නවසීලන්තය වෙඩිතැබීමක් සහ පාඩම් මාලාවක් | දිනමිණ

නවසීලන්තය වෙඩිතැබීමක් සහ පාඩම් මාලාවක්

ධම්මික සෙනෙවිරත්න

නවසීලන්ත අග මැතිනිය කියා සිටියේ, තමා ප්‍රහාරකයාගේ නම හෝ සඳහන් කිරී‍ෙමන් වළකින බවය. ඔහු ත්‍රස්තවාදියෙක්, අපරාධකාරයෙක්, අන්තවාදියෙක් යනුවෙන් පැවසූ ඇය අපි නවසීලන්තය ඔහුට කිසිවක් දෙන්නේ නෑ, අඩුම තරමින් ඔහුගේ නමවත් දෙන්නේ නැතැයි පවසා තිබුණේ නවසීලන්තයේ අඳුරුම දිනය මාර්තු 15 වැනිදා බව දක්වමිනි.

නවසීලන්තය ප්‍රහාරක රයිෆල් සහ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි තහනම් කිරීමට පියවර ගෙන තිබේ. මෙතැන් සිට ඒවා අලෙවිය තහනම්ය. අගමැතිනි ජසින්ඩා ආර්ඩන් මෙම තීරණය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ එය ජාතික අභිලාෂයට එකඟව ගත් තීරණයක් බවය. යළි කිසි දිනෙක ත්‍රස්තවාදී ප්‍රහාරයකට ඉඩ නොතැබීම මෙහි අරමුණ බව ඇය කියා තිබිණි. නව නීති රෙගුලාසි අප්‍රේල් 11 වැනිදා සිට බලපැවැත්වේ. නවසීලන්තය මෙවැනි පියවරක් ගෙන ඇත්තේ 50 දෙනකුට මරු කැඳවමින් අන්ත දක්ෂිණාංශිකයකු විසින් මුස්ලිම් ‍දේවස්ථාන 2කදී සිදුකළ වෙඩි ප්‍රහාරවලින් සතියකට පසුවය. මේ සිදුවීම එරට ඉතිහාසයේ වාර්තා වූ දරුණුම ප්‍රහාරය ය.

ගිනි අවි තහනම

අගමැතිනියම ප්‍රකාශ කර ඇති පරිදි ප්‍රහාරකයා සිය ගිනි අවිය සහ පතරොම් වට 30 ක් සහිත මැගසිනය මිලදීගෙන ඇත්තේ කිසිදු අපහසුවකින් තොරවය. ඒ; අන්තර්ජාලය හරහාය. නීති ක්‍රියාත්මක වනතුරු මෙම අවි සංසරණය වැළැක්වීමට ද පියවර ගෙන තිබේ. ගොවීන් සඳහා පමණක් වගා හානි වළක්වා ගැනීමට අවශ්‍ය ගිනි අවි නිකුත් කිරීමට පියවර ගන්නා බව ද අගමැතිනිය පවසයි. අගමැතිනිය ගත් මෙම ක්‍රියාමාර්ග විචාරකයන්ගේ ප්‍රශංසාවට ලක්ව ඇත.

නවසීලන්ත රජය ගත් කඩිනම් පියවර නිදහස් ගිනිඅවි සංස්කෘතිය නිසා නිතර පීඩා විඳින අමෙරිකාව ද අනුගමනය කළ යුතු බව ඇතැම් විචාරකයන්ගේ අදහසය. අමෙරිකාව තුළින්ම ඊට හඬක් නැ‍ඟෙමින් පවතී. නවසීලන්ත ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුන්වා ඇති අතර ඊට යොදාගත් සෑම ගිනි අවි වර්ගයක්ම තහනම් කරන බවට අගමැතිනිය පවසා තිබිණි. අමෙරිකාවේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු වීමට ද ඉඩ ඇති ඩිමොක්‍රටික් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ද තම රට නවසීලන්ත ආදර්ශය අනුගමනය කළ යුතු යැයි පවසා ඇත. කොන්ග්‍රස් සභිකාවක වන ඇලෙක්සැන්ඩ්‍රා ඩකාසියෝ ද සැන්ඩිහුන් ප්‍රාථමික පාසලේ සිදුවීමෙන් පසුවවත් අමෙරිකාව එවැනි පියවරක් ගැනීමට අසමත් වූ බව පෙන්වා දී තිබිණි. එම ප්‍රහාරයට මේ වන විට වසර 6 ක් ගතවී ඇත.

