ඇතුවත් බැරි නැතුවත් බැරි ප්‍රශ්න | දිනමිණ

ඇතුවත් බැරි නැතුවත් බැරි ප්‍රශ්න

කෙනකුගේ දුක තව කෙනකුට ධන ආකරයක් වන්නේ ය. සම්පතක් වන්නේ ය. බැබළෙන්නට අවස්ථාවක් වන්නේ ය. ඒ ලෝකේ හැටි ය. ආරවුලක්, ගැටුමක්, මිනීමැරුමක් නීතිඥයකුට ද, රෝගයක්, තුවාලයක්, අනතුරක් වෛද්‍යවරයකුට ,ද වශයෙන් වන මේ ලැයිස්තුව දිග ය. එහි එක් තැනක ඉන්නේ දේශපාලනඥයා ය. තව තැනක ඉන්නේ නිලධාරියා ය. ඒ දෙගොල්ලන්ටම පොදු සාධකය ගෙන නම් කරතොත් ඔවුන් අයත් වන්නේ බලධාරී ගණයට ය. මේ බලධාරීන් දෙපොළටම කරල පැහෙන්නේ මිනිසුන්ට ප්‍රශ්න තිබෙන්නේ නම් ය. මේ අයගේ කරල පැහෙන්නට ප්‍රශ්න තිබුණාට ම මදි ය. ඒවාට පහසුවෙන් පිළිතුරු ලබා ගත නොහැකි තත්වයක් ද ඒ සමගම තිබිය යුතු ය.

මිනිසුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට කප්පරක් ආයතන පිහිටා තිබේ. එහෙත් ඒවායේ හරිහමන් ක්‍රමවේද නැත. තිබුණත් ඒවා හරියට ක්‍රියාත්මක වන්නේ ද නැත. ක්‍රියාත්මක වෙතත් ඒවා නමා, එවා පසුකර, ඒවා වටේ යමින් වැඩ සිද්ධ වෙන වෙලාවල් ද එමට ය. ඒ නිසා මේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්නට තිබෙන ආයතන නිසි විදිහට වැඩ කරන්නේ නැත. කාර්යක්ෂමව වැඩ කරන්නේ නැත. එක දවසක කරන විදිහට ඊළග දවසේ වැඩ කරන්නේ නැත. ඒ නිසා මිනිසුන් ළඟ පිළිතුරු නැති ප්‍රශ්න ගොඩ ගැහෙන්නේ ය.

පිළිතුරු නැති මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගන්නට, මේ ක්‍රමවේද කාර්යක්ෂම කරන්නට සමත්, ඇතැම් තැනක ඒවා නමන්නට සමත්, ඒවා හරහා හෝ වටේ යන්නට සමත්, අතරමැදියන් අවශ්‍ය ය. මිනිසුන්ගේ පිහිටට බලධාරින්, ඒ කියන්නේ දේශපාලනඥයන් හා නිලධාරීන්, මැදිහත් වන්නේ ඒ අතරමැදියන් වශයෙන් ය. දැන් කල්ල මරේ ය. පද පෙරලිය අයින් කළොත් මල්ල කරේ ය. දැන් තියෙන්නේ මල්ලට එකතු කර ගන්නට ය.

ඇතැමෙකු එයින් ඡන්ද ද, තවත් අය මුදල් ද, තවත් අය බලය ද, තවත් අය කම් සැප ඇතුළු වෙනත් නොයෙකුත් දේ ද වෙනත් වරප්‍රසාද ද ඒ හරහා එකතු කර ගන්නෝ ය. උපයන්නෝ ය.

අතරමැදියාගේ නිල ආගමනය

මේ අතරමැදියන් ගණන ප්‍රමාණයෙන් විශාල ය. මැති ඇමතිවරු පමණක් නොව විරුද්ධ පක්ෂයේ නායකකාරකාදීහු ද මේ අතර වෙති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පමණක් නොව පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ද ඔවුන් අතර සිටිති. ආණ්ඩුකාරවරු ද, අමාත්‍යංශ ලේකම්වරුද, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු ද, ආයතන ප්‍රධානිහු ද අමතර වශයෙන් සිටිති. පොලීසිය ද හමුදාවේ ඉහළ නිලධාරීහු ද විගණන නිලධාරීහු ද කඩා පනින නිල හමුදා ද මේ අතර සිටිති. දේශපාලන අනුග්‍රහය ලැබෙන මැරයන් ද චණ්ඩින් ද වශයෙන් තව බොහෝ දෙනා ද මීට අයත් ය.

