අනුරපුර රන් කොල්ලය: පොලිස් අධිකාරිවරයකුගෙන් ප්‍රශ්න කෙරේ | දිනමිණ

අනුරපුර රන් කොල්ලය: පොලිස් අධිකාරිවරයකුගෙන් ප්‍රශ්න කෙරේ

අනුරාධපුරයේ පිහිටි මූල්‍ය ආයතනයක් සහ ස්වර්ණාභරණ අලෙවි ස්ථාන තුනක් බිඳ රුපියල් කෝටි 20කට අධික මුදල් සහ ස්වර්ණාභරණ සොරා ගැනීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) උතුරු පළාතේ සේවයේ නිරත පොලිස් අධිකාරිවරයකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරනු ලැබීය.

රාත්‍රී කාලයේ මූල්‍ය ආයතන සහ ස්වර්ණාභරණ අලෙවි සල්වලට ඇතුළු වී සේප්පු කපා එම සොරකම් සිදුව ඇත්තේ 2015 සහ 2016 වසරවලදීය. ප්‍රසිද්ධ එක් මූල්‍යායතනයකින් රුපියල් ලක්ෂ 20ක මුදලක් සමඟ කෝටි දහයකට අධික වටිනාකමක් ඇති ස්වර්ණාභරණ කිලෝ 12කට ආසන්න ප්‍රමාණයක් ද ස්වර්ණාභරණ අලෙවි සල් දෙකෙන් කිලෝ 16ක් පමණ බරැති ස්වර්ණාභරණ ද සොරාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ කොල්ලකෑම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් එකල අනුරාධපුරයෙන් සිදුනොවීම නිසා ඒ සම්බන්ධයෙන් විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකල සේවයේ නිරතව සිටි තංගල්ල කොට්ඨාසය භාරව වත්මන් පොලිස් ප්‍රධානි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඒ අනුව එම සොරකම සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර තිරප්පනේ පදිංචිව සිටින ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත්තේය.

එම සොරකම්වලට පොලිසියේ පිරිසකගේත් සම්බන්ධයක් හෙළි වන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදීය. එම මූල්‍යායතන සහ ස්වර්ණාභරණ සොරකම් පොලිස් සැළසුමකට අනුව එවකට අනුරාධපුරයේ සිටි නම් දැරූ අපරාධකරුවකු වන එස්. එෆ්. බණ්ඩා නමැත්තා ඇතුළු පිරිසක් විසින් කළ බව සැකකරුවන් පවසා තිබිණි.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න