නවසීලන්ත පොලිස් කොමසාරිස් මයිකල් බුෂ් පවසන පරිදි එරට තුළ ගිනිඅවි භාවිත කරන සංඛ්‍යාව 250,000 ක් පමණ වේ. කෙසේ වුවද ඒ අතරින් අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි භාවිත කරන සංඛ්‍යාව කොපමණ දැයි ඔහු දක්වා නැත. වෙනත් සංඛ්‍යාලේඛනවලට අනුව නවසීලන්තයේ මිලියන 1.5 ක් දෙනා ගිනිඅවි භාවිත කරති. එනම් සෑම දසදෙනකුගෙන්ම අයකු අත ගිනි අවියක් තිබේ. අමෙරිකාවේ සෑම අයකු අත පාහේ ගිනි අවි ඇත.

නවසීලන්ත ප්‍රහාරය ජාතියක් ලෙස ඔවුන් තුළ වෙනසක් ඇතිකිරීමට තරම් බලපෑමක් ඇතිකර ඇති අයුරු දැකිය හැකිය. ආරක්ෂක අංශ විසින් භාවිත කරන අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි සාමාන්‍ය ජනයාට අනවශ්‍ය බවට මේ වන විට පිළිගැනීමක් ඇතිවී තිබේ. එකී පිළිගැනීම රජයේ නව නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී පහසුවක් වනු ඇතිවාක් මෙන්ම එම ක්‍රියාමාර්ග ඵලදැරීමට ද බලපානු ඇත.

අන්තවාදීන් විසින් සිය ක්‍රියාකාරකම් සඳහා සමාජ මාධ්‍ය යොදාගනිමින් තිබීම ද නවසීලන්ත ප්‍රහාරයත් සමඟ යළි අවධානයට ලක්ව තිබේ. එම ප්‍රහාරය මුල් පෙළේ සමාජ මාධ්‍ය කිහිපයක්ම සජීවීව විකාශනය කිරීම සංවාදයට ලක්ව ඇත. එය අන්තවාදී ක්‍රියාකාරකම් දිරිගැන්වීමට හේතුවක් බව මෙන්ම මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක්ද විය හැකි බව ඇතැම් පාර්ශ්වවල අදහසය.

ෆේස්බුක්, ගූගල් හා ට්විටර් යන අමෙරිකානු සමාජ මාධ්‍යයන්ට මෙම චෝදනාව එල්ල වී ඇත. ෆේස් බුක් හි විකාශනය වූ වීඩියෝව ට්විටර් හා යූ ටියුබ්වලට ද ව්‍යාප්ත වී තිබිණි. එය වන්දි අයකර ගැනීමට තරම් වරදක් බව නවසීලන්ත අරමුදල් බලධාරීන්ගේ අදහසය. නවසීලන්ත ප්‍රහාරය හිංසාකාරී හා ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා සමාජ මාධ්‍ය යොදාගැනීමට ඇති හැකියාව ගැන ප්‍රබල නිදසුනක් බව පෙන්වා දී තිබේ.

ප්‍රහාරකයා විසින් මුදාහැර තිබූ වීඩියෝව ඉවත් කළ බව ෆේස්බුක් ප්‍රකාශ කර ඇත. එහෙත් විනාඩි කිහිපයක් තුළ එය 4000 වතාවක් නරඹා තිබිණි. පැය 24 ක් තුළ වීඩියෝ දර්ශන 300,000 ක් ඉවත් කර ඇති අතර ඒවා එක්කිරීමට දරන ලද ප්‍රයත්න මිලියනයකටත් වඩා අවුරා තිබිණි. යූ ටියුබ් විසින් ද දසදහස් සංඛ්‍යාත වීඩියෝ දර්ශන ඉවත් කර ඇත. ප්‍රහාරකයා වර්ණනා කළ ගිණුම් සිය ගණනක් වසා දැමූ බව ද පැවැසිණි.

ට්විටර් ද කියා ඇත්තේ දිගින් දිගටම අධීක්ෂණ‍ෙයන් පසුවන බවය. එවැනි දර්ශන නැරඹීමෙන් හෝ බෙදාගැනීමෙන් වළකින ලෙස ද ඉල්ලා ඇත.

