හම්බන්තොට රුහුණු ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා | දිනමිණ

හම්බන්තොට රුහුණු ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා

මෙරට දැවැන්තම ආයෝජන ව්‍යාපෘති දෙකේ ඉදිකිරීම් අරඹමින් අගමැති කියයි

නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැතිව පසුගිය රජය විසින් ඉදිකළ ව්‍යාපෘතීන් නැවත සංවර්ධනය කර රුහුණු ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට හම්බන්තොට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොටදී ඊයේ (24) පැවසීය. එක් තිරසර ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස ශක්තිමත් සංවර්ධන පදනමක් සැකසී ඇති බව පැවසූ වික්‍රමසිංහ මහතා තම උපන්දිනය වෙනුවෙන් ලැබුණු වටිනාම ත්‍යාගය හම්බන්තොට තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව බව යැයි සිහිපත් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ හම්බන්තොට උදාව වැඩසටහන යටතේ ඊයේ (24) හම්බන්තොට, මිරිජ්ජවෙල වෙළෙඳ කලාපයේ ඉදිකිරීමට යෝජිත නව තෙල් පිරිපහදුවට සහ සිමෙන්ති කර්මාන්තශාලාව සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ඕමාන් රජයේ ගෑස් හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍යවරයා වන මොහොමඩ් බින් හමාඩ් අල් රුමි මහතාය.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් Silver park International pet ltd නැමති තෙල් පිරිපහදු කර්මාන්තශාලාව ඉදිකීරීම සඳහා මුල්ගල තැබීමෙන් පසු එම ස්ථානයට ආසන්නයේ ඉදිවන Ceylon Steel corporation නැමති සිමෙන්ති කර්මාන්තශාලාව සඳහාද මුල්ගල තැබුවේය.

හම්බන්තොට, මිරිජ්ජවෙල වෙළෙඳ කලාපයේ ඉදිකළ මේ අයෝජන ව්‍යාපෘති දෙක ඉතිහාසයේ විශාලතම ආයෝජන ව්‍යාපෘති දෙක වන අතර එම ව්‍යාපෘති දෙකෙහි මුළු ආයෝජන වල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 4ක් වේ.

මේ කර්මාන්ත දෙක මගින් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 3500ක් පමණ උත්පාදනය වන අතර මේ කර්මාන්ත දෙක මිරිජ්ජවෙල වෙළෙඳ කලාපයේ ඉදිවීමත් සමග එහි සමස්ත භූමි ප්‍රමාණය තුළ ආයෝජන ලබාදීම අවසන් වේ.

2015 ජනාධිපතිවරණයේදී හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය, සම්මන්ත්‍රණ ශාලා, සම්පූර්ණයෙන්ම හිස්ව තුබූ බවත් අද ඒවා සක්‍රීය කිරිමට ආණ්ඩුවට හැකි වී‍ ඇති බවත් අගමැතිවරයා පැවසිය.

1967 වර්ෂයේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් පසු පළමු වරට වත්මන් රජය යටතේ මිරිජ්ජවෙල අපනයන සැකසුම් කලාපයේ තෙල් පිරිපහදු කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිවන බවත් මෙමගින් ප්‍රදේශයේ තරුණ, තරුණියන්ගේ විරැකියාවට විසදුමක් ලැබෙන බව වික්‍රමසිංහ මහතා පැවසීය.

හම්බන්තොට ප්‍රදේශයේ සිදුවන සීඝ්‍ර සංවර්ධනය මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට හම්බන්තොට පත්වන බවත් චීන, ඉන්දියානු, ලාංකික ආයෝජන හරහා හම්බන්තොට සිට මොනරාගල දක්වා වෙෙළඳ කලාප ඉදිකිරීමට බලාපොරොත්තු වනබව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගිය රජය විසින් 2015 දී එක්සත් ජාතික පක්ෂයට ලබාදුන් සුදු අලි පෙරහැරේ යන අලි බවට සංවර්ධනය කිරීමට හැකිවුණේ වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසා බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ හම්බන්තොට මිරිජ්ජවෙල කර්මාන්ත පුරයට විශේෂ අවදානය යොමුකර ඇත්තේ මූලික වශයෙන් භාණ්ඩ නිෂ්පාදනයට මෙන්ම වරාය සහ ගුවන්තොටුපළ දියුණු කිරීමට බව වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉදිරි මාස තුන තුළදී ශ්‍රී ලංකා සිවිල් ගුවන් අධිකාරි සහ ඉන්දියානු ගුවන් සේවා අධිකාරිය සමඟ ඒකාබද්ධව මත්තල ගුවන් තොටුපළ ලාභ ලබන තත්වයට පත්කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවත් 2015 මැතිවරණ වේදිකාවේ ජනතාවට දුන් පොරොන්දු එකින් එක ජනතාවට ලැබෙමින් තිබෙන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

අසේල ලියනගේ

නව අදහස දක්වන්න