මහ බැංකු හිටපු නි.අධිපති-පර්පචුවෙල් ට්‍රෙෂරීස් සභාපති ඇතුළු 5ක් අප්‍රේල් 5 තෙක් රිමාන්ඩ් | දිනමිණ

මහ බැංකු හිටපු නි.අධිපති-පර්පචුවෙල් ට්‍රෙෂරීස් සභාපති ඇතුළු 5ක් අප්‍රේල් 5 තෙක් රිමාන්ඩ්

අමෝදා ජයමහ

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී.සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම් සමුහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්, පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ සේවය කළ පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලුගල්ල සහ මුතුරාජා සුරේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් පස්දෙනා එළැඹෙන අප්‍රේල් (5) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ(25) නියෝග කළා ය.

ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර මහ බැංකු බැදුම්කර වංචාවට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම යන චෝදනා මොවුන්ට එරෙහිව ගොනු කර ඇත.

පස්වන සැකකරු වන පර්පචුවෙල් ටෙෂරිස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් යන අය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජීවන්ත ජයතිලක මහතා තම සේවාදායකයා මෙම මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධව ප්‍රකාශ ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට

විසිවතාවකට වඩා ගොස් ඇති බවත් විමර්ශන සඳහා අවශ්‍ය වන සියලු ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලබා දෙමින් විමර්ශන සඳහා සහයෝගය ලබා දී ඇති හෙයින් ද ඇප ලබා දීම තුළින් විමර්ශන සඳහා කිසිදු බලපෑමක් ඇති නො වන මනාව පැහැදිලි වන නිසාවෙන් තම සේවදායකයා හට සුදුසු ඇපයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

තව ද දහවන සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා 2015-02-27 මහබැංකු බැදුම්කර වංචාව සිදු වූ වකවානුවේ දී තම සේවාදායක වන හිටපු නියෝජ්‍ය අධිපති පී.සමරසිංහ යන අය ටෙන්ඩර් කැඳවීමේ ලෙස කටයුතු කළ ද මහ බැංකු අධිපති වන ලෙස කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් යන අයගේ මෙහෙය වීම මත සියල්ල සිදුකර ඇති බව ද අධිකරණය ඉදිරියේ පැවසු අතර තම සේවදායකයා හට ඇප ලබා දීම පරීක්ෂණ සඳහා බලපෑමක් ඇති කරවන කරුණක් නො වන හෙයින් ද සුදුසු ඇපයක් ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය කරුණු දක්වමින් පවසා සිටියේ ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ සැකකරුවන්ට චෝදනා ගොනුකර ඇති හෙයින් මහේස්ත්‍රාත් අධිකරණයට ඇප ලබා දීමේ බලතල තිබුණ ද රජයේ මුදල් භාවිත කරමින් සිදු කරන ලද විශාල වංචාවක සැකකරුවන් වන බැවින් හා රට තුළ ආන්දෝලනයට ලක් වූ සිද්ධියක් වන බැවින් සැකකරුවන්ට ඇප ලබා දීම හරහා මහජන කැළඹීමක් ඇති වීමට හැකියාව පවතින බැවින් ඇප පනතේ 04/01(අ) වගන්තිය ප්‍රකාරව ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළා ය.

සෙසු සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය නීතීඥ සංජය ගමගේ ඇතුළු නීතීඥයන් පිරිසක් පෙනී සිටිය හ.

නව අදහස දක්වන්න