අඛණ්ඩව 13 වැනි වරටත් ජනප්‍රියම වෙළෙඳනාමය සිංගර් | දිනමිණ

අඛණ්ඩව 13 වැනි වරටත් ජනප්‍රියම වෙළෙඳනාමය සිංගර්

ශ්‍රී ලාංකිකයන්ගේ අංක එකේ වෙළෙඳ නාමය ලෙස පසුගිය දළොස් වස පුරා වැජඹුණු ‘සිංගර්’ සිය ජනප්‍රසාදය තව දුරටත් තහවුරු කරමින් පසුගිය දා පැවැති SLIM-NIELSEN සම්මාන උළෙලේ දී අඛණ්ඩව 13 වැනි වරටත් ‘ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම වෙළෙඳ නාමය’ ට හිමි සම්මානයෙන් යළිත් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකා අලෙවි ආයතනය (SLIM) මෙරට ප්‍රමුඛතම සමීක්ෂණ ආයතනයක් වන NIELSEN ආයතනය සමඟ එක්ව වාර්ෂිකව සංවිධාන කෙරෙන මේ සම්මාන උළෙල පසුගිය දා වෝටර්ස් එජ් හෝටලයේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. දහතුන් වසරක් පාරිභෝගික හදවත් දිනා ගනිමින් සාර්ථකව ඉදිරියට ඇදෙන සිංගර් ශ්‍රී ලංකා සමාගම ජනප්‍රියතම වෙළෙඳ නාමයට අමතරව ‘වසරේ හොඳම පාරිභෝගික වෙළඳ නාමය’ (Consumer Durable Brand) සඳහා වන සම්මානය ද අඛණ්ඩව 13 වැනි වරටත් හිමි කර ගැනීමට සමත්විය.

මේ සම්මානය වඩාත්ම වැදගත් වන්නේ දිවයින පුරා විසිරී සිටින සියලුම වයස් කාණ්ඩවලට අයත් දහස් සංඛ්‍යාත පාරිභෝගිකයන්ගේ සහභාගීත්වයෙන් කරනු ලබන සමීක්ෂණයක් තුළින් ජයග්‍රාහකයන් තෝරා ගැනීමයි. එය සැබැවින්ම ජනතාව විසින් තෝරා දෙනු ලබන ජනතා සම්මානයක් වේ. විවිධ විෂයන් කෙරෙහි ජනතා අදහස් විමසමින් දිවයිනේ දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය කෙරෙමින් චිත්‍රපට, ටෙලිනාට්‍ය, ජනමාධ්‍ය, වෙළෙඳ නාම, විවිධ මාධ්‍ය නියෝජනය කරන පුද්ගලයන්, වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රයන්හි ජනප්‍රියතම නාමයට වාර්ෂිකව සම්මාන පිරිනැමෙන එකම අවස්ථාව වන්නේ මේ SLIM-NIELSEN සම්මාන උළෙලයි.

අඛණ්ඩව දහතුන් වසරක් ‘සිංගර්’ දිවයිනේ ජනප්‍රියතම වෙළෙඳ නාමය බවට පත් කළ සමස්ත ශ්‍රී ලාංකිකයන් හට පළමුවෙන්ම ස්තුති කරමින් මේ ජයග්‍රහණය පිළිබඳ අදහස් පළ කළ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ කුමාර සමරසිංහ මහතා මෙය අර්ථ ගැන්වූයේ විශිෂ්ටයන් අතරින් අතිවිශිෂ්ටයා තෝරා ගැනීමේ අවස්ථාවක් ලෙසය.

නව අදහස දක්වන්න