බැසිල්ට - රිෂාඩ්ට එරෙහි නඩුව ජූනි 28දා විභාගයට | දිනමිණ

බැසිල්ට - රිෂාඩ්ට එරෙහි නඩුව ජූනි 28දා විභාගයට

නෙල්කා මැදගෙදර

මන්නාරම, විලට්ටිකුලම් රක්ෂිතය එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් කිරීමට එරෙහිව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, ඇමැති රිෂාඩ් බදියුදීන්, වන සංරක්ෂණ ජනරාල්වරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (22) දින නියම කෙළේය.

ඒ අනුව එම පෙත්සම ජූනි මස 28 වැනිදා විභාගයට ගැනීමට නියම විය. සිවිල් ක්‍රියාකාරියකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න විසින් ගොනු කළ මේ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවෙහි ඊයේ (22) කැඳවන ලදි.

පෙත්සමෙහි වගඋත්තරකාර ඇමැති රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිස ‍ගොනු කළ මූලික විරෝධතා ඉදිරියේ දී සුදුසු අවස්ථාවක සලකා බැලීමට අධිකරණය තීරණය කළේය.

පෙත්සම්කරුවකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය ඉකුත් මාර්තු මස 13 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර තුනකට තහනම් කළ අතර, ඔහු සිවිල් පුරවැසියකු ලෙස පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

රජයේ නීතිඥ මනෝහාර ජයසිංහ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.


නව අදහස දක්වන්න