ශ්‍රී ලංකා පිල බින්දුවට වැටෙයි | දිනමිණ

ශ්‍රී ලංකා පිල බින්දුවට වැටෙයි

දකුණු අප්‍රිකාවේදී තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 5-0කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා පිලට ඊයේ ජොහැන්නස්බර්ග් හිදී නිමාවූ විස්සයි20 තරගාවලියෙනුත් 3-0කින් පරාජයට පත්වීමට සිදුවිය.

පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විශාලය හේතුවෙන් දෙපිල අතර ඊයේ පැවැති තෙවැනි සහ අවසන් විස්සයි20 තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට ලකුණු 45ක පරාජයක් අත්විය.

ඕවර 11.1කදී කඩුලු 6කට ලකුණු 111ක් ලබා සිටියදී ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධාවූ අතර ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඕවර 17කදී ලකුණු 183ක ඉලක්කයක් සමගින් ආරම්භවු තරගයේදී ශ්‍රී ලංකා පිලට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 137ක් පමණි.

අකිල ධනංජය සමගින් ඉසුරු උදාන පන්දු 35කින් ලකුණු 72ක් හඹායෑම ඇරඹුවත් වර්ෂාවෙන් පසු උදානට තවත් මුහුණදිය හැකිවූයේ පන්දු 11කට පමණි. හයේ පහර 4ක් සමගින් පන්දු 23කින් ලකුණු 36ක් ලබාසිටි ඔහු, පෙලුක්වායෝගේ පන්දුවක් හමුවේ ඩේවිඩ් මිලර් උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගිය අතර අවසන් කඩුලු 3 ද ලකුණු එක්වීමට පෙර බිඳ වැටුණේ දකුණු අප්‍රිකාවට ලකුණු 45ක ජයක් අත්කර දෙමිනි.

උදාන දැවී ගිය ඕවරයේ අවසන් පන්දුවෙන් නායක ලසිත් මාලිංග ලකුණු ලබාගැනීමට පෙර දැවී ගිය අතර ලුතෝ සිපම්ලා යැවූ 16 වැනි ඕවරයේ පළමු පන්දුවෙන් අකිල ධනංජය (9) සහ සිවුවැනි පන්දුවෙන් සුරංග ලක්මාල් (0) දැවී යෑමත් සමග ඉනිම නිමාවට පත්විය.

ලකුණු 199ක ඉලක්කය හඹා යෑම ඇරැඹු ශ්‍රී ලංකා ඉනිමට වේගවත් ආරම්භයක් ලබාදීමට නිරෝෂන් දික්වැල්ල උත්සහ කළත් පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් පරාජය වැළද ගැනීමට සිදුවිය.

පිතිකරණයේ උසස්වීමක් සමගින් ඉනිම ඇරැඹු ධනංජය ද සිල්වා පන්දු 9කින් ලකුණු 8ක් රැස්කර පළමු කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 42 දීය. මුළු ලකුණු 55දී දික්වැල්ල දැවී යෑමත් සමග ලකුණු 6ක් තුළ කඩුලු 3ක් බිඳ වැටීමෙන් ශ්‍රී ලංකා පිල අසීරු තත්ත්වයකට පත්විය. හතරේ පහර 7ක් සමගින් පන්දු 22කින් ලකුණු 38ක් ලබාසිටි දික්වැල්ල, ඇන්ඩිල් පෙලුක්වායෝ යැවූ ඉනිමේ 6 වැනි ඕවරයේ දෙවැනි පන්දුවෙන් දැවී ගිය අතර 5 වැනි පන්දුවෙන් අවිශ්ක ප්‍රනාන්දු (1) සහ ඊළඟ ඕවරයේ පළමු පන්දුවෙන් කමිඳු මෙන්ඩිස්ද (1) නරඹන්නන් බවට පත්වූහ.

මෙන්ඩිස් දවාගත් ජුනියර් ඩලා දෙවැනි කඩුල්ල ලෙස ඇන්ජලෝ පෙරේරා (5 වැනි කඩුල්ල) දවා ගන්නා විට මුළු ලකුණු සංඛ්‍යාව 79ක් විය. ඔහු පන්දු 10කදී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 15ක් රැස්කළ අතර මේ සංචාරය පුරා ලකුණු අතරට පිවිසීමට අසමත් වූ තිසර පෙරේරා පන්දු 8කින් ලකුණු 8ක් ලබාසිටිදී දුවද්දි දැවී යෑමට හසුවිය. ශ්‍රී ලංකා ඉනිමට වර්ෂාවෙන් බාධා වනවිට ඉසුරු උදාන පන්දු 12කදී හතරේ පහර 3ක් සමගින් ලකුණු 25ක් සහ අකිල ධනංජය ලකුණක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

විස්සයි20 තරග 3කට ක්‍රීඩා කර තිබූ ඩ්වේන් ප්‍රිටෝරියස් පිතිකරුවකු ලෙසින් එක්වූ පළමු තරගයේදීම නොදැවී ලකුණු 77ක් රැස් කරමින් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඉනිම ලකුණු 198ක් දක්වා රැගෙන ගියේය. ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 15ක් ලබාසිටි ඒඩ්න් මාක්‍රම් පිටියෙන් ඉවත් කිරීමට කුසල් මෙන්ඩිස් වෙනුවට ඊයේ තරගයට කැඳවූ සුරංග ලක්මාල් සමත්වූ අතර අනතුරුව රීසා හෙන්ඩ්‍රික්ස් සමග එක්වූ ප්‍රිටෝරියස් දෙවැනි කඩුල්ලට පන්දු 55කින් ලකුණු 90ක්ද, තෙවැනි කඩුල්ලට නායක ජේ.පී.ඩුමිනි සමගින් පන්දු 30කින් නොබිඳුණු ලකුණු 71කද සබඳතා පිහිටවුහ.

ජෙෆ්රි වැන්ඩසේගේ පන්දුවක් හමුවේ රීසා දැවී යෑමෙන් ප්‍රිටෝරියස්-රීසා සබඳතාව නිමාවට පත්වූයේ මුළු ලකුණු 127දීය. මේ තරගාවලියේ පිට පිට දෙවැනි අර්ධ ශතකය රැස්කළ රීසා පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 66ක් රැස් කළේය. සිය මංගල අර්ධ ශතකය රැස් කළ ප්‍රිටෝරියස් පන්දු 42කදී හතරේ පහර 7කින් සහ හයේ පහර 2කින් ඉනිම සරසා ගත්තේය. පන්දු 14කට මුහුණදුන් ඩුමිනි වේගවත් පිතිහරඹයක් දියත් කළේ හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 34ක් ඉනිමට එක් කරමිනි.

 

නව අදහස දක්වන්න