ශ්‍රී ලංකාවේ සංචා­ර­යට හොඳ ම ස්ථාන | දිනමිණ


 

ශ්‍රී ලංකාවේ සංචා­ර­යට හොඳ ම ස්ථාන

 

සංචාර සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් යා යුතුම ස්ථාන දහයක් සංචාරක මාර්ගෝපදේශන ආයතනය විසින් නම් කර ඇත. මෙහි දැක්වෙන්නේ එවැනි ආයතන කිහිපයකින් ම, නම් කර ඇති ස්ථාන පිළිබඳ තොරතුරුය. විවේකයක් ලද විට එම ස්ථානවල සංචාරය කරමින්, විනෝද වන්නට ඔබටත් පුළුවන.

 

1. සීගිරිය

ශ්‍රී ලංකාවේ අඩ තනි කලාපයේ පිහිටා ඇති සීගිරිය අයත් වන්නේ, මාතලේ දිස්ත්‍රික්කයටයි. සීගිරිය වටා මනරම් කඳු වළල්ලක් දකින්නට පුළුවන. නැඟෙනහිරින් නුවරගල සහ ගල්ළිඳ කඳු වැටි ද, දකුණෙන් කණ්ඩලම කඳු වැටිය ද, බස්නාහිරෙන් ලෙනදොර අරංගල වැටිය ද, උතුරෙන් රිටිගල කඳු වැටිය ද පිහිටා ඇත. සීගිරිය බලකොටුවක් සහ ආලකමන්දාවක් ලෙස ප්‍රකට ය. කාශ්‍යප රජතුමා ක්‍රි.ව. 477දී පමණ සීගිරිය රාජධානිය බවට පත් කර ගත්තේ යැයි ඉතිහාසයේ සඳහන් වේ. පර්වතය මුදුනේ ඇති රජ මාලිගය, ගඩොලින් තැනූ සිංහ රූපය, ලලනාවන්ගේ රුව රැගත් බිතු සිතුවම්, සීගිරි කැටපත් පවුර, ඇතුළු නුවර හා මළු පෙත්, ජල උද්‍යාන, දිය අගල් හා පවුර, කාගේත් අවධානයට යොමු විය යුතු ම සුවිශේෂ ස්ථාන ය. සීගිරිය සම්බන්ධයෙන් ජනප්‍රවාද රාශියකි. සීගිරිය ඉදි කළේ කාශ්‍යප රජතුමන්ම ද?, ඒ මතට ගමන් කිරීමට රහස් මං තිබුණේ ද? වැනි කාරණා පදනම් කරගෙන, මේ ජනප්‍රවාද ගොඩනැඟී ඇත.

2. ශ්‍රී පාදය

සමනල කන්ද හෙවත් ශ්‍රී පාදය ද, සංචාරකයකු දැක බලාගත යුතු ම ස්ථානයකි. සමනල කන්ද මුදුනේ ම, සිරි පතුල පිහිටුවා ඇත. එය ඇසුරු කරගත් බෞද්ධ සිද්ධස්ථානයක් ද ශ්‍රී පාදයෙහි ස්ථාපනය කර තිබේ. බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයේදී මෙරටට බුදු රදුන් වැඩම කළ අතර, එම අවස්ථාවේදී සිරි පා සලකුණ එහි පිහිටුවන්නට ඇතැයි සඳහන් වේ. මීටර 2,243ක් උසැති මේ කන්ද අයත් වන්නේ, රත්නපුර දිස්ත්‍රික්කයට ය. ශ්‍රී පාදය, කඳු පන්ති කිහිපයකින් වට වූ මනරම් ස්ථානයකි. එහි පිවිසීමට, මාර්ග හයක් පමණ ඇත. රත්නපුර - පලාබද්දල, හැටන් - නල්ලතන්නි, කුරුවිට - එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත, මාලිම්බොඩ මාර්ග ඒවා ය. නල්ලතන්නි හා පලාබද්දල මාර්ග ඒ අතරින් ඉතා ප්‍රකට ය.

ඈත අතීතයේ මෙරට පාලනය කළ රජවරුන් පවා ශ්‍රී පාදය වැඳ පුදා ගත් බව සඳහන් වේ. ශ්‍රී පාදය වන්දනා කළ පළමු රජතුමා කවරකුදැයි සඳහන් නොවේ. එසේ වුවත්, ක්‍රි.පූ. 29 සිට 17 දක්වා රජ කළ වළගම්බා රජතුමා, ශ්‍රී පාදය වැඳ පුදා ගත් බවට තොරතුරු ඇත. විජයබාහු, මහා පරාක්‍රමබාහු, හතර වැනි මිහිඳු, ශ්‍රී සංඝබෝධි යන රජවරුන් ශ්‍රී පාදය වැඳගෙන තිබේ. ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා ශ්‍රී පාදය සොයා ගත් බවට ජනප්‍රවාදයේ තොරතුරු ඇත. මේ නිසා, සමනල කන්ද නැගීම, ශ්‍රී පාද බෞද්ධ සිද්ධස්ථානය වන්දනාමාන කිරීම වගේ ම, ඒ ගැන කියැවෙන ජනප්‍රවාද සඳහන් වන මත, විශ්වාස වෙත අවධානය යොමු කිරීමත්, ඉතා රසවත් බැව් අමතක කළ නොහැකි ය.

