පරිගණක කාර්යක්ෂමතාව ලේබල් කෙරේ | දිනමිණ

පරිගණක කාර්යක්ෂමතාව ලේබල් කෙරේ

රටේ විදුලි පරිභෝජනයෙන් 38%ක් ගෘහස්ත අංශයේ පරිභෝජනය සඳහා වැය වන අතර, කාර්යක්ෂම විදුලි උපකරණ භාවිත කිරීම සහ උපකරණ කාර්යක්ෂම ලෙස භාවිත කිරීම මඟින් නිවෙසේ විදුලි බිල අඩු කර ගැනීමට හැකි වෙනවා මෙන්ම රටේ විදුලි පරිභෝජනය ද එමගින් අඩු කළ හැකිය. කාර්යක්ෂම විදුලි උපකරණයක් තෝරා ගැනීම එය මිල දී ගන්නා අවස්ථාවේදීම කළ යුත්තකි. එහෙත් බොහෝ විට විදුලි උපකරණවල කාර්යක්ෂමතාව පිළිබඳ තොරතුරු සඳහන් නොවේ; නැතහොත් සඳහන් වන්නේ කලාතුරකිනි. ඇතැම් විට එම තොරතුරු තේරුම් ගැනීමට අපහසු තරම් තාක්ෂණිකය. එබැවින් විදුලි උපකරණ මිල දී ගැනීමේ දී ඒවායේ බලශක්ති කාර්යක්ෂමතාව ගැන තොරතුරු දැන ගැනීමට පාරිභෝගිකයන් හට ලැබෙන අවස්ථාව ඉතා අවමය. එසේ වුව බලශක්ති ලේබලය මඟින් උපකරණයේ බලශක්ති කාර්යක්ෂමතාව පිළිබඳ තොරතුරු සරලව සහ ඕනෑම කෙනකුට පහසුවෙන් තේරුම් ගැනීමට හැකි ආකාරයට ලබා‍දෙනු ලබයි. විදුලි උපකරණය මත සහ හෝ එය අඩංගු වන පෙට්ටියේ බලශක්ති ලේබලය නිරූපනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය 2007 අංක 35 දරන පනත යටතේ උපකරණ සඳහා බලශක්ති පරිභෝජන සීමා පැනවීමට සහ බලශක්ති කාර්යක්ෂමතා ප්‍රමිති සකස් කිරීමට සහ එම තොරතුරු උපකරණ මත අලවා ඇති ලේබලවල නිරූපනය කිරීම මෙන්ම එකී ප්‍රමිතීන්ට අනුකූල නොවන උපකරණ නිෂ්පානය, ආනයනය, බෙදාහැරීම සහ විකිණීම පාලනය කිරීමට නීතිමය ප්‍රතිපාදන ලබා දී ඇත. ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLS) සමඟ එක්ව බලශක්ති ලේබල වැඩසටහන ක්‍රියාත්මක කරයි.

දැනට සුසංහිත ප්‍රතිදීප්ත පහන් (CFL) සඳහා බලශක්ති ලේබලයක් නිකුත් කර ඇත. තව ද සීලිං විදුලි පංකා (Ceiling Fan) සඳහා ද බලශක්ති ලේබලය ලබාදීම ක්‍රියාත්මක වේ. මේ උපකරණ දෙක මත අදාළ භාණ්ඩයේ බලශක්ති කාර්යක්ෂමතාව නිරූපනය වන ලෙස තරු ලකුණු (Star rating) සහිත බලශක්ති ලේබලයක් ඇලවීමට ගැසට් පත්‍ර මගින් අනිවාර්ය කර ඇත. මෙයට අමතර එල්. ඊ. ඩී. විදුලි පහන් (LED Lamps) සඳහා ද අවම බලශක්ති කාර්යසාධන ලේබලයක් හඳුන්වා දී ඇති අතර, එය දැනට ස්වෙච්ඡා පදනම මත ක්‍රියාත්මක වේ. එසේම පරිගණක යන්ත්‍ර, ශීතකරණ, වායු සමීකරණ යන්ත්‍ර, විදුලි මෝටර් සඳහා ද බලශක්ති ලේබල වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙමින් පවතියි.

ඒ යටතේ පරිගණක යන්ත්‍ර සඳහා අවම කාර්යක්ෂමතා ලේබලයක් හඳුන්වා දී එය ස්වෙච්ඡා වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා පරිගණක ආනයන සහ සැලසුම් ක්ෂේත්‍රයන්හි නියැළී සිටින ආයතන සහ පුද්ගලයන් සඳහා දැනුම්වත් කිරීමේ වැඩසටහනක් (Snppliers’ Forom) පසුගිය දා (6) වැල්ලවත්තේ හෝටල් ඔසෝහි දී පැවැත්විණි. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, Fedration of Infornation Techmology Sri Lanka (FITIS) හි අනුග්‍රහයෙන් සහ එම සංගමය සමඟ උත්සවය සංවිධාන කරන ලදී. පරිගණක යන්ත්‍ර සඳහා LSS 1580 ;2018 ප්‍රකාශ කර ඇති අවම කාර්යසාධන ප්‍රමිතීන් විස්තර කිරීම, අවම කාර්යසාධන ලේබලය හඳුන්වාදීම ද එහි දී සිදු විය.

නව අදහස දක්වන්න