මත් උවදුර පිටු දැකීමේ බක්මහ දිවුරුම රට පුරා ආරම්භ කරනවා | දිනමිණ

මත් උවදුර පිටු දැකීමේ බක්මහ දිවුරුම රට පුරා ආරම්භ කරනවා

ජනපති කියයි

මත්ද්‍රව්‍ය පිටුදැකීමේ බක්මහ දිවුරුම් දීම අප්‍රේල් 3 වැනිදා දිවයින පුරා ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කෙළේ මාර්තු 25 වැනිදා පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි 850ක මුදලක් වැය කැර ඉදිකර තිබූ හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ ජල පිහිනුම් තටාකය, මින්නේරිය ජාතික පාසලේ තෙමහල් පන්ති කාමර ගොඩනැඟිල්ල හා ශ්‍රවණාගාරය, හබරණ අලුත්ඔය විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමෙන් පසුව පැවැති උත්සවවලදීය.

තවදුරටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

අද මත්කුඩු, මත්ද්‍රව්‍ය නිසා දැන් අපේ සමාජය වගේම දරු දැරියන් පවා විනාශ වන තත්ත්වයකට පත්වෙලා. මේ නිසා මත්ද්‍රව්‍ය පිටුදැකීමේ බක්මහ දිවුරුම් දීම අප්‍රේල් 3 වැනිදා උදේ 8.30ට රාජ්‍ය ආයතන පාසල්වල පවත්වනවා. මේ සඳහා ජනතා සහය ලබාදිය යුතුයි. දරුවනේ ඔබලා විභාගවලට පාඩම් කරනවා. හොඳින් පාස් වෙනවා. හැබැයි විභාගවලින් ජයගත්තා වාගේම ජීවිතයෙන් ජයගත යුතුයි.

ජීවිතයේ තිබෙන අභියෝගවලට දරුවනේ ඔබලා මුහුණ දිය යුතුයි. නිදහස් අධ්‍යාපනයේ ඵලය විඳ ජීවිතයෙන් ජය ගැනීමත් ඉතාම වැදගත්. මේ පාසල් සිසුන් හොඳින් අධ්‍යාපනය ලබා හොඳ මගකට ගිහින් තියෙනවා. ආනන්ද බාලිකා ජාතික පාසලේ පිහිනුම් තටාකයේ ඉදිකිරීමට රුපියල් කෝටි 4 1/2 මුදලක් සී.සී.බී. ආයතනය වැය කර තිබෙනවා. වැය කළ මුදල වැඩියි. හොඳ දරුවෙක් වෙන්න නම් අධ්‍යාපනය වගේම ක්‍රීඩා වෙනස් බාහිර ක්‍රියාකාරකම් සංස්කෘතික අංශවලට යොමු විය යුතුයි. මුද්‍රිත විද්‍යුත් මාධ්‍යවලින් කිව්වා පෙරේදා නාවික හමුදාව හා යුද හමුදා විශේෂ බළකාය එක්වී මුහුද මැද දී නැවකින් මත්කුඩු ගෙන එමින් තිබූ ඉරාන ජාතිකයින් 6ක් අත්අඩංගුවට ගත් බව. මේ වැටලීම කරන බව දැනගත් ඔවුන් නැවේ තිබූ මත්කුඩු කිලෝග්‍රෑම් 600න් 500 විතර මුහුදට දමලා තියෙනවා. ඉතිරි වෙලා තියෙන්නේ කිලෝග්‍රෑම් 100ක් විතර. මත්කුඩු ජාවාරම්කරුවන් විශ්වවිද්‍යාල සිසුන් රටේ කීර්තිමත් පාසල් සිසුන්ට මත්කුඩු නොමිලේ දෙනවා. ටික කාලයකින් ඔවුන් පුරුදු වෙනවා මත් කුඩු බොන්න. ටික කාලයකින් ඔවුන්ගේ අධ්‍යාපනය පවා විනාශ වෙනවා. විදුහල්පතිවරයාටවත් පාසලේ ගුරු මණ්ඩලයටවත් එවැනි සිසුන් පාලනය කරන්න බැරි තත්ත්වයක් තිබෙන බව අපට අසන්න ලැබෙනවා.