මේ අයගේ වුවමනා එපාකම් ඉටු කර දීම සඳහා තමනුත් බේරී ක්‍රමවේද හා නීතිය කෙසේ නැමිය යුතු දැයි සිතන්නට අප කී ආයතනවල වැඩ කරන මිනිසුන්ට සිදු ව තිබේ. එසේ නීතිය නමන අතරේ එසේ නැමූ නීතිය යටින් තමන්ගේම කෙනකු ද පාස් කර ගැනීමට ඔවුන්ට ඉඩක් ලැබේ. කල දුටු කල වළ ඉහ ගන්නවා විනා කළු ගලක ඔළුව ගසා ගැනීම තේරුමක් නැතැයි සිතන ඔවුන් ඒ අවස්ථාව භාවිත නොකර අරින්නේ නැත. එය කෙසේ කළ යුතු දැයි කල්පනා කිරීමට දැන් ඔවුන්ට අමතරව සිදු ව තිබේ. ඒ නිසා ම ආයතනවල සාමාන්‍ය රාජකාරී ආයතනයේ න්‍යාය පත්‍රයේ අගට ම ගොස් තිබේ.

ක්‍රමවේදයන්ට පිටින් කරන වැඩ, ක්‍රමවේදයන් තුළ කෙරෙන වැඩ අභිබවන විට, ක්‍රමවේදයන් හරහා පිහිට ඉල්ලන සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්න තව තවත් නොවිසඳී තිබෙයි. එහි වාසිය ද අවසානයේ අතරමැදියන්ට ය. ඒ අතරමැදියන්ගේ පිළිසරණ හැර වෙනත් මගක් නැතැයි මිනිසුන්ට පෙනී යන නිසා සෙසු මිනිසුන් ට ද අතරමැදියන්ගේ පිහිට පතන්නට වෙන නිසා ය.

ටික කලක් යන විට ක්‍රමවේද නැත්තට ම නැතිවෙයි. යමක් කරගන්නට නම් යා යුත්තේ අතරමැදියකු වෙත යන්න දැන් මිනිසුන් අතර තහවුරු වෙයි. කිසිවකු දැන් ක්‍රමවේද හදන්නැයි ඉල්ලන්නේ නැත. එසේ ඉල්ලුව ද ඒවා හදන්නට වුවමනා අය දැන් නැත. පුළුවන් අය ද නැත. වුවමනා පුළුවන් අය ද දැන් අලුත් රටාව තුළ හිරවී සිටින නිසා, ඔවුන්ට කාලවේලාව ද නැත. ඉහළින් ලැබෙන අනුග්‍රහයක් ද නැත.

ඒ නිසා ම දැන් ක්‍රියාත්මක වන නිල නොලත් ක්‍රමවේදයට අතරමැදියා ද ඇතුළත් ය. ටික කලකින් එය ලේඛනගත වී නිල ක්‍රමවේදය බවට පත් වූ අවස්ථා ද ඇත.

රැකියා දීමේ චිට් ක්‍රමය ආරම්භ වූයේ ඒ අනුව ය. ප්‍රාදේශීය ලේකම් තනතුරකට කෙනකු පත්වීමට පෙර අදාළ ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ නිර්දේශය අවශ්‍ය වූයේ ඒ අනුව ය. එසේ රැකියා සහ තනතුරු ලබා ගත් අයට ක්‍රමවේද හෝ නීතිය නැමිම සඳහා වෙනත් බාහිර පෙලඹවීම් ද අවශ්‍ය නොවී ය. ඔවුන් සිය වෘත්තීය ජිවිතය ආරම්භ කර තිබුණේ ද තිබුණු ක්‍රමයට පිටින් යාමෙන් නිසා ය. ලිඛිත නීතීන් පිටුපසට කළ අලිඛිත නීතීන්ට අනුව නිසා ය.

කලකට ඉහත අතරමැදියා සොයා ගැනීමට යාළු මිත්‍රකම්, ඥාති හිතවත්කම් භාවිත වූ බව ඇත්ත ය. ගමේ කෙනකු වීම, පාසලේ ඉගෙන ගත් කෙනකු වීම, සරසවියේ මිත්‍රයකු වී,ම රාජකාරියේ සගයකු වීම, ඒ සඳහා එකල සෑහුනේ ය. එහෙත් දැන් දැන් මේ සඳහා වඩ වඩාත් අත පිරිමැදීමට සිදු ව තිබේ. කෙලින් කියනවා නම් අල්ලස් දීමට සිදු ව තිබේ.

