හොර පාරෙන් ප්‍රාඩෝ එකක් එකලස් කළ 4ක් කොටු | දිනමිණ

හොර පාරෙන් ප්‍රාඩෝ එකක් එකලස් කළ 4ක් කොටු

ටොයොටා වර්ගයේ ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ මෝටර් රථයක කොටස් ජපානයෙන් ආනයනය කර එම කොටස් එකලස් කොට රහසිගතව මෝටර් රථයක් සකස් කිරීමෙන් පසු එය අලෙවි කිරීමට කටයුතු කරමින් සිටි පුද්ගලයන් සිවු දෙනකු සමග එම මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට මීටියාගොඩ පොලිස් නිලධාරීහු සමත් වූහ.

එකලස් කරන ලද සුඛෝපභෝගී එම මෝටර් රථය රුපියල් ලක්ෂ දෙසීයක් පමණ වටිනා බව පොලීසිය පැවසුවේය. පොලිස් නිලධාරීන්ට ලැබුණ තොරතුරක් අනුව හික්කඩුව කලුපේ ප්‍රදේශයේ නිවසක මෙම මෝටර් රථය සඟවා තිබූ බවත් පොලීසිය තව එක් දිනක් හෝ ප්‍රමාද වූයේ නම් මෙම මෝටර් රථය අත් අඩංගුවට ගැනීමට නොහැකි වන බවත් පොලීසිය පැවසීය.

මෝටර් රථ අමතර කොටස් ආනයන කිරීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යන කරන්දෙණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මෙම මෝටර් රථයේ කොටස් ආනයනය කර ඇති බවද ඔහු ද පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කළේය. මෙම වාහනයට සවි කොට තිබූ අංක තහඩුව ව්‍යාජ එකක් බවත් එම අංකය පිළබඳ පරීක්ෂා කිරීමේදී එම අංකය සහිත ප්‍රාඩෝ වර්ගයේම සුඛෝපභෝගී මොටර් රථයක් දෙනියාය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතුව තිබෙන බවත් එම මෝටර් රථය විකිණීමට එම ව්‍යාපාරිකයා අන්තර්ජාලයේ දැන්වීමක් පළ කොට ඇති බවත් එම මෝටර් රථයේ අංක තහඩුවට සමාන ව්‍යාජ අංක තහඩුවක් එකලස් කරන ලද මෝටර් රථයට සවි කොට පල කරන ලද දැන්වීම හරහා එම මෝටර් රථය අලෙවි කිරීමට සැකකරුවන් සැලසුම් කොට තිබූ බවද පොලිස් පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

එකලස් කොට සකස් කරන ලද මෝටර් රථය දැනට මීටියාගොඩ පොලීසිය භාරයේ තිබිණි.

මෙයට සම්බන්ධ සැකකරුවන් හතර දෙනකු මීටියාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුවන් සිව් දෙනාම එක් අයකුට රුපියල් දෙලක්ෂ පනස් දහසක ශරීර ඇප තබා මුදා හැරීමට අධිකරණය නියෝග කොට තිබේ.

මෙම මෝටර් රථය සමග සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සහ අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රී යන මහත්ව්රුන්ගේ උපදෙස් අනුව සහ මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්.තුෂාර මහතාගේ අධීක්ෂණය යටතේ මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වරුෂවිතාන සහ පොලිස් කොස්තාපල් රාජපක්ෂ (82199) යන මහත්වරු විසිනි.

 

සටහන සහ ඡායාරූපය
අම්බලන්ගොඩ සමූහ
ආර්.ඤාණදාස 

නව අදහස දක්වන්න