මේ සමඟ නවසීලන්ත ප්‍රහාරය ජනමාධ්‍යවේදීන්ට ද නව අභියෝග එල්ල කර ඇති බවට මත පළවේ. ඉන් ප්‍රධාන අභියෝගයක් නම් මෙවැනි ප්‍රහාරයක් වාර්තා කිරීමය. නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවකට අනුව තුවක්කුකරුවා විසින් ම අන්තර්ජාලය උපයෝගී කරගනිමින් එම දර්ශන විකාශනය කරද්දී මෙය විකාශනය කිරීම පිළිබඳ පිළිගත් මාධ්‍යයට ගැටලු ඇතිවිය.

තාක්ෂණය අයථා භාවිතය මෙන්ම සමාජ මාධ්‍ය සදාචාරාත්මක නොවන ලෙස හැසිරවීම මෙහිදී සිදුව තිබිණි. වෙඩි තැබීමකදී බෝම්බ පිපිරීමකදී හෝ යුද ගැටුමකදී එම සිදුවීමේ දර්ශන ප්‍රචාරය කිරීම පිළිබඳ සම්මත මාධ්‍යයට ආචාර ධාර්මික ප්‍රමිතීන් තිබේ.

වැරදි ප්‍රචාරණය

එහෙත්, ‍ඒ කිසිවක් නොතකා හරිමින් නවසීලන්ත ප්‍රහාරයේ දර්ශන සමාජගත විය. ඒ ඇසින් දුටුවකුගේ, මාධ්‍යවේදියකුගේ හෝ නීති ක්‍රියාත්මක කරන බලධාරියකුගේ කෝණයෙන් නොව, ප්‍රහාරකයාගේම කෝණයෙනි. බරපතළ කාරණය එයයි. මෙහිදී එම දර්ශන කිසිවක් විකාශනය නොකිරීමට තම සංස්කාරක මණ්ඩලය තීරණය කළ බව නිව්යෝර්ක් ටයිම්ස් පවසා තිබේ. ත්‍රස්තවාදියා පිළිගැනීම හා ප්‍රචාරය අපේක්ෂා කරන විට එයට ප්‍රසිද්ධියක් ලබාදීමෙන් කරන්නේ ද එය අනුමත කිරීමකි. ප්‍රහාරයෙන් පසුව නවසීලන්ත අගමැතිනිය පවා ප්‍රහාරකයාගේ නම හෝ සඳහන් කිරීමෙන් වැළැකිණි. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ප්‍රහාරකයාගේ කුඩා සේයාරුවක් ඇතුළු පිටුවක පළකර තිබිණි. එය මුල් පිටුවේ හෝ වෙබ් අඩවියේ ප්‍රධාන පිටුවේ පළකිරීමෙන් වැළැකීමට ඔවුහු වගබලා ගත්හ.

ත්‍රස්තවාදීන්ගේ උපාය උපක්‍රම දෙස බලන විට මාධ්‍යවේදීන් ද මනා දැනුවත්භාවයකින් ක්‍රියාත්මක විය යුතු බව ප්‍රවීණයන්ගේ අදහසය. නවසීලන්තයේ ප්‍රහාරක හා අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි තහනම ප්‍රකාශයට පත්වන විට ඉකුත් 21 වැනිදාට වාර්ගිකව වෙන් ‍නොකර සැලකීමේ අන්තර්ජාතික දිනය ද යෙදී තිබිණි. මෙවර එහි ‍තේමාව ද අන්තවාදී ව්‍යාපාරවල නැඟීමත් සමඟ සම්බන්ධය. සංක්‍රමණිකයන්, සරණාගතයන් සහ අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් වෙන්කොට සැලකීම බොහෝවිට දැකිය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පෙන්වා දේ. වර්ගවාදය පිටුදැකීම අරඹයා නව යෝජනාවක් ද සම්මත විය. ‍