අල්ලසත් මහ පුදුමාකාර දෙයකි. කීයක් දුන්නත් ලබන්නා සෑහීමකට පත් කිරිම ඉන් දුෂ්කර වන නිසා ය. ආරම්භය සියයට දහය ය. එය ක්‍රමයෙන් ඉහළ යන්නේ ජීවන වියදම ඉහළ යන්නා සේ ය. නැතිනම් සරුංගලයක් උඩු හුළගට අහුවුණා සේ ය. එය පසුගිය කාලයේ සියයට හතළිහක් තරමට ඉහළ ගිය බව කියැවිණි. අතරමැදියන් පුස් ඌරන් සේ ඉදිමෙන අතර උන්ගෙන් සේවය ලබන්නන් ඇට සැකිලි බවට පත් වන්නේ ඒ නිසා ය.

මෙසේ අල්ලස් දීමට සල්ලියක් ඉතිරි කර ගැනීමට ලෙව කා ඉතිරිවන පඩි පතෙන් නම් බැරි ය. කරන්නට තිබෙන්නේ අශ්වයකුගෙන් වාසනාව හොයන එක ය. ලොතරැයියක් සූරා වාසනාව සොයන එක ය. නැතිනම් ගෙයක් කඩන එක ය. මාලයක් උදුරා ගන්නා එක ය. ඒ මුකුත් නැතත් තමනුත් අල්ලස් ගැනීමට ඉදිරිපත් වීම ය.

තැලෙන එකා

ඇතැම් තැනක තැලෙන්නේ සේවා සැලසීමට නියමිත ආයතනයේ කුඩා නිලධාරීන් ය. නැතිනම් සේවකයන් ය. ඒ කුමක් කරන්න දැයි නොදැන ය. පොලිස්පතිතුමා චක්‍රලේඛනවලින් උපදෙස් දී ඇත්තේ වේග සීමාව ඉක්මවන අයත්, ඉර කපන අයත් අල්ලන ලෙස ය. ඒ පොලීසියේ ලිඛිත ක්‍රමවේදයට අනුව ය. එම ක්‍රමවේදයට අනුව තරු පළඳින්නට නම් වැරදිකරුවන් ඇල්ලිය යුතු ය. එය එසේ වුව ද වැරදි තැනක් ඇල්ලූ විට පොලිස් නිලධාරියාට තරු පෙනෙන්නේ ය. තරු විසිවෙන්නට ගුටි කෑමට ලක් වන්නේ ය. ස්ථාන මාරු ලැබෙන්නේ ය. වාහනයක් ගෙයක් ඇත්නම් ඒවා කුඩු වන්නේ ය. ක්‍රමවේදයම වුවමනා යැයි කියන විදුහල්පතිවරුන්ට සිදුවන්නේ ගාල්ල අත්හැර තංගල්ලට යෑමට ය.

ඉහළ අණට කීකරු නොවී ක්‍රමවේදයටම ගරු කළොත් වෙන්නේ ඇබැද්දියකි. එසේ ගරු කොට ක්‍රමවේදය ඉක්මවුවහොත් වෙන්නේ ද ඇබැද්දියකි. ඒ විගණනයට අසුවෙලා ය. නැතිනම් ආණ්ඩු මාරුවකින් පසු මුල්‍ය අපරාධ කොට්ඨාසයට අහුවෙලා ය. ඒ ගෙදර ගියොත් අඹු නසින මග හිටියොත් තෝ නසින තත්ත්වයකි. කොහොමටත් මේ තත්ත්වය යටතේ පොඩි එකා ඉන්නේ අමාරුවේ වැටෙන්නට ය. සේවය ලබා ගන්නා උන් ගානටම මේ සේවකයන් හා පහළ නිලධාරීන් ද කෙට්ටු වෙන්නේ ඒ නිසා ය.

සේවය ලබා ගන්නාගේ තත්ත්වය ද අවිනිශ්චිත ය. ඇල්ලූ අතරමැදියා වැඩේ කරන තෙක් ඔහු ඉන්නේ නොඉවසිල්ලෙන් ය. ඇතැම් තැනක පඬුරු පාක්කුඩම් පිරි නැමීමෙන් පසුව ද ලැබෙන්නේ හුළං ය. ඔහු අල්ලන අතරමැදියාට වඩා තරගකරුවා අල්ලන අතරමැදියා ප්‍රබල නම්, අතරමැදියා උත්සහ ගත්ත ද පළක් වෙන්නේ නැත. ඒ ප්‍රාදේශීය ලේකම්ට උඩින් ආණ්ඩුකාරයා ඉන්නා නිසා ය.

