අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් රඳවා ප්‍රශ්න කෙරේ | දිනමිණ

අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් රඳවා ප්‍රශ්න කෙරේ

අමෝදා ජයමහ

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9දෙනා ලබන 29 දා තෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (25) නියෝග කළාය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ඉරාන ජාතිකයන් 9දෙනා ඊයේ (25) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග ලබා දුන්නාය.

බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9දෙනෙකු කිලෝ 100කට අධික ප්‍රමාණයක් සමඟ පසුගිය දා (24) දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් කටයුතු කළ අතර, ඒ සඳහා නාවික හමුදාවේ සහාය ද ලබාගෙන තිබුණි.

එම යාත්‍රාව මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් වට කිරීමත් සමඟ එහි තිබූ මත්කුඩු කිලෝ 500කට අධික ප්‍රමාණයක් මුහුදට දමා ඇති බව ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

ඇෆ්ගනිස්තානයේ සිට මෙම හොරොයින් තොගය ලංකාවට ප්‍රවාහනය කර ඇති බවත් යාත්‍රාව පකිස්තාන ජාතික මත්ද්‍රව්‍ය සැපයුම්කරුවකුට අයත් එකක් බවත් මුලික විමර්ශන හරහා අනාවරණය වූ බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් කරුණු දක්වමින් අධිකරණයට පැවසීය.

 

නව අදහස දක්වන්න