දැන් දැන් ගැහැනු දරුවොත් මත්කුඩු වලට ඇබ්බැහි වෙලා. මාපියෝ දරුවන් ගැන සොයා බලනවා හොඳටම මදි. දරුවන් පාසල තුළ සිටින්නේ පොඩි වෙලාවක් විතරයි. නමුත් පාසලෙන් පිට ටියුෂන් පන්තිවල වැඩි කාලයක් ගත කරනවා. ටියුෂන් පන්ති ගියාට වෙනත් ගමනක් ගියාම මාපියන් දරුවන් ගැන සොයා බැලිය යුතුයි. රෑ වෙන තුරු ආවේ නැත්නම් තවතවත් සොයා බැලිය යුතුයි.

මත්කුඩු භාවිතය කොළඹ, බස්නාහිර පළාත, පුත්තලම, නැඟෙනහිර පළාත, මුහුදුබඩ ප්‍රදේශවල වැඩියි. මේ මත්ද්‍රව්‍ය කියන දේ ගැන සුළු කොට සලකන්න එපා. පොළොන්නරුව දිස්ත්‍රික්කයට මත්කුඩු එන්නේ හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන්. පසුගිය දිනවල හිඟුරක්ගොඩ ප්‍රදේශයෙත් මත්ද්‍රව්‍ය මත්කුඩු අත්අඩංගුවට ගත්තා. මේ මත්ජාවාරම් මැඬලීමට පොලිසියට තනියම බැහැ. මේ සඳහා ජනතා සහාය අවශ්‍ය වෙනවා.

මේ පාසල්වල සර ගණනාවක සිට පැවැති අඩුපාඩු රැසක් අද සම්පූර්ණ කළා. මින්නේරිය මහා විද්‍යාලය 1994 දී මම මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් කළා. ළඟදීම මම තවත් පාසල් 04ක් ජාතික පාසල් බවට පත් කරනවා.

කොපමණ මුදල් වැය කර සංවර්ධනය කළත් වැඩක් නැහැ ඒවා නිසි ලෙස සංවර්ධනය නොකළහොත් ඒවා විනාශ වෙනවා. මින්නේරිය ජාතික පාසලේ අද විවෘත කළ රංග ශාලාව රැස්වීම් උත්සවවලට නිකම් දෙන්න එපා. ඒ සඳහා මුදලක් අය කරන්න. එතකොට පුළුවන් ඒවා නඩත්තු කරන්න. මින්නේරිය ජාතික පාසලේ විදුහල්පතිනිය මගෙන් ලිඛිත ඉල්ලීම් 02ක් කර තිබෙනවා. පානීය ජල පිරිපහදුවක් ලබාදෙන්න කියලා. ඒ වගේම තූර්යය වාදන කණ්ඩායමට ඇඳුම් නැහැ කියලා. ඉදිරි දිනවලදී පානීය ජල පිරිපහදුවක් ලබා දෙනවා. ඒ වගේම තූර්ය වාදක කණ්ඩායමට ඇඳුම් ලබාගැනීමට රුපියල් ලක්ෂ 02ක් ලබා දෙනවා. මේ සංවර්ධන වැඩ කටයුතු කරන්න මා භාර දී තිබෙන්නේ ත්‍රිවිධ හමුදාවට කොන්ත්‍රාත්කරුවන්ට නොවෙයි. පිබිදෙමු පොළොන්නරුව යටතේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 1200ක මුදලක් වැය කර තිබෙනවා.

උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා

අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රී‍ඩාවෙන් ජාත්‍යන්තරය ජයගත හැකි දරු දැරියන් මේ පළාත්වල ඉන්නවා. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගැනීමට මේ පිහිනුම් ක්‍රීඩාවද ඉතාම වැදගත් වෙනවා.

එම විද්‍යාලවල විදුහල්පතිවරුන් වන ඩී.ආර්. මාලනි මැණිකේ, ඩී. ස්වර්ණා කුමාරි යන විදුහල්පතිනියන් ද කතා කළහ. සිසුන් කිහිප දෙනෙක්ද කථා කළ අතර නර්තන හා විවිධ ප්‍රසංග පැවැත්විණි. සිසුන්ට ශිෂ්‍ය නායක නායිකා ලාංඡන පැලඳවීම පුස්තකාල සඳහා පොත් ලබාදී පාසල් දරුවන්ට පොත් පත් ලබාදීම ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු විය.

පොළොන්නරුව දිසා සමූහ


නව අදහස දක්වන්න