ජනපති මෛත්‍රීපාල සිරිසේන යළි ජනපති කිරීම අපේ බලාපොරොත්තුවයි | දිනමිණ

ජනපති මෛත්‍රීපාල සිරිසේන යළි ජනපති කිරීම අපේ බලාපොරොත්තුවයි

අමිල ප්‍රභාත් වනසිංහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපේ බලාපොරොත්තුව වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වතාවක් ජනාධිපති කිරීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට නැවත ඉදිරිපත් වෙන්නේ නෑ කියනවා නම් තමයි වෙනත් අපේක්ෂකයෙක් පිළිබඳ කතා කරන්නේ යැයිද ඒ මහතා කීය. නොච්චියාගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේද කීය.

මම 2014 නොවැම්බර් මාසේ 21 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්ක පැවති ආණ්ඩුවෙන් එළියට ගිහින් එතුමාව ජනාධිපතිවරයා බවට පත් කළා වගේම, එදා ඉඳන් අද වෙනකම්ම මගේ හැම ප්‍රකාශයකම මම කියලා තියෙන්නේ නැවත වතාවක් ජනාධිපති කරන්නේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවමයි. ඒක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපේ බලාපොරොත්තුව. බැරි වෙලා හරි එතුමා ජනාධිපතිවරණයට නැවත ඉදිරිපත් වෙන්නේ නෑ කියනවා නම් තමයි අපි වෙනත් අපේක්ෂකයෙක් පිළිබඳව කතා කළ යුතු වන්නේ. අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට එතුමා කරගෙන ආව වැඩපිළිවෙළ ඉදිරියටත් කරගෙන යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා විදිහට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තමයි ඉදිරිපත් විය යුත්තේ කියලා අපි හැමදාම කතා කර තියෙනවා.වෙනත් පක්ෂයක් කවුරු හරි වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා නම් අපිට විරුද්ධ වෙන්න පුළුවන්කමක් නෑනේ.අපිට පුළුවන් මැතිවරණයකට ගියාම අපේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවන්න. ජනතා විමුක්ති පෙරමුණෙන්, එක්සත් ජාතික පක්ෂයෙන් සමහර විට දෙමළ ජාතික සංවිධානයෙන් අපේක්ෂකයෙක් දාන්න පුළුවන්. තවත් පක්ෂයකින් අපේක්ෂකයෙක් එන්න පුළුවන්.ඒ අපේක්ෂකයෝ පිළිබඳව අපිට දැන්ම කතා කරන්න බෑ. නාමයෝජනා භාර දුන්නාට පස්සේ නම් එක එක අපේක්ෂකයාගේ තත්ත්වය ගැන කියන්න පුළුවන්.ඉදිරියේදී අපිට මේවා පිළිබඳ සාකච්ජා කරන්න පුළුවන්, තාමත් එක එක පක්ෂවලින් තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා මිසක් තවමත් අවසන් අදහසක් කොහෙන්වත් ප්‍රකාශ වෙන්නේ නෑනේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ අතරත් සාකච්ජාවක් පැවැත්වුණා. එහි පළමු අදියර අවසන් වුණා. දෙවැනි අදියරේ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි.අපි බලමු ඒ සාකච්ජාවල ප්‍රතිඵලය මොකක්ද වෙන්නේ කියලා.මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මොනම රැස්වීමකටවත් නොගිහින් ඉඳලා නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු රැස්වීම්වලට මම යනවා.නමුත් සමහර සාකච්ජාවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නම් කරපු කණ්ඩායමක් තමයි සම්බන්ධ වෙන්නේ.


නව අදහස දක්වන්න