ත්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවය අද | දිනමිණ

ත්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවය අද

චන්ද්‍රිකා පෙරේරා

ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රතිග්‍රහණය සඳහා වන ත්‍රිපිටකාභිවන්දනා ‘ජාතික මහෝත්සවය‘ අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගා මහ මළුවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

එහි දී ශ්‍රී ලාංකික ත්‍රෛනිකායික නාහිමිවරුන්ගේ මූලාසනාරූඪත්වයෙන්, සෙසු ස්වාමීන් වහන්සේලාගේ හා ථෙරවාදී බුදු දහම ඇති විදේශවල ද නියෝජනයෙන් ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව සාමුහික යෝජනාවක් ලෙස ඉදිරිපත් කෙරේ.

‍මීට සමගාමීව ඉකුත් 16දා දීප ව්‍යාප්තව ආරම්භ වූ ‘ත්‍රිපිටකාභිවන්දනා සතිය’ අද පැවැත්වෙන ජාතික මහෝත්සවයෙන් අවසන් වෙයි. ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රතිග්‍රහණය සඳහා මේ ජාතික වැඩසටහන ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක කෙරිණි. වසර දෙදහස් පන්සියයකට අධික කාලයක සිට මේ දක්වා හෙළ භික්ෂු පරම්පරාවේ මූලිකත්වයෙන් රාජ්‍ය අනුග්‍රහය යටතේ සුරක්ෂිතව රැගෙන නිර්මල ශ්‍රී සද්ධර්මය සහිත ත්‍රිපිටකය ලෝකවාසී හා මෙරට ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා තව දුරටත් ආරක්ෂා කිරීමට ගත් පියවරක් ලෙස ඉකුත් ජනවාරි 05 දා සිට එය ජාතික උරුමයක් බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එහි දිගුවක් ලෙස මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි, ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වූ ශ්‍රී ලංකාව ථෙරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය යටතේ අවශ්‍ය පියවර ගන්නා ලදී. ඒ අනුව හෙළ බොදු ජනතාවගේ මෙන්ම ලෝකවාසී බෞද්ධයාගේ පහන් සංවේගය ඇති කරමින් සියලු ජනකොටස්වල හිතසුව පිණිස ත්‍රිපිටකය ලෝක උරුමයක් කොට ආරක්ෂා කර සියලු ජනතාවට එයින් ප්‍රයෝජන ගැනීමට අවස්ථාව උදා කිරීමට තීරණය කර තිබේ.

එම ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනීමට 16 සිට 23 දක්වා සතියක් මුළුල්ලේ ‘ත්‍රිපිටකාභිවන්දනා සතිය’ ජාතික කර්තව්‍යක් ලෙස ක්‍රියාවට නැංවිණි.

මෙරට බෞද්ධ සම්ප්‍රදායේ මූලාශ්‍ර ග්‍රන්ථ වශයෙන් සැලකෙනුයේ පාලි ත්‍රිපිටක ග්‍රන්ථයයි. සූත්‍ර, විනය හා අභිධර්මය යන පිටක තුනට අයත් පාලි ග්‍රන්ථ මෙහි පරිවාර ග්‍රන්ථ වන අට්ඨකතා හා ටීකා ද ත්‍රිපිටක ධර්මයට අතුළත්වේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටිය දී ‘නවංගසත්ථුසාසන’ යනුවෙන් කොටස් නවයකට බෙදා තිබුණු අතර, එය ප්‍රථම සංගායනාවේ දී විනය, සුත්ත, අභිධර්ම පිටක තුනකට වෙන්කර ගැනිණි. එම ධර්මය හෙළ භික්ෂූන්වහන්සේ දිවිහිමියෙන් සුරක්ෂා කර ග්‍රන්ථාරූඪ කළ ත්‍රිපිටකය සියලු ලෝකවාසී ජනතාවගේ හිතසුව පිණිස මෙසේ ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් පියවර ගෙන ඇත.


නව අදහස දක්වන්න