ත්‍රිපිටකය සුරක්ෂිත කරන්න නීති අණ පනත් ඉක්මනින් ඕනෑ | දිනමිණ

ත්‍රිපිටකය සුරක්ෂිත කරන්න නීති අණ පනත් ඉක්මනින් ඕනෑ

 මල්වතු පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ කියති

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කරන්නට කටයුතු කළා සේම එය සුරක්ෂිත කොට ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය නීතිමය අණපනත් ද ඉක්මනින්ම සකස් කරන්නැයි ඉල්ලා සිටින බව ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරාධිපති ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරයෙන් පිදුම් ලැබූ කෑගල්ල ඔලගන්කන්ද සාම විහාරාධිකාරී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දීවෙල මහින්ද අනුනායක නාහිමියන්ට අක්තපත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවයේදී පසුගියදා (23) සවස කෑගල්ල නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති අවස්ථාවේ පැවිදි අනුශාසනාවක් පවත්වමින් ධම්මදස්සී නාහිමියෝ එසේ ප්‍රකාශ ක‍ළහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායකව වැඩ විසූ අපවත් වී වදාළ අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහ පිරිවෙනේ විහාරාධිපති ගිරාඹේ ආනන්ද අනුනායක නාහිමිපාණන් වහන්සේගෙන් හිස් වූ අනුනායක පදවියට දීවෙල මහින්ද නාහිමියෝ පත් කොට තිබේ. උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 35 වැනි අනුනායක නාහිමිපාණන් වහන්සේ වනු ඇත.

කෑගල්ල, වෑවලදෙණිය රජමහා විහාරස්ථානයේ සිට අලි ඇතුන් සහිත දර්ශනීය පෙරහරකින් අභිනව අනුනායක හිමි කෑගල්ල නගර ශාලාවට වැඩම වූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිගෞරවාර්හ මහානායක ශාසන ශෝභන ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය රාජකීය පණ්ඩිත ත්‍රිපිටක ධර්ම චක්‍රවර්තී අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහානායක මාහිමිපාණන් වහන්සේ උත්සවයේ මූලාසනය ඉසිලූහ. උන්වහන්සේගේ සුරතින් අභිනව අනුනායක හිමියන්ට ශ්‍රී සන්නස්පත්‍ර පිරිනැමිණි.

මල්වතු, අස්ගිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය, අමරපුර නිකාය ප්‍රධාන ත්‍රෛ නිකායික මහා සංඝරත්නය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ගිහි සම්භාවනීය අමුත්තෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ. සම්භාවනීය පිරිස අභිනව අනුශාසක හිමියන්ට අටපිරිකර පූජා භාණ්ඩ පිරිනැමූහ.

එහිදී වැඩිදුරටත් අනුශාසනා පැවැත්වූ ආණමඩුවේ ධම්මදස්සී අනුනාහිමියෝ මෙසේද පැවසූහ.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අප රටේ විශාල ආගමික ප්‍රබෝධයකට මුල්වන වැඩපිළිවෙළක් ආරම්භ කළා. ඒ ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමට ක්‍රියා කළා. ලෝක උරුමයක් බවට පත් කරන්නට පියවර ගත්තා. එය ප්‍රශංසනීය කටයුත්තක්.

එතුමා මත්ද්‍රව්‍ය උවදුර අපේ රටෙන් පිටුදැකීමට විශාල වැඩකොටසක් ඉටු කරනවා. වකුගඩු රෝගයෙන් පෙළෙන අසරණ ජනතාව ඉන් මුදා ගන්නට කටයුතු කරනවා. මේ සියල්ල අගය කළ යුතු ප්‍රසාදය පළ කළ යුතු වැඩ කටයුතුයි.

අද අපේ රටේ දේශපාලන, සාමාජික, ආර්ථික ගැටලු රාශියක් තිබෙනවා. නමුත් ඒවාට විසඳුම් ලබාදී පෙරට යෑමයි කළ යුත්තේ. මහා සංඝරත්නය වශයෙන් අප අතිගරු ජනාධිපතිතුමාට, ආණ්ඩුවට අවවාද අනුශාසනා ලබාදෙනවා. රටත්, ජාතියත්, බුදුදහමත් සුරක්ෂිත කරන්නට නායකයෝ පියවර ගත යුතුයි. රටට, ජාතියට ආදරය කරන නායකයෝ සිටිය යුතුයි.

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක ශාස්ත්‍රපති මහාචාර්ය ගන්තුනේ අස්සජි නාහිමියෝ

ශ්‍රී ලංකා අමරපුර නිකායේ අප සියලු දෙනා අභිනව අනුනායක ධුරන්දර දීවෙල මහින්ද අනුනායක නාහිමියන්ට අපේ ශුභාශිංසන මේ අවස්ථාවේ පුද කරනවා.