ඒ දෙගොල්ලන්නට ම, ඒ කියන්නේ මේ අවිනිශ්චිතතාවට මුහුණ දෙන පහළ සේවකයන්ට හා සේවාලාභී ජනතාවට, එහෙම වෙලාවක කරන්නට තිබෙන්නේ කේන්දරේ බලා ගන්නා එක ය. නැතිනම් පන්සලක, පල්ලියක, කෝවිලක, දේවාලයක පිහිට පතන එක ය. ඒවායින් ද වැඩක් වේද යන්න වෙනම කාරණයකි. ඉතිරි ව ඇත්තේ පිදුරු ගහක් නම් මැරෙන්නට යන මිනිහා එහි වුව ද එල්ලීම සාධාරණ ය. ඒ නිසාම මේ මිථ්‍යා ව්‍යාපාරිකයන්ට ද මේ තත්ත්වය යටතේ හොද්ද බොර ය.

මෙයින් ලොකුම අලාභය සිදුවන්නේ රටට ය. ඒ කියන්නේ අඩුවැඩි වශයෙන් සමස්ත හුදී ජනයාට ය. ඒ ක්‍රමවේදයන්ට පිටුපාන විට ප්‍රමුඛත්වය බොහෝ විට හිමිවන්නේ අනවශ්‍ය දේට වීම නිසා ය. ආයෝජන කරන්නේ මිනිසුන් යන්නේ එන්නේ නැති පාරවල්වලට නිසා ය. සංවර්ධනය කරන්නේ අහස්යානා එන්නේ නැති ගුවන් තොටුපළවල් හා නැව් එන්නේ නැති වරායවල් නිසා ය. තනතුරු හිමි වන්නේ නුසුදුස්සාට නිසා ය. පවුලේ උදවියට නිසා ය. නීති කැඩුවේ වුව ද ඉන් නිදහස් වන දේශපාලනඥයින් ද උන්ගේ දරුවන් ද දිගින් දිගට ම ඉර කඩමින් වේග සීමා ඉක්මවමින් ජනතාව යට කරමින් තම රථ ධාවනය කරන නිසා ය. සරණ සොයා යන දූ දරුවන් කාන්තාවන් අපයෝජනය වන නිසා ය. වෙන දහසකුත් එකක් නොපනත්කම් බියෙන් සැකෙන් තොරව කෙ‍රෙන නිසා ය.

මේ තත්ත්වය යටතේ වැඩ කරන්නට ඉන්නා නිලධාරීන් හා සේවකයන් ද අවිනිශ්චිතව, අසරණව, අනාථව ඉන්නා නිසා වැඩ වෙන කවදාටත් වඩා පමා වී තිබේ. ඔවුන්ට තිබෙන බරපතළ ම ප්‍රශ්නය වන්නේ කළ යුත්තේ කුමක් ද නොකළ යුත්තේ කුමක් දැයි අඳුනා ගැනීමට මේ තත්ත්වය යටතේ නොහැකි වීම ය. ක්‍රමවේදය තුළ තිබෙන්නේ එකකි. ඉහළින් එන අණ තවත් එකකි. මේ උකටලී බව මග හැරිම සඳහා විසඳුම ලෙස බොහෝ තැනක යොදා ගෙන තිබෙන්නේ රැස්විම් ය. ප්‍රගති සමාලෝචන රැස්විම් ය.

මේ රැස්වීම්වල බොහෝ විට කෙරෙන්නේ සමාවට කාරණා විමසිම හා ඉදිරිපත් කිරීම ය. තීරණයක් ගැනීමට බොහෝ දෙනකු පසුබාන නිසා රැස්වීම් බොහෝ විට අවසන් වන්නේ ප්‍රතිඵලයකින් තොරව ය. කළ හැකි වැඩක් කිරීමට පවා තිබෙන කාලය කා දමමින් ය. මේ අවිනිශ්චිතතාවය මග හැරිය හැකි නීති ප්‍රතිපත්ති ක්‍රමවේද කෙසේ සකස් කළ යුතු ද යන්න පිළිබඳ කතාකිරීම නම් හිතා මතාම බොහෝ දෙනකු මග හරින්නේ ය. එවැනි සාකච්ඡාවක් කවරකු හෝ ආරම්භ කළත් බොහෝ අය ඒ දෙස උපහාසයෙන් බලනු දැකිය හැකි ය. ඒ, නොකෙරෙන දේ ගැන කතා කිරිම ද කාලය කා දැමිමක් යන සාධාරණ හැඟීමෙන් ද විය හැකි ය. එවැනි සාකච්ඡාවක් තුළ බොහෝ විට ඒවා මෙහෙ බෑ මචං කියා සගයකුට රහසේ කියන කතාවක් ද, හොඳින් කන් යොමු කළොත් ඇසිය හැකි ය.

