ව්‍යාපාරිකයා පැහැරගෙන කෝටි 2 1/2ක මැණික කොල්ල කාලා | දිනමිණ

ව්‍යාපාරිකයා පැහැරගෙන කෝටි 2 1/2ක මැණික කොල්ල කාලා

ගයාන් කුමාර වීරසිංහ

මීගමුවේ සංචාරක හෝටලයක රැඳී සිටි ව්‍යාපාරිකයකු පෙරේදා (24) දහවල් පැහැරගත් පිරිසක් ඔහු සතුව තිබූ රුපියල් කෝටි දෙකහාමාරක් පමණ වටිනා මැණික් ගලක් සහ රුපියල් 50,000ක මුදලක් කොල්ල කා ඇත.

අතුරුගිරියේ පදිංචිකරුවෙක් වන එම ව්‍යාපාරිකයා මීගමුව සංචාරක හෝටලයට ගොස් ඇත්තේ ඔහු සතුව ඇති මැණික් ගල මිල දී ගැනීමට ගැනුම්කරුවකු පැමිණෙන බැවින් යැයි මීගමුව පොලීසිය සඳහන් කරයි.

ගැනුම්කරුවන් ලෙස එම හෝටලයට පැමිණි කොල්ලකරුවන් උපක්‍රමශීලීව ඔහුව හෝටලයෙන් පිටතට ගෙන, පැහැරගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පැහැරගෙන යමින් සිටිය දී ව්‍යාපාරිකයාව මරා දමන බවට බිය ගන්වා මැණිකත් ඔහු සතුව තිබුණු රුපියල් 50,000ක මුදලකුත් කොල්ලකා ඔහුව මහ මඟ දමා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපාරිකයා සමඟ ඔහුගේ ආරක්ෂාවට දෙදෙනක් පැමිණ ඇති බවත්, ඔවුන් සම්බන්ධයෙන් යම් සැකයක් හටගෙන තිබෙන බැවින් පොලිස් භාරයට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව මීගමුව කොට්ඨාසයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරාල මහතා කීය.

නව අදහස දක්වන්න