මුස්ලිම් ප්‍රජාව

නවසීලන්ත ප්‍රහාරය ද වාර්ගිකව අන්තවාදීව මෙහෙයවුණු දක්ෂිණාංශික‍යකුගේ ක්‍රියාවකි. එය සිදු වූයේ මීට දින කිහිපයකට ඉහත දී බැවින් එය ද මීට සමගාමීව විශ්ලේෂණය කෙරෙමින් තිබේ. මාර්තු 21 වැනිදා දිනය වාර්ගිකව වෙන්කොට නොසැලකීමේ ජාත්‍යන්තර දිනය වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ප්‍රකාශයට පත්කළේ 1960 මාර්තු 21 වැනිදා දකුණු අප්‍රිකාවේ ෂාර්ප්විල්හිදී කළ පොලිස් වෙඩි තැබීමෙන් 69 දෙනකු මිය යාමත් සමඟය. 1966 පටන් වාර්ෂිකව එම දිනය සැමරීමට පියවර ගැනිණි.

නවසීලන්ත ප්‍රහාරයට වගකිවයුතු 28 හැවිරිදි තුවක්කුකරුවා තුන්වැනි ප්‍රහාරයක් ද සැලසුම් කර තිබූ බව අනාවරණ කර ගෙන ඇත. වාසනාවකට එය වළක්වා ගැනීමට හැකි විය. ඉලක්කය කුමක්වීදැයි හෙළිදරව් කර නොමැත.

ප්‍රහාරයත් සමඟ නවසීලන්තයේ ජීවත්වන මුස්ලිම් ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු වී ඇති බවට වගබලා ගත යුතු යැයි ද නවසීලන්ත අගමැතිනිය පවසා තිබිණි. මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන ප්‍රධානීන් හමුවීමට ද ඇය පියවරගෙන ඇත. ඉකුත් අඟහරුවාදා පාර්ලිමේන්තුව අමතමින් නවසීලන්ත අගමැතිනිය කියා සිටියේ, තමා ප්‍රහාරකයාගේ නම හෝ සඳහන් කිරී‍ෙමන් වළකින බවය. ඔහු ත්‍රස්තවාදියෙක්, අපරාධකාරයෙක්, අන්තවාදියෙක් යනුවෙන් පැවසූ ඇය අපි නවසීලන්තය ඔහුට කිසිවක් දෙන්නේ නෑ, අඩුම තරමින් ඔහුගේ නමවත් දෙන්නේ නැතැයි පවසා තිබුණේ නවසීලන්තයේ අඳුරුම දිනය මාර්තු 15 වැනිදා බව දක්වමිනි.

ගෝලිය අභියෝග

මේ සමඟ අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරකම් නිසා එල්ල වී ඇති ගෝලීය අභියෝගය ගැන අවධානය යොමුකළ යුතු බව ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වා දෙති. නවසීලන්ත ප්‍රහාරය මෙවැනි එකම සිදුවීම නොවේ. 2007 - 2011 කාලසීමාව තුළ අමෙරිකාවෙන් ද එවැනි ප්‍රහාර 5 ක් වත් වාර්තා විය. 2012 දී ප්‍රහාර 14 කි. 2017 දී 31 කි. 2018 ඔක්තෝබරයේ පෙන්සිල්වේනියාවෙන් වාර්තා වූ 11 දෙනකු ජීවිතක්ෂයට පත්වූ ප්‍රහාරය ද මෙවැන්නකි. නෝර්වේ හිදී 2011 ජූලි මස සිදුවූ ප්‍රහාරයෙන් 80 දෙනකුවත් මිය ගියේය. මේ සියල්ලෙන් පෙනෙන්නේ අන්තවාදී ප්‍රහාරවල වර්ධනයක් ඇති බවය. මුස්ලිම් අන්තවාදී ප්‍රහාර වැඩිවන විට ඊට ප්‍රතිචාර වශයෙන් මෙසේ අන්ත දක්ෂිණාංශික ප්‍රහාර ද වාර්තා වෙමින් තිබේ. මෙය ‘ඉස්ලාම් පෝබියා’ තත්ත්වය නිසා සිදුවන්නක් බව විශ්ලේෂකයන්ගේ අදහසය. ඒ බොහොමයක් සංවිධානාත්මක කණ්ඩායම්වල ක්‍රියාවන් නොව තනි පුද්ගල ක්‍රියාය. කෙසේ වුවද එය අභියෝගාත්මක ප්‍රවණතාවක් ලෙස නැ‍ඟෙමින් ඇති අයුරු දක්නට තිබේ.

නව අදහස දක්වන්න