සිය දිවි නසා ගැනීම

බොහෝ ආයතනවල ක්‍රමවේද නැවත සකස් කරන්නේ නම් ද තියෙන ක්‍රමවේද ද අළු ගසා නැවත අලුත් කර ගන්නේ නම් ද ප්‍රශ්න මෙසේ ඔඩු දිවීම නතර කළ හැකි ය. එහෙත් දේශපාලනඥයන් ඇතුළු බලධාරීන්ට එය සිය දිවි නසා ගැනීමකි. එසේ කළ විට මුලින්ම සිදු වන්නේ තමන්ගේ සරණ පතා එන මිනිසුන්ගේ ගණන අඩු වීම ය. ඒ තුළ තම බල පරාක්‍රමය අහෝසි වී යෑම ය. පොදුවේ රටට හෝ සමස්ත ජනතාවට විනා තනි තනි පුද්ගලයන්ට තව දුරටත් දිය හැකි එහෙමකට සේවයක් නොමැති වීම ය. ඒ නිසා ම කීයක් හරි හොයා ගන්නට තියෙන අවස්ථාව අහිමි වී යෑම ය.

අවශ්‍ය ගංවතුර නැති කිරීම නොවේ. ගංවතුර ඇති වූ විට බෝට්ටු සපයා කෑම බීම සපයා ලකුණු දමා ගැනීම ය. ඡන්ද ලැබෙන්නේ ගංවතුරේ අනුහසිනි. එය නැති කිරීම ඒ නිසා සිය දිවි නසා ගැනීමකි.

කොළඹ නගරයේ අප ජල පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වනවා නම් එහෙම එකක් තියෙනවා දැයි මිනිසුන්ට දැන ගන්නට විදිහක් නැත. අවශ්‍ය එය වරින් වර උතුරා ගොස් ඒ සඳහා යම් මැදිහත් වීමක් කිරීමට ඉඩක් ඇති වීම ය. එවිට එවැන්නක් තියෙනවා පමණක් නොව, නාගරික මන්ත්‍රීවරු කියා පිරිසක් ඉන්නා බව ද මිනිස්සු දැන ගන්නෝ ය.

අවශ්‍ය වන්නේ රැකියා සඳහා ක්‍රමවේදයක් ඇති කිරීම නොවේ. ඒ රැකියා දීම ක්‍රමවේදයකින් තොරව කිරීම ය. උස නම් මේ රැකියාවය මිටි නම් අහවල් එක යැයි කියා පෝලිමේ එන ඡන්ද දායකයන්ට විශේෂයෙන් ගෝල බාලයින්ට සිම්පල් ක්‍රමයකට රැකියා බෙදිය හැක්කේ එවිට ය. රහසින් අල්ලස් ගෙන රැකියා පිදිය හැක්කේ එවිට ය. දණ ගසා වැඳ පත් වීම් ලිපි ගන්නට රැකියාලාභීන් පවා ඉදිරිපත් වන්නේ එවිට ය.

ඡන්ද අහිමි කරන වැඩ

මීට අමතරව නිසි ක්‍රමවේද සකස් කිරීම ඡන්ද අහිමි කරවන වැඩකි.

පොදු ප්‍රවාහනය සේවය වැඩි දියුණු කළොත් දැනට ත්‍රී වීලර් එලවන මල්ලිලාගේ ඡන්දය අහිමි වන්නේ ය. පොදු ප්‍රවාහනයේ හිර වී යන අය ඒ තුළ තම තමන්ගේ වෙනත් ඕනෑකම් පිරිමසා ගන්නා තාක් ලොකුවට බණින එකක් නැත. බැන්නත් ඡන්දය නොදී අරින එකක් නැත. එහෙම යන්න බැරි කෙනකුට තියෙන්නේ ත්‍රීවීලර් එකකින් යෑමට ය. එහෙත් ත්‍රී වීලර් රස්සාව නැති කළොත් ඒ මල්ලිලාට කන්න වෙන්නේ වහ ය. එතකොට අහිමි වන්නේ ඡන්දය ය.