3. ගාල්ල

ගාල්ල, දකුණු ලක අගනගරයයි. වර්ග සැතැපුම් 6.5ක පමණ සරියක් පුරා පැතිරී ඇති එය, යුනෙස්කෝ සංවිධානයෙන් ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ. ගාලු වරාය ඉන්දියන් සාගරයේ පිහිටි සුවිශේෂ ම වරායකි. පෘතුගීසීන් ඉදි කරන ලද ගාලු කොටුව, සංචාරකයකු නැරැඹිය යුතු ම ස්ථානයක් වන්නේය. යුරෝපීයයන් ආසියාවෙහි එදා ඉදි කළ, අද ද දක්නට ලැබෙන විශාලතම බලකොටුව එය බැව් සඳහන් වේ. පැරැණි ගාලු බලකොටුව තුළ, වෙරළට ආසන්නයෙන් ගාල්ල ප්‍රදීපාගාරය දකින්නට පුළුවන. පැරැණිත ම ඔර්ලෝසු කණු අතර, ගාලු කොටුව ඔර්ලෝසු කණුවට හිමි වන්නේ සුවිශේෂී තැනෙකි. එය ගාලු කොටු බැම්මෙහි ස්ථාපිත ය. හෙක්ටයාර 150 කින් සමන්විත රූමස්සල කන්ද වන දහන තිබෙන්නේ ද, ගාලු නගරයට නුදුරෙනි. බෙහෙවින් ම දුර්ලභ ශාක වර්ග, රූමස්සල කන්දෙහි දකින්නට පුළුවන. තෙත් කලාපයේ මෙන් ම වියළි කලාපයේ ශාක විශේෂ ද එහි ඇත. ගාල්ල ජාතික කෞතුකාගාරය පමණක් නොව, සමුද්‍ර කෞතුකාගාරයත් ගාල්ලට පිවිසෙන සංචාරකයකුගේ ඇස ගැටිය යුතුම ය.

4. යාල වනෝද්‍යානය

යාල ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලත ම ජාතික වනෝද්‍යානයයි. එය ඌව සහ දකුණු පළාත් දෙකට අයත් වේ. යාල වනෝද්‍යානය හෙක්ටයාර 97,000කට අධික බිම් ප්‍රමාණයක් පුරා පැතිරී ඇත. රක්ෂිතයෙන් වැඩි ප්‍රමාණයක් පතන බිම් ය. එහෙත්, වෙරළ ආශ්‍රිත ප්‍රදේශ, දිය උල්පත්, ගංඟා, පාෂාණ ශේෂ ,කඳු, ලඳු බිම් හා උස් බිම් ආදී විවිධ භූ ලක්ෂණ සහ විවිධ පරිසර පද්ධතිවලින් එය ගහන ය. යාල වනෝද්‍යානය, සත්ව විශේෂ බොහෝ ප්‍රමාණයකට අයත් සතුන්ට සෙවන සදන ස්ථානයකි. ලෝකයේ විශාලතම දිවි ගහනය එහි වසන බව සදහන් වේ. ආසියා අලින්, කිඹුලන්, වල් ඌරන්, කුළු හරකුන්, අළු රිලවුන්, මල් කොහා, ලංකා වලි කුකුළා, ඉන්දියානු මොනරා, ගෙල සුදු මුහුදු ලිහිණින්, අලි මානාවන්, ලතුවැකියන් එහි ප්‍රකට ය. වනෝද්‍යානයේ ප්‍රධාන වශයෙන්ම දැකිය හැකි වන්නේ, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර ය. කටු පඳුරු සහිත ලඳු කෑලෑ ද බහුල ය. ඇතැම් තැනෙක, වියළි මිශ්‍ර ගණ වනාන්තරත්, තවත් තැනෙක තෘණ භූමිත් තිබේ.