බුද්ධ ශාසනයේ චිරස්ථිය පතා අප හා සංඝරත්නය නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා ලබා දෙනවා. ඒවා පිළිගැනීම රාජරාජ මහාමාත්‍යාදීන් විසින් සිදු කරනවා. අද අනුනායක ධුරයට පත්වූ දීවෙල මහින්ද අනුනායක නාහිමියන්ට විජිණිපත පිරිනැමුවේ අතිගරු ජනාධිපතිතුමායි. එතුමා එසේ සිදු කිරීමෙන් පසක් කළේ අනුනායක නාහිමියන්ගෙන් අවශ්‍ය අනුශාසනා උපදෙස් ලබාගැනීමට පියවර ගන්නා බවයි.

දීවෙල මහින්ද අභිනව අනුනාහිමියෝ බොහෝ ඇසූ පිරූ තැන් ඇති යතිවරයාණෝ කෙනෙක්. උන්වහන්සේගෙන් ආගමට දහමට ප්‍රදේශයට සිදුවන මෙහෙය අතිවිශාලයි. එය තව තවත් වැඩිදියුණු කොට ලබාදීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පාලක සභාවේ සභාපති හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා

අපි අතිගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා නිරන්තරයෙන්ම පිළිගැනීමට සූදානම්. අද රටේ ඇතිවී තිබෙන බොහෝ ගැටලුවලට සාමකාමී සාධාරණ විසඳුම් ලබාගැනීමේදී මහා සංඝරත්නයෙන් ලැබෙන අවවාද අනුශාසනා ඉතාම වටිනවා. ඒවා ඉතා ගෞරවයෙන් පිළිගැනීමට අප සූදානම්.

රටේ පවතින නාස්තිය, දූෂණය නැති කොට කාටත් සමගියෙන් සහෝදරත්වයෙන් එකට එක්වී ජීවත්වීමට හැකි රටක් ගොඩනඟාගත යුතුයි. එය ගොඩනැඟීම ඉතාම අභියෝගාත්මක කටයුත්තක් වී තිබෙනවා. අපේ රටට නිදහස ලැබී වසර 70කට වැඩියි. එදා අපේ රට සමඟ නිදහස ලැබූ ජපානයට පමණයි අප දෙවැනි වුණේ. එදා ජපානයේ ඒක පුද්ගල ආදායමයි අපේ ඒක පුද්ගල ආදායමයි වෙනස් වුණේ එක ඩොලරයකින්. අද තත්ත්වය කොහොමද? කියන්නත් කනගාටුයි. අපට වඩා පසුපසින් සිටි රටවල් රාශියක් අපට වඩා ඉදිරියට ගිහින්. අප තවමත් ප්‍රමාදයි කියා කියන්න බෑ. අපි ඉක්මනින් පෙරට යා යුතුයි. ඒ සඳහා සියලු දෙනා එකට ඒකරාශී වී වැඩ කළ යුතුයි.

මහාමාර්ග හා ඛණිජ සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය අපේ පක්ෂය හා ඉතාම සමීප සම්බන්ධතාවයක් පවත්වන බව රහසක් නොවෙයි. ‍අපේ පක්ෂයේ නායක ඩී.එස්. සේනානායක ශ්‍රීමතාණන් එදා මේ නිකායේ ගිහි භාරකාරත්වය දැරූ පාලක මණ්ඩලයේ සභාපති ධරය ඉසිලුවා. එතුමා වාගේම අද මේ ගිහි පාලක සභාවේ සභාපති ධුරය ඉසිලීම සිදු කරන්නේ කථානායක කරු ජයසූරිය මැතිතුමායි. අප අපගේ රට ජාතිය ආගම සුරක්ෂිත කිරීමට කැපවී සිටිනවා.

මහා සංඝරත්නය අපට ලබාදෙන අවවාද අනුශාසනා පිළිගන්න මැලිවෙන්නේ නැහැ. දීවෙල මහින්ද අනුනාහිමියෝ සැමට පිළිගත හැකි අවවාද අනුශාසනා ලබාදෙන බුද්ධ පුත්‍රයෙක් බවට අපට විශ්වාසයෙන් කිව හැකියි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාතලේ ධම්මකුසල, මහාචාර්ය වරාගොඩ පේමරතන නාහිමිවරු, තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ට, වැලිමිටියාවේ කුසලධම්ම නාහිමි ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩම කොට සිටියහ.

හිටපු ඇමැති ආචාර්ය ජගත් බාලසූරිය, රංජිත් සියඹලාපිටිය, සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක, හිටපු පළාත් සභා මන්ත්‍රී හර්ෂ සියඹලාපිටිය, ආනන්ද මිල්ලන්ගොඩ, එ.ජා.ප. කෑගල්ල ප්‍රධාන සංවිධායක ලිලාන් අමරකෝන්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එල්.ජී.එම්.ජී. චන්ද්‍රසිරි බණ්ඩාර යන මහත්වර ඇතුළු විශාල ගිහි සම්භාවනීය පිරිසක්ද මේ අවස්ථාවට පැමිණ සිටියහ.

ඡායාරූප - ජනපති මාධ්‍ය අංශය

ජයසිරි මුණසිංහ, සබරගමුව සමූහ,

බුලත්කොහුපිටිය සමූහ

 


නව අදහස දක්වන්න