රිය අනතුරු බහුල තැනක කැමරා සවි කොට රථවාහන නීති කඩකරන්නන්ට දඩ කොළ ස්වයංක්‍රීයව නිකුත් කරන ක්‍රමවේදයක් සකස් කළ හැකි ය. එවිට නැතිවන්නේ කීයක් හරි හරිහම්බ කර ගන්නට අවස්ථාව නැති වීමෙන් උරණ විය හැකි පොලිස් නිලධාරීන්ගේ ඡන්ද ය.

කුඩා දරුවන්ට හිරිහැර වන පහේ ශිෂ්‍යත්වය අහෝසි කළ හැකි ය. එවිට අහිමි වන්නේ මේ වන විට අතිශයින් ලාභදායී ව්‍යාපාරයක් බවට පත්ව ඇති ශිෂ්‍යත්ව බිස්නස් එකෙහි නිරත වන අයගේ ඡන්ද ය. ලොකු පාසලකට තම දරුවා ඒ නිසා දා ගන්නට නොහැකි වූයේ යැයි තැවෙන මාපියන්ගේ ඡන්ද ය.

විසඳුම කුමක් ද?

විසඳුම වන්නේ ක්‍රමවේද නමා ඒවා වටා ගොස් අපේ ප්‍රශ්නය පමණක් විසඳා ගැනීමට ඉදිරිපත් නොවී ක්‍රමවේද ස්ථාපනය කරන ලෙස බලධාරීන්ට බල කිරීම ය. ක්‍රමවේද විනාශ කොට, ඒ මත බාල් නටන දේශපාලනඥයන් පිළිකෙව් කිරීම ය. ක්‍රමවේද නැවත ස්ථාපනය කරන ලෙස නිලධාරීන්ට බල කිරීම ය.

ඒ සඳහා ප්‍රශ්නය තේරුම් ගැනීම අවශ්‍ය ය. එහි නියම ස්වරූපයෙන් එය තේරුම් ගැනීම අවශ්‍ය ය. පෞද්ගලික හදිසි උත්තරයක් නොව පොදු දිගුකාලීන විසඳුමක් ඊට විසඳුම් වශයෙන් පැතිය යුතු ය.

අල්ලසක් දී තමන්ගේ ප්‍රශ්නයෙන් ගොඩ එන තරම්, බස් නැතිනම් කාර් එකක්, මෝටර් සයිකලයක්, ත්‍රීවීලරයක් ගන්නා තරම් ඒ වැඩය පහසු නැත. එහෙත් කළ යුතු දේ නොකර මේ අලවන පැලැස්තරවලින් වෙන සෙතක් නැත. හෙට අනිද්දා වනවිට අපට පාරේ යන්නට සිදු වන්නේ කුමන වාහනයක ගියත් පයින් යන වේගයෙනි. සෙසු ප්‍රශ්නවලට ද අප මේ ගන්නා පෞද්ගලික විසඳුම් අවසානයේ නවතින්නේ එබඳු තැනක ය.

අපේ සහ රටේ අවාසනාවට බොහෝ දෙනකුට මේ ඇති වී තිබෙන තත්ත්වයවත්, එය අප සියල්ලන් අරගෙන යන තත්ත්වය පිළිබඳවත් වගේ වගක් නැත. ඔවුහු එදිනෙදා ජීවනය අරගලය තුළ තම ප්‍රශ්නවලට පැලැස්තර ඇලවීමේ තරගයක යෙදී සිටිති.

රටට නායකයෙක් අවශ්‍ය මේ බව නොබියව කීමට ය. තිත්ත ඇත්ත එළියට දැමීමට ය. ප්‍රශ්නය එවැන්නෙක් ඉදිරිපත් වුව ද ඔහු හෝ ඇය කියන දේ අසන්නට එම පණිවුඩය තේරුම් ගන්නට සමත් මිනිසුන් රට තුළ ඉතිරිව ඇද්ද යන්න ය. ඒ මේ බව තේරුම් ගත් බොහෝ දෙනකු පැදුරටත් නොකියා රට හැර ගොස් ඇති නිසා ය. පුළුපුළුවන් අය ඔවුන් අනුගමනය කිරීමට නියමිත නිසා ය. නොයන්නට තීරණය කර ඇති බුද්ධිමතුන්ගේ කාර්යය මේ පණිවුඩය සෙසු අය සමග බෙදා ගැනීම ය.

නිශාන්ත කමලදාස

නව අදහස දක්වන්න