තිමය එකඟතාවකට | දිනමිණ

එජාප-ජවිපෙ ප්‍රතිපත්තිමය එකඟතාවකට

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
සන්ධ්‍යා කරුණාරත්න

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිපත්තිමය එකඟතාවකට එළඹ ඇත. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර එම තීරණ පසුව දැනුම් දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණට දැනුම් දී තිබේ.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් හා ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාව පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අගමැතිවරයාගේ කාර්යාලයේ දී ඊයේ(22) පැවැත්විණ‍.

මෙම සාකච්ඡාව සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහභාගී වී ඇත.

ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වය නියෝජනය කරමින් එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, දේශපාලන මණ්ඩල සභිකයන් වන විජිත හේරත් සහ නලින්ද ජයතිස්ස යන මහත්වරු එක්වූහ.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ බව අගමැතිවරයා දැනුම් දුන් බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වය සඳහන් කළේය.

විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය ලබා ගත යුතුව ඇත.

මේ සඳහා සහාය ලබා ගැනීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සමඟ පසුගිය සති දෙකේ දී සාකච්ඡා කරන ලදි.

ඉදිරි සතිවල දී රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරන් සහ රිෂාඩ් බදියුදීන් යන සුළු පක්‍ෂ නායකයින් සමඟ ද ජනතා විමුක්ති පෙරමුණ සාකච්ඡා කිරීමට නියමිතය.

අදහස් 1ක් ඇත

No reason of changing the wonderful vehicle for the trip, if you cannot find a magnificent driver to drive it!

නව අදහස දක්වන්න