 

5. පොළොන්නරුව

අතීතයේදී විජයරාජ පුර, ජනනාථ පුරම්, ජනනාථ මංගලම් වශයෙන් හැඳින්වුණු පොළොන්නරුව, රාජධානියක් ද විය. ආක්‍රමණිකයන් පලවා හැර පළමු වැනි විජයබාහු රජු 1070දී පොළොන්නරුව අගනුවර කරගත් බව ඉතිහාසයේ දැක් වේ. ඔහුගෙන් පසුව පොළොන්නරුව රාජධානිය කරගත් මහා පරාක්‍රමබාහු රජු, රට සමෘද්ධිමත් කළ පාලකයා හැටියට හඳුන්වන්නට පුළුවන. පරාක්‍රමබාහු රජුගෙන් පසු පොළොන්නරුව රාජධානිය බවට පත් කර ගත් නිශ්ශංක මල්ල රජු, සාර්ථක පාලකයෙක් විය. ඉන් පසුව, සාර්ථක පාලකයකු එහි බිහි වූයේ නැත. පසු කලෙක රාජධානිය පොළොන්නරුවෙන් දඹදෙණියට මාරු විය.

බෞද්ධ ගෘහ නිර්මාණ, බෞද්ධ කලා නිර්මාණ මෙන් ම, හින්දු ගෘහ නිර්මාණ සහ හින්දු කලා නිර්මාණ ද, පොළොන්නරුවේ නටබුන් අතර දැකිය හැකි ය. පොළොන්නරුවට හින්දු ආභාසය ලැබුණේ, සොලී ආක්‍රමණ නිසා ය. ගල් විහාරය, පොත්ගුල් වෙහෙර, පොළොන්නරුවේ වටදාගෙය, රැස්වීම් ශාලාව, සත්මහල් ප්‍රාසාදය, රන්කොත් වෙහෙර, හැටදාගෙය, පැරකුම්බා පිළිමය, විජයන්ත ප්‍රාසාදය ආදී ස්ථාන පොළොන්නරුවේදී ඔබට දැක බලා ගන්නට පුළුවන. පොළොන්නරු දිස්ත්‍රික්කය තුළ සංචාරය කරන කෙනකුට, දිඹුලාගල, මැදිරිගිරිය, නාමල් පොකුණ, සිළුමිණ සෑය, මාදුරු ඔය,තොප්පිගල, ගිරිතලේ, ඇලහැර සහ කලහගල යන පෞරාණික ස්ථානවලට ද පිවිසිය හැකි ය.

6. බෙන්තොට

බෙන්තොට, දක්ෂිණ ශ්‍රී ලංකාවේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටියාවූත්, වෙරළාසන්නයට වූත්, අතිශයින් ම සුන්දර නගරයකි. එය, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් තැනක් ද වේ. මහා සාගරයත්, පුළුල් මෝය ප්‍රදේශයත් නිසා බෙන්තොට ප්‍රදේශය ඉතා සුන්දර තැනක් වී ඇත. ඒ සුන්දරත්වය විඳින්නට බොහෝ දෙනකු කැමැති ය. එහි ළඟාවන සංචාරකයන්ට, සුඛෝපභෝගී සංචාරක හෝටල් පහසුකම් මෙන් ම, ආයුර්වේද වෛද්‍ය ක්‍රම ලැබ ගන්නට අවකාශ ලැබේ. බෙන්තොට නිපදවන රා ද, බොහෝ දෙනකු අතර ජනප්‍රිය ය. හිනිඳුම ප්‍රදේශයේ හේකොක් කඳු වැටියෙන් ආරම්භ වන බෙන්තර ගඟ, කළුතර - ගාලු දිස්ත්‍රික්ක දෙක වෙන් කරන මායිම මෙන් ම, බස්නාහිර - දකුණු පළාත් දෙක වෙන් කරන මායිම ද වේ. බෙන්තර ගඟෙන් නැඟෙන අතු ගංඟා 18ක් නිසා, ඒ ප්‍රදේශය අලංකෘත ය. බෙන්තොට මහා විහාරය සහ තවත් පෞරාණික බෞද්ධ විහාර කිහිපයක්ම එහි ඇත.

7. මහනුවර

මහනුවර, නැත්නම් සෙංකඩගල නගරය, ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම නගරයයි. වර්ග කිලෝ මීටර 57කට ආසන්න බිම් ප්‍රමාණයක් පුරා විහිදී ඇති මහනුවර, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන තිබෙන්නේ ශ්‍රී දළදා මාලිගාව නිසා ය.

ලෝක උරුමයක් බවට පත් කර ඇති මහනුවර නගරයේදී, ඔබට දැක බලාගත හැකි ස්ථාන කිහිපයකි. ශ්‍රී දළදා මාලිගය, සතර මහා දේවාල, සෙංකඩගල රජ මාලිගය, මහනුවර ජාතික කෞතුකාගාරය, උඩවත්ත කැලේ, ලෝක බෞද්ධ කෞතුකාගාරය, බෝගම්බර හිර ගෙදර ඒ අතර ප්‍රධාන ය. ඒ හැරුණුවිට, මහනුවර ඔර්ලෝසු කණුව, ඓතිහාසික වතුර මල, ගිරාගම වලව්ව, ඇහැලේපොළ වලව්ව, පළමු ලෝක සංග්‍රාමයේ සිහිවටනය යනාදී තැන් , මහනුවරට පැමිණෙන බොහෝ දෙනකුට මඟ හැරෙන තැන් හැටියට හඳුන්වන්නට පුළුවන. එකී ස්ථානවල ඓතහාසික තොරතුරු ගැන සොයා බලන්නකුට, එම ස්ථාන කේන්ද්‍ර කරගත් ඉතා රසවත් මෙන් ම, ඉතා සංවේදී කතා රාශියක් දැනගන්නට ලැබෙනු ඇත.

8. නුවරඑළිය

මධ්‍යම කඳුකරයේ පිහිටි ඉතා සුන්දර නගරයක් ලෙස, නුවරඑළිය හඳුන්වන්නට පුළුවන. එය මුහුදු මට්ටමේ සිට මීටර 1,868ක් පමණ ඉහළින් පිහිටා ඇත. නුවරඑළිය, "පුංචි එංගලන්තය" වශයෙන් හඳුන්වන්නේ, යුරෝපයේ වැවෙන එළවළු, පලතුරු සහ මල් වර්ගවලින් බොහෝ ප්‍රමාණයක් එහි වැවෙන බැවිනි. තේ වගාවත් එහි ප්‍රකට ය. නුවරඑළියට පිවිසෙන සංචාරකයන්, හෝර්ටන්තැන්න, ලෝකාන්තය, බේකර්ස් ඇල්ල, ග්‍රෙගරි වැව, ලවර්ස් ලීප් ඇල්ල, සීතා අම්මාන් කෝවිල, වික්ටෝරියා උද්‍යානය, හග්ගල උද්භිධ උද්‍යානය, ගැල්වේස්ලෑන්ඩ් ජාතික උද්‍යානය, ග්ලේන් දිය ඇල්ල, අඹේවෙල ගොවිපොළ, ශාන්ත ක්ලෙයාර්ස් ඇල්ල සහ සඳතැන්න ආදී ස්ථාන නැරැඹීමටත් අමතක නොකරති.

9. ආරුගම්බේ

ශ්‍රී ලංකාවේ අග්නිදිග වෙරළ තීරයේ පිහිටි ආරුගම්බේ, ඉතාමත් සුන්දර තැනෙකි. ආරුගම්බේ ලොව පුරා ප්‍රචලිත වී තිබෙන්නේ, මුහුදු දිය මත ලිස්සා යෑමේ ක්‍රීඩාව හෙවත් සර්ෆින් ක්‍රීඩාව නිසා ය. එකී ක්‍රීඩාවට ලෝකයේ ඇති වඩාත් යෝග්‍ය මුහුදු තීරයක් හැටියට, ආරුගම්බේ හැඳින් වේ. ආරුගම්බේ වෙරළ තීරයේ සුන්දරත්වය වඩාත් හොඳින් උකහා ගත හැකි වන්නේ, හිරු මුහුදේ ගිලෙන විටදී ය. ආරුගම්බේ මුහුදු තීරය ආශ්‍රිතව කඩොලාන ශාක සහිත පරිසර පද්ධති දකින්නට ලැබේ.

10. දඹුල්ල

කොළඹ සිට කිලෝ මීටර 150ක් පමණ ඈතින් පිහිටි දඹුල්ල ප්‍රකට වන්නේ, දඹුල්ල රජමහා විහාරය නිසා ය. මෙරට විශාලත ම මෙන් ම, හොඳින් සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය එයයි. තැනිතලාවෙන් මතුවන ගිරි ශිඛර, මීටර 160ක් පමණ ඉහළට එස වේ. එහි ලෙන් 80කට වැඩි ගණනක් ඇති බවත් සඳහන් වේ. පිළිම සහ සිතුවම් අන්තර්ගත වන්නේ, ඉන් ලෙන් පහක පමණ ය. ඒවා බොහෝ දෙනකුගේ ආකර්ෂණයට ලක්ව තිබේ. ලෙන් සංකීර්ණයට ආසන්න ඉබ්බන්කටුව ප්‍රදේශයෙන් වසර 2700ක් පමණ පැරැණි මානව අස්ථි කොටස් සොයාගෙන ඇත. එම අස්ථි කොටස් හමු වූ ස්ථානයේ එකල සුසාන භූමියක් තිබෙන්නට ඇතැයි සැලකේ. බුදු දහම මෙහි රැගෙන එන්නට පළමුව, ප්‍රාග් ඓතිහාසික මානවයන් මේ ලෙන් ආශ්‍රිතව දිවි ගෙවූ බව, ඉන් තහවුරු වන්නේ යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.

අන්තර්ජාලය ඇසුරිනි

මංජුලා විජයරත්න

නව අදහස